History

Friday, 17 September 2021

 

ජී එල්, බිෂොප්තුමා හා හා  මිෂෙල් , පාස්කු, ජැක් හා ජිල්

 

මගෙන් කෙනකු ඇහුවා මා මියන්මා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජී එල් පීරිස් විදේශ ඇමති ලෙස පත් කිරීමට විරුද්ධ ව ද කියා. මා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට යැවුවේ මා මිත්‍ර ගාමිණි ලක්‍ෂමන් විදේශ ඇමති තනතුරට පත් කිරීමට පෙර. එහෙත් මා එසේ ඉල්ලා අස්වීමේ ලිපිය යවා නොතිබුණි නම් මගේ මිත්‍රයා විදේශ ඇමති ලෙස සිටිය දී මට තානාපතිවරයකු ලෙස වැඩ කිරීමට නොහැකි බැවින් මගේ පත්වීම ජනාධිපතිතුමා අතින් කෙරුණත් ජී එල් පීරිස් විදේශ ඇමති ලෙස පත් කිරීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලිපිය යැවීම අනිවාර්යයෙන් ම කෙරෙනවා. ජී එල්  දේශපාලනයේ දී මුලින් ප්‍රේමදාස සමග හිටියා. ඉන්පසු චන්ද්‍රිකා ආණ්ඩුවේත් රාජපක්‍ෂ ආණ්ඩුවලත් හිටියා. ඔහු හිටියේ නැත්තේ යහපාලන ආණ්ඩුවේ පමණයි. ඒකට හේතුව රනිල් ඔහු ගැන ශිෂ්‍ය කාලයේ සිට ම ඉතා හොඳින් දැන සිටීම වෙන්න ඕන. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත් වූ විගස මා විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ සාමාජික ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහු යටතේ සේවය කිරීමට බැරි බව දන්වමින්.

 

 

ගාමිණි ලක්‍ෂමන් ගැන මා බොහෝ දේ දන්නවා. අපේ පියා ඔහුට කිවුවෙ ලක්‍ෂමන් කියා. අපත් ඔහු දැන හිටියේ ලක්‍ෂමන් ලෙස. පාණදුරේ වෑකඩ ඔහුගේ නිවස හා අපේ නිවස අතර දුර හරියට ම හැතැප්ම කාලයි. ඒ ගැන විස්තර පසුව කියන්න ඕන. අද මා ඔහු ගැන සඳහන් කරන්නේ එක් පේරාදෙණි පඬියකු ජාතික හා විජාතික පමණක් මත පදනම් ව චරිත තේරුම් ගැනීමට නොහැකි බව තේරුම් යන ප්‍රකාශයක් කර තිබූ නිසා. දැනට අවුරුදු තිහකට පමණ පෙර ලක්‍ෂමන් (අර හිතේ අමාරුවට අස්වූ ලක්‍ෂමන් නො වෙයි. ඒ ලක්‍ෂමන් තමයි මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්කිරීමේ ලිපියට අත්සන් කර තිබුණේ. එකල ඔහු වැඩ බලන උපකුලපති ව ඉන්න ඇති. අනෙක් ලක්‍ෂමන් එකල විදේශ ඇමති නූණත් විදේශගත ව ඉන්න ඇති.) මගෙන් ඇහුවා ජාතික චින්තනය උගන්වන්නෙ මොක ද කියා. මා ලක්‍ෂමන් උපකුලපතිට කියා සිටියේ අනෙක් ගුරුවරුන් සියල්ලන්ට ම විජාතික චින්තනය උගන්වන්න පුළුවන් නම් මට ජාතික චින්තනය උගන්වන්න බැරි ඇයි කියා  

 

මා ඇත්තට ම ඉගැන්වූයේ ජාතික චින්තනය මත පදනම් වූ දැනුමක්. එහෙත් එය ගුණදාස අමරසේකර කතා කළ ජාතික චින්තන සායම නො වෙයි. මා ඉගැන්වූයේ චින්තනයක් ගැන. ඒ ඒ ජාතියට චින්තන තිබුණා. මා සිංහල බෞද්ධයන්ගේ චින්තනයට ජාතික චින්තනය කියා කිවුවා. ඒ අමරසේකරත් සමග යම් සාම්‍යයකට එන්න. කෙසේ වෙතත් ලක්‍ෂමන් ඒ ජාතික චින්තන කතාව මගෙන් අසා වැඩි කාලයක් ගත වීමට පෙර මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්කරනු ලැබුවා. මට අවුරුදු දහයක නිරෝධායනයකට යටත් වෙන්න වුණා. නිරෝධායනය අවසන් වූයේ නඩු රාශියක් කීමෙන් පසුව. 

 

ඒ කුමක් වුවත් අර පේරාදෙණි පඬියා අපට කියන්න ඕන නැහැ මිනිසුන් ගොරහැඩි ලෙස ජාතික විජාතික වශයෙන් බෙදන්න බැහැ කියල. ජී එල් පීරිස්ටත් ඔහුගේ මව් පාර්ශ්වයේ සීයා වූ වෝල්ටර් සල්ගාදු මහතාගෙන් ලැබුණු ජාතිකත්ව ලක්‍ෂණ කිහිපයකුත් තියෙනවා. තරුණ තරුණියන් පෙම් කරන්නේ ජාතික විජාතික ලෙස බලාගෙන නො වෙයි. ඒ නිරූපණය වන සිංහල සාහිත්‍යයේ ඇති හොඳ ම කෘතිය පියදාස සිරිසේන ශූරීන්ගේ රොස්ලින් ජයතිස්ස. තනි තනි පුද්ගලයන් විවිධ චින්තනවල අච්චාරු ලෙස ක්‍රියා කරනවා. අච්චාරු කියන වචනයත් සිංහල භාෂා අච්චාරුවට මලයාලම් බසින් ලැබුණු අචාරු යන්න. අචාරු අප අච්චාරු කර ගෙන.  මාර්ටින් වික්‍රමසිංහලා එදිරිවීර සරච්චන්ද්‍රලා බටහිර නවකතාව දිරව ගන්න බැරුව සිරිසේන නිර්දය විවේචනයට ලක් කළා.

 

පුද්ගලයන් එසේ වුවත් චින්තන හා සභ්‍යත්ව එයට වඩා දරදඬුයි. ඒ කියන්නේ සභ්‍යත්ව වෙනත් සභ්‍යත්වවලින් යම් ලක්‍ෂණ අවශෝෂණය නොකරන බව නො වෙයි.  හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම ගැන කියන්නේ ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය (The End of History) නම් කෘතියට පිළිතුරක් ලෙස. මහාවංසයත් ලියා ඇත්තේ ඉතිහාසය මහසෙන් රජුගෙන් අවසන් කියන තේරුමකින්. ඒ මහාවිහාරයේ ජයග්‍රහණයෙන් පසුව. 

 

හන්ටින්ග්ටන් කියා ඇත්තේ බර්ලින් තාප්පය කඩා වැටීමෙන් පසු ලෝකයේ ඇති වන්නේ සභ්‍යත්ව ගැටුම් කියා. එහෙත් මා නම් සිතන්නේ ලෝකයේ හැමදාමත් තිබී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම සංස්කෘතික/සභ්‍යත්ව ගැටුම් කියා. බර්ලින් තාප්පය කඩා වැටීමට පෙර ලෝකයේ තිබුණු සෝවියට් බටහිර ගැටුම ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමක් නොව බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හා රුසියන් සභ්‍යත්වය අතර ගැටුමක්. ගුණදාස අමරසේකරගේ ජාතික චින්තන අදහස ඔය රුසියන් විප්ලවය ඊනියා මාක්ස්වාදයක් ගුරුකොට ගෙන නොව රුසියන් ජාතික චින්තනය ගුරුකොට ගත් එකක් බව කී අයකුගෙන් අහුලා ගත් එකක්. අද පුටින් යටතේත් ක්‍රියාත්මක වන්නේ රුසියන් සභ්‍යත්වයේ චින්තනයයි. මාඕගේ චීනයට වැඩි කල් සෝවියට් රුසියාව සමග පෑහීමට නොහැකි වූයේ චීන චින්තනය පදනම් කර ගත් චීන සභ්‍යත්වයට රුසියන් සභ්‍යත්වය නොගැලපුණු නිසයි. විජේවීර ශන්මුගදාසන් ආදීන්ගේ එකල චීන ලයින් වූයේ චීන සභ්‍යත්ව මගයි. විජේවීරට පසුව ඒ බව තේරී ඔහු ලංකා ලයින් එක ගන්න ගියා. එහෙත් ඔහුට ලංකා ලයින් එක තේරුණේ නැහැ.

 

කොහොමටත් මේ දවස්වල නැවතත් ජෙනීවා විගඩම රඟ දැක්වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වත්මන් ලේකම්වරිය  දැන උගත් කාන්තාවක් වූ මිෂෙල් බැෂලේ. ඒ උච්චාරණය හරි ද දන්නෙ නැහැ. මිෂෙල් පහට හයටවත් ඉගෙන ගෙන ඇති. ඇයට පාඩම කියවීමේ හැකියාව තියෙනවා. ඇය ලංකාව ගැන කියවන්නේ ඇයට කවුරුන් හරි ලියා දෙන දේ. එහෙම නැත්නම් ඇයට කවුරුන් හරි යවන තොරතුරු. සිරිල් ගාමිණී පූජකවරයා ඊයේ (සැප් 16) පවසා සිටියා මෙරට බිෂොප් සභාව පාස්කු ප්‍රහාරය ගැන ඊනියා මානව අයිතිවාසිකම් කොමිසම දැනුවත් කළ බව. මිෂෙල් කියවන්නේ මෙරට බිෂොප්වරු යවන ලිපිවල අඩංගු දේ. හාමුදුුරුවරු මිෂෙල් ට ලියුම් යවන්න ඕන නැහැ. ඒත් හාමුදුරු නමක් යවන තොරතුරක් මිෂෙල් කියවාවි ද? මිෂෙල් කියවන්නේ මෙරට ඇති ඔවුන්ගේ කාර්යාලයෙන් හා සිවල් සාමාජිකයන් විකල්ප කේන්ද්‍රකාරයන් අතින් යැවෙන ලිපි.

 

පේරාදෙණි පඬියාට නොතේරුණත් මේක තමයි ජාතික විජාතික ගැටුම. ක්‍රිස්තියානි සභ්‍යත්වය සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව සංවිධානාත්මක ව ක්‍රියාත්මක වීම. එම ගැටුමේ දී කතෝලික බිෂොප්වරු සහ ඉහත සඳහන් අයත් පඬියාත් ඉන්නේ විජාතික පැත්තෙ. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයෙ පැත්ත. ඔවුන් තවමත් බටහිර සාහිත්‍ය විචාර බටහිර විද්‍යා කතන්දර තමයි පුනරුච්චාරණය කරන්නෙ. අද කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර විද්‍යා කතන්දරයක් හදන්න බැරි වෙලා. ඒ සම්බන්ධයෙන් හදන්නෙ ලිඳ ළඟ කතා පමණයි. මේවට කන්ද උඩ කතා කියාත් කියමු ද?  ජැක් හා ජිල් වතුර ගේන්න කන්ද උඩට ගිහිල්ලා ජැක් වැටිලා ගාතෙ කඩා ගෙන.