History

Wednesday, 22 September 2021

හිතන්නෙ නැති අපට බිංදුව

 හිතන්නෙ නැති අපට බිංදුව 


ඊයේ (සැප් 21) ලිපියේ මූලික ව සඳහන් වූයේ දෙමළ විසුරුණු ජනයා සමග කිරීමට බලාපොරොත්තු වන සාකච්ඡා පිළිබඳ ව. ජනාධිපති ගෝඨාභය එවැනි බලාපොරොත්තුවක් ගැන කීම අප පුදුමයට පත් කළ දෙයක් නො වෙයි. මින් පෙර ද ඔහු අතින් එවැනි කතා කියැවී තියෙනවා. එහෙත් යමක් කී පමණින් ඒ කෙරෙයි ද කියා තීරණය වන්නේ නැහැ. එය සමාජ බලවේග විසින් තීරණය කෙරෙන්නක්. 13 + දෙන බව කී වතාවක් ඉන්දියාවට කී දෙනකු පොරොන්දු වී තියෙනවා ද? 


ඊයේ ලිපියේ එයට අමතර ව වැදගත් කරුණු දෙකක් සඳහන් වුණා. එකක් ආන්ද්‍ර බුද්ධාගම ගැන. අනෙක බිිංදුව යන සංකල්පය සංස්කරණය කිරීම ගැන. ඇතැම් පාඨකයනට ඒ මග හැරී යන්න ඇති. ඒ මා නාභිගත නොවීම නිසා වෙන්න පුළුවන්. ඒ අතර බොහෝ පාඨකයන්ට ඒ වැදගත් වී නැහැ. එක් අයකු පමණක් අසා තිබුණා ආන්ද්‍ර බුද්ධාගමට පෙර මෙහි තිබූ බුද්ධාගම මොකක් ද කියා. මා හිතන්නේ එයට පෙර මෙහි බුදුහාමුදුරුවන් දෙසූ බුදුදහමත් අශෝක බුදුදහමත් තිබුණා ය කියා. අශෝක බුදුදහම කියා මා හඳුන්වන්නේ මිහිඳු හිමියන්ගෙන් ලැබුණු තුන්වැනි සංගායනාවේ බුදුදහම. 


මෙවැනි දේ කියනවාට විරුද්ධ පිරිසක් රටේ ඉන්නවා. ඔවුන් මහාවංසය හා අටුවාව කිසිදු විවේචනයකින් තොරව පිළිගන්නවා. ඔවුන් මූලික වශයෙන් ජාතික මතධාරීන්. එහෙත් ඔවුන් සමහර දෙනකුට මා ද්‍රෝහියෙක්. එහෙම නැත්නම් නොමග ගිය අයෙක්. මා ඔවුන්ගෙන් හා වෙනත් අයගෙන් දැනගන්න කැමතියි වළගම්බා රජු දවස ධර්මය ග්‍රන්ථාරුඪ කෙළේ මොන භාෂාවෙන් ද කියාත් ඒ පෙතපත අද දකින්ට ඇත් ද කියාත්. ඒ ප්‍රශ්නය මෙතෙක් අසා නැත්නම් හරි ඒ ගැන හිතා නැත්නම් හරි මට කරන්න දෙයක් නැහැ. 


බිංදුව ගැන නම් කිසිවකුට උනන්දුවක් ඇති වී නැහැ. එය තේරුම් ගන්න අපහසුවක් නෑහෑ. අප උනන්දුවන්නේ අපේ ජීවිතවලට සම්බන්ධ දේ ගැන. අප නිරෝධායනය වන හෝටලයේ සේවය කරන තරුණියකගේ ගම දිවුලපිටිය. මා ඇගෙන් ඇහුවා දිවුලපිටියේ කාලෝ ෆොන්සේකා දන්නවා ද කියා. ඇය දැන හිටියේ නැහැ. මා දෙවැනි දවසකත් ඇගෙන් ඇහුවා. ඇය අන්තර්ජාලය බලා ආපසු පැමිණ කීවේ ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා ටීවී එකේ දැක ඇති බව. මා ඒගැන පුදුුම වූයේ නැහැ. මෙරට හේතුවාදයේ සුළුපියා වූ කාලෝ ෆොන්සේකා (පියා ඒබ්‍රහම් කොවූර්) ඇගේ ජීවිතයට කිසිසේත් සම්බන්ධ නැහැ. ඇය සමහර විට නළු නිළියන් ගායක ගායිකාවන් ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන දන්නවා ඇති. ඒත් තම ගමේ ම උපන් කාලෝ ෆොන්සේකා ගැන දන්නේ නැහැ. 


කාලෝ ශිෂ්‍යත්වය (එකල ශිෂ්‍යත්වය නොවූ බව වෙන ම කරුණක්) සමත් ද, ඔහු ජ්‍යෙෂ්ඨ විභාගය පළමු වර සමත් ද, විශ්වවිද්‍යාල ප්‍රවේශයට කී වරක් පෙනී සිටියේ ද, විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට වයස විසිදෙකක් වන තුරු නොහැකි වූයේ ඇයි ද, ප්‍රවේශ විභාගයේ වැඩ හතරෙන් දෙකක් අසමත් ද, පසුව පාඩම් හා පාඩම් ම කර රන් පදක්කම් දිනා ගත්තේ ද, හේතුවාදියකු වූයේ කවදා ද, ගිනි පෑගීමේ අරමුණ ඔහු හිතා හිටි බුද්ධාගමට පහර ගැසීම ද, කොරුන් ඇුවිද්දවන කතෝලික පූජකවරුන්ට විරුද්ධ වීමට අතපසු වූයේ හේතුවාදය එයට බලනොපාන නිසා ද, ශිෂ්‍ය අවධියේ සමසමාජ කාරයකු නොවී කථිකාචාර්යවරයකු වීමෙන් පසුව සමසමාජ කාරයකු වූයේ ඔහුගේ මනස අවදිවන්නේ කාලයක් ගත වීමෙන් පසුව නිසා ද, ආදී කරුණු වැදගත් වන්නේ මට පමණක් වන්න පුළුවන්. ඒ ඔහු උගතකු බුද්ධිමතකු නොවන මගේ ජීවිතයට සම්බන්ධ වී ඇත්තේ උගතකු බුද්ධිමතකු ලෙස නිසා. උගතකු බුද්ධිමතකු නොවන  මා උගතුන් බුද්ධිමතුන් ගැන දැනගන්න කැමතියි. 


බොහෝ අයට බිංදුව ගැන සෙවීම තම ජීවිතයට සම්බන්ධ නැහැ. පුරා විද්‍යාඥයන්ටත් එහි වැදගත්කමක් නැහැ. ඔවුන්ට ඒ බිංදුව (හල් කිරීම) සඳහන් කැබලි පළමුවෙන් කියවන්න පුළුවන් වුණා නම් ඒ වැදගත් වන්න තිබුණා. එහෙත් දැන් එහි වැදගත්කම ගිහින්. එවැනි කැබලි සීගිරියේ තවත් තියෙනවා ද? එහි කාලය කුමක් ද? අපේ පැරණි ඉලක්කම් කවරේ ද (මියන්මාහි තවමත් ඔවුන්ගේ පැරණි ඉලක්කම් යොදා ගන්නවා, ඒත් ඒ සංකේත වත්මන් ක්‍රමය මත පදනම් වී තිබෙනවා. රූපයෙහි ඇත්තේ විවිධ අකුරුවලින් ලියැවුණු බුරුම ඉලක්කම්)?  සීගිරියෙන් පිටත් හල්කිරීම සඳහන් ඵලක පුවරු සෙල්ලිපි ආදිය තියෙනවා ද? මේ ආදී පශ්න ඔවුන්ගේ ප්‍රබුද්ධ හිත්වල ඇති වන්නේ නැහැ.


මෙරට උගතුන් දන්නේ 1856 සිට 1888 දක්වා ලංකාවේ පැවති පරිපාලනය කුමක් ද, ඊනියා බෞද්ධ පුනර්ජීවනයේ විස්තර කවරේ ද ආදී ප්‍රශ්න ගැන හිත යොමු කරන්න. ඒ ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කෙරී ඇත්තේ අධ්‍යාපනයෙන්. උසස් පෙළේ සිට අපට පුරුදු කරන්නේ එවැනි පරිධියේ ප්‍රශ්න ගැන හිත යොමු කරන්න. ඒ ප්‍රශ්න අපේ ජීවිතවලට සම්බන්ධ කෙරෙනවා. අර හෝටල් සේවිකාවට එවැනි අධ්‍යාපනයක් ලැබී නැහැ. අපේ ජීවිතවලට සම්බන්ධ ප්‍රශ්න අපේ පරිසරය විසින් සකස් කෙරෙන්න. ඒ දෙමව්පියන්, නෑයන්, මිතුරන්, ගුරුවරුන්, ජනමාධ්‍යවේදීන්, දේශපාලනඥයන් ආදීන් විසින් සකස් කෙරෙනවා වෙන්න පුළුවන්.  


අප කේවල ප්‍රශ්න ගැන පමණක් හිත යොමු කරනවා. අධ්‍යාපනයෙන් ඊනියා විද්‍යා අධ්‍යාපනයෙනුත් කෙරෙන්නේ කේවල ප්‍රශ්න ජීවිතයට සම්බන්ධ කිරීමයි. අප දත්ත හා තොරතුරු ගබඩා පමණයි. අප කරන්නේ තව තවත් දත්ත හා තොරතුරු පසුපස යෑමයි. අඹ ගෙඩියක් වැටී තියෙනවා. ඒ ඇයි? කපුටෙක් කොටන්න ඇති, ලේනෙක් හපන්න ඇති, ඉදිල වැටෙන්න ඇති. අප ඉන් සෑහීමට පත් වෙනවා. එතකොට පොල් ගෙඩියක් වැටිල තියෙන්නෙ මොක ද? මොකක් හරි උත්තරයක් (හේතුවක්) කියන්න බැරියැ. එතකොට ගෙඩි වැටෙන්නෙ මොක ද? ගෙඩි වැටෙනවා කියන එක හිතේ මවා ගන්න පුළුවන් ද? මා අහන්නේ නැහැ ඔළු ගෙඩිය ගෙඩියක් ද කියා. කේවල ප්‍රශ්න වෙනුවට සාධාරණ (පොදු) ප්‍රශ්න අහන එක තමයි බටහිර විද්‍යාවෙ ලොක්කො කරන්නෙ. පොඩ්ඩො ඒ ප්‍රශ්නවලට ලොක්කො දෙන උත්තරේ මත පදනම් වෙලා පරිධියේ පොඩි පොඩි, බොහෝ විට කේවල ප්‍රශ්න විසඳනවා.  


නිවුටන් ගෙඩි වැටෙන්නෙ මොකද කියන එකට උත්තරයක් හැදුව. ඒ තමයි ගුරුත්වාකර්ෂණය. බටහිර පොඩ්ඩො ඒක මත පදනම් වෙලා හඳට රොකට් අරිනවා. අපි සුද්දො හදපු රූපවාහිනියෙන් ඒක බලන් ඉන්නවා. බලන් ඉඳලා අර තරුණයන් කියන්න වගේ ලොරි, නැහැ කන්ටේනර් ටෝක් දෙනවා.  ඉංගිරිසින් මුළු ලෝකෙට ම තමන්ගෙ ක්‍රමය පුරුදු කෙළෙ කොහොම ද කියන එක හිතන්න. ඒ හිතන්න පුළුවන් නම්. අද මධ්‍යම පංතිය කන්නෙ බොන්නෙ නිදාගන්නෙ පමණක් නොව වැසිකිළි යන්නෙත් ඉංගිරිසින්ට ඕන විධියට. ඊනියා ද්විභාෂික උගතුන් කියන්නෙ ඉංගිරිසියෙන් තියෙන දේ සිංහලෙන් කියන අයට. සංගීතයට ඒ මිශ්‍රණය ආවෙ ටික කලක් ගිහින්. සිංහල සංගීතයට බටහිර වාද්‍ය භාණ්ඩ එකතු වුණේ හෙමින් හෙමින් හීන් සැරෙන්.  දේශපාලනයත් කෙරෙන්නෙ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට. ඒත් ඒ හැම තැනක ම අප අනාගන්නවා. හත්පොළේ ගාගන්නවා. 


ඉංගිරිසිනුත් අද අමාරුවේ වැටිලා. කොවිඩ් 19 ඔවුන් දණ ගැස්සුවා. කොවිඩ් වෛරසය අද කේවල ප්‍රශ්නයක් වෙලා. බටහිර විද්‍යාවෙ ලොක්කන්ට ඒක පොදු වෛරසයක් ලෙස සලකා විසඳුම් හොයන්න බැරි වුණා. බටහිර විද්‍යාවේ දුර්වලකම අපට දැන් පේනවා.  මෙරට ඉන්න බටහිර වෙදමහතුන්ට වෙද හාමිනේලාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊළඟ නිවේදනය එනකම් බලන් ඉන්නවා. ඔවුන් කියන දේ රවි කුමුදේශ්ටත් ශවේන්ද්‍ර සිල්වාටත් චතුර අල්විස්ටත් විතරක් නොවෙයි උගතකු බුද්ධිමතකු වියතකු නොවූ මටත් කියන්න පුළුවන්. නිවේදන කියවන්න එතරම් උගත් කමක් අවශ්‍ය නැහැ. 


ලෝකෙ ප්‍රශ්න අපේ ප්‍රශ්න. ඒ සමහර ඒවා කේවල, සමහර ඒවා පොදුකරණයට ලක්කරන්න පුළුවන්. සමහර ඒව දෙකෙන් එකකටවත් අයත් නැති වෙන්න පුළුවන්. ඒ මොනව වුණත් අපි හිතන්නෙ නම් නැහැ.  හිතන්නෙ නැති අපට බිංදුව.