History

Friday, 24 September 2021

බටහිර විද්‍යා වහල්ලු

 

බටහිර විද්‍යා වහල්ලු

 

මෙරට තරම් බටහිර විද්‍යා වහල්ලු වෙනත් රටක, බටහිර රටවල් ද ඇතුළු ව, ඉන්නවා කියා මා හිතන්නේ නැහැ. මේ විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍ය මණ්ඩල  හදන රටක්. මා හිතන්නෙ මිනිසුන් චන්දෙ දෙන්නෙත් විද්‍යාත්මක ක්‍රමයට කියා. උසස් පෙළට බටහිර විද්‍යා විෂය ඉගෙන ගන්නා සිසුන් විද්‍යාත්මක ක්‍රමය හදාරනවා ද කියා මා දන්නේ නැහැ. එහෙත් උසස් පෙළ ශාස්ත්‍ර මානව ශාස්ත්‍ර ධාරාවල නම් කර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය හදාරනවා. ඒ අය විද්‍යාව දන්නේ නැහැ. ඒත් විද්‍යාත්මක ක්‍රමය දන්නවා!

 

බටහිර විද්‍යාව වගේ ම විද්‍යාත්මක ක්‍රමයත් අපට ලැබෙන්නේ බටහිරින්. පස්වැනි සියවසේ පමණ සිට අප දන්නේ පිටින් එන ඕනෑම දෙයක් ගෙඩිය පිටින් ගිලීම. විද්‍යාත්මක ක්‍රමය මොකක් ද කියල ඇහුවොත් පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන කියා කියන අය ඉන්නවා. ඒ ක්‍රමය නම් අපේ ආච්චිලා සීයලත් දැන හිටියා. අපි කරල බලන ජාතියක්. කරල බලල හරියනවා නම් අපි ඒක කරනවා. ඒකෙ තියෙනවා පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කතන්දරේ. ඒත් අපි නිකමටවත් කියන්නෙ නැහැ ආච්චි විද්‍යාඥියක් කියල.

 

තවත් සමහරු අභ්‍යුහනය (induction) තමයි බටහිර විද්‍යාත්මක ක්‍රමය කියා කියනවා. එය බේකන්ගෙ ක්‍රමය කියාත් කියනවා. මෙය ගණිතයේ කියැවෙන අභ්‍යූහනයෙන් තරමක් වෙනස්. උසස් පෙළ ගණිතයට අභ්‍යුහනය උගන්වනවා. බොහෝ විට අභ්‍යුනයෙන් පද න සංඛ්‍යාවක එකතුවට සූත්‍රයක් සාධනය කරනවා. සූත්‍රය n = p ට වලංගු ලෙස සලකා   n= p+1ට සාධනය කරනවා. n=1ටත් සූත්‍රය හරියනවා නම් එය වලංගු සූත්‍රයක් ලෙස ගැනෙනවා. උසස් පෙළට ප්‍රශ්නයක් දුන්නොත් අභ්‍යුහනයෙන් මේ සූත්‍රය වලංගු නොවන බව පෙන්වන්න කියා සිසුන් බන්දුල ගුණවර්ධන කියන්නා වගේ පරීක්‍ෂවරයාගේ දෙමව්පියන්ට බැණ බැණ යාවි. ගුරුබොරුවන් වර්ජනයක් ආරම්භ කරාවි.

 

බටහිර විද්‍යාවෙ තියෙන්නෙත් කතන්දර හැදීමක්.  ඔය අභ්‍යුහනය කියා ලොකු නමක් දා ගත්තට එයින් කියන්නෙත් කතන්දරයක් ගෙතීම කියන එක. මේ කතා ලිඳ ළඟ කතාවලින් නැත්නම් කන්ද උඩ කතාවලින් වෙනස් වෙන්නෙ විද්‍යා කතා යම් සිද්ධි කුලකයක්, සමූහයක්, සඳහා හදන කතන්දරයක් වීමෙන්. ලිඳ ළඟ කතා කේවල සිද්ධි නැත්නම් තනි තනි සිද්ධි සඳහා හදන කතන්දර. බටහිර විද්‍යාවෙ  සිද්ධි කුලකය යම් රටාවක වෙන්න ඕන. තරු පායන එකයි ළමයි පාසල් යෑමයි එක රටවාක නැහැ. රටාව හඳුනාගෙන ඒ රටාව ඇති කුලකය සඳහා කතන්දරයක් හැදීම තමයි බටහිර විද්‍යාවෙ කෙරෙන්නෙ. ඇපල් ගෙඩි වැටීම පෙයාර්ස් ගෙඩි වැටීම පමණක් නොව හඳ පොළොව වටේ යෑමත් එකම රටාවකට සිදුවන බව තේරුම් ගැනීම සහ ඉන් පසු එසේ වන්නේ ඇයි ද යන්නට කතාවක් හැදීම තමයි බටහිර විද්‍යාවෙ මෙතෙක් වුණෙ. ඒත් දැන් දැන් එහෙම වෙන්නෙ නැහැ.

 

බටහිර විද්‍යා කතාවක් අනිවාර්යයෙන් ම වියුක්ත කතාවක්. ඒ කියන්නෙ හිතෙන් මවා ගන්න බැරි සංකල්ප යොදා ගෙන හදන කතාවක්. සරල රේඛාව, දෙවියන් වහන්සේ හිතෙන් මවා ගන්න බැරි සංකල්ප. පොල් ගෙඩි දහයක් හිතෙන් මවා ගන්න පුළුවන් වුණත් දහය කියන සංඛ්‍යාව හිතෙන් මවා ගන්න බැහැ. පඬියකු 10 ලියල අහන්න බැරි නැහැ දහය හිතෙන් මවා ගන්න බැරි ද කියල.

 

සිංහල අකුරු බොහොම සංයුක්තයි. අපට සිංහල සංකේත හල් කිරීම හැරුණු විට, තනි තනිව ශබ්ද කරන්න පුළුවන්.අකුරු සමූහයක් ලිවුව ම එය ශබ්ද කරන හැටි කාගෙන්වත් අහන්න ඕන නැහැ. ඒත් ඉංගිරිසියෙහි එහෙම බැහැ. put හා but ශබ්ද කරන්නෙ එක විධියට නො වෙයි. අපට තියෙන්නෙ සංයුක්ත රටා.

 

ශූන්‍ය කියන්නෙ හිස් බව. සියලු සංස්කාර ශූන්‍යයි. ඒ හිස් බවට තමයි අපි සංකේතයක් හදා ගත්තෙ හල්කිරීම. ඒක පස්සෙ භාරතීය භාෂාවල බලපෑමෙන් බිංදුව බවට පත් වුණා. හල් කිරීම සංයුක්ත කතාවක්. පරම ශූන්‍යය කියා සංකල්පයක් සිංහල බුද්ධාගමේ නැහැ. එය බටහිර සංකල්පයක්. නිවන ශූන්‍ය නොවෙයි. එය ශූන්‍යත් නැහැ නිශ්ශූන්‍යත් නැහැ. එය තැනක්වත් බහාලුමක්වත් නොවෙයි. කොටින් ම නිවනට එය කියන එකත් වැරදියි.

 

සිංහලයන්ට වියුක්ත ව හිතන්න බැහැ. අපි සංයුක්ත චින්තනයක් ඇති අය. අවුරුදු දෙසීයකට කිට්ටු කාලයක් ලංකාවෙ බටහිර විද්‍යාව ඉගැන්නුවත් අපට තවමත් හරිහමන් ප්‍රවාදාත්මක විද්‍යාඥයකු බිහි කරගන්න බැරි වෙලා. ඒ ලංකාවේ පහසුකම් නැති නිසා කියා ඇඟ බේරාගන්න බැහැ. බටහිර පහසුකම් ඇති ආයතනවල සේවය කරන සිංහලයන් ඉන්නවා. ඔවුන් සංස්කරණය කර ඇති වියුක්ත සංකල්පයක් ප්‍රවාදයක් තියෙනවා ද?

 

සියලු කතා බොරු. වියුක්ත කතා පට්ටපල් බොරු. බටහිර විද්‍යාව පට්ටපල් බොරු. මෙය තවමත් තේරෙන්නෙ නැත්තෙ ඉන්ඩන්ගෙන් නැත්නම් සුවාදීනයන්ගෙන් පැවත එන හා ජ වි පෙ පඬි නැට්ටන්ට. කෙකරගාමින්ට නම් තේරෙනවා. ඔවුන් හයිසන්බර්ග් නිවැරදි කරනවා.

 

අභ්‍යුහනයෙ අනෙක් පැත්ත තමයි අපෝහනය (deduction). නිගමනය කියලත් කියනවා. ඒ අර දන්නවා යැයි කියන තැනකින් පටන් අරන් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගෙන යම් යම් නිගමනවලට පැමිණීම. සිංහලයන්  සාමාන්‍යයෙන් නිගමනවලට එන්නෙ එහෙම නොවෙයි. සාදෘශ්‍යයෙන්. ඒක එහෙම නම් මේක මෙහෙමයි ක්‍රමයෙන්. ගණිතය හදාරන සිසුසිසුවියන් පවා ඉගෙන ගන්නෙ මූලධර්ම ඉගෙන ඒ නයින් ගැටලු විසඳන්න නොව මේ වගේ ගාණක් දුන්නොත් මෙහෙම හදන්න.

 

කොවිඩ් 19 බටහිර විද්‍යාවට අහුවෙන්නෙ නැහැ. එය වෙනත් වෛරස් රෝගයක් වගේ නො වෙයි. අදාළ වෛරසය වෛරස කුලකයට පිටින් තියෙන්නෙ. බටහිර වෙදකමේ වෛරස් රෝගවලට කොහොමටත් ප්‍රතිකාර නැහැ. ඒලියන්ත වයිට්ටත් තම වෛද්‍ය ක්‍රමයෙ ප්‍රතිකාරයක් නොතිබෙන්න ඇති. එහෙමත් නැත්නම් තමාට ම ප්‍රතිකාර නියම කර ගැනීමට බැරුව වෙන්න ඇති. කොහොමටත් ඔහු මිය ගියෙ බටහිර රෝහලක. බටහිර විද්‍යා වහලුන් දැන් ඒකට ලිඳ ළඟ කතා හදනවා. වයිට් එන්නත අරගෙන හිටියෙ නැහැලු. ඒ කතාවෙ තේරුම මොකක් ද? එන්නත ගත් අය රෝගයෙන් මැරෙන්නෙ නැද්ද? එන්නත නොගත් අය රෝගයෙන් මැරෙනවා ද?   

 

මේ ක්‍රමය මා දැන් ග්‍රැමෆෝන් තර්කය කියා හඳුන්වනවා. ළඟ දී එක් පඬියකු නිගමනය කළා එකල ලංකාවෙ ග්‍රැමෆෝන් ඉතා අඩු සංඛ්‍යාවක් තිබුණ නිසා ග්‍රැමෆෝන් ගීත ඇසූ පිරිස ජනගහනයන් 0.00000001% ක් වගේ කියා. මෙය විශ්ලේෂණය කර එවන පළමු තැනැත්තාට ග්‍රැමෆෝනයක ඡායාරුපයක් තෑගි කරනව. අපේ ගෙදර ග්‍රැමෆෝනයක් තිබුණෙ නැහැ. ඒත් අපි ඔය ග්‍රැමෆෝන් ගීත එකල අහල තිබුණා.