History

Sunday, 5 September 2021

නවසීලන්ත අගමැතිණිය, ත්‍රස්තවාදියා හා සභ්‍යත්ව ගැටුම

 

නවසීලන්ත අගමැතිණිය, ත්‍රස්තවාදියා  හා සභ්‍යත්ව ගැටුම

 

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී ලංකාවෙන් ගිය ඉස්ලාම් භක්තිකයකු සුපිරි වෙළෙඳහලක දී කිහිප දෙනකුට පිහිඇනුම් පහර දීමෙන් පසු පොලිසියෙන් වෙඩිකාලා මිය ගිහින්. මෙවැනි සිද්ධියක් ලංකාවේ සිදු වුණා නම් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හෙවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍ය හා මෙරට ඔවුන්ගේ රාජ්‍ය නොවන ඒජන්තයන් වූ දකුණේ (දක්‍ෂිණාංශික) වමාලා සිංහල බෞද්ධ අධිපතිවාදයට හා පොලීසිය නීතිය අතට ගැනීමට විරුද්ධ ව ප්‍රකාශ පිට ප්‍රකාශ නිකුත් කරන්න තිබුණා. නඩු විභාගයක් නැතිව පොලීසියට සටන්කාමියා ඝාතනය කිරීමට අවසරයක් නැති බවත් සටන්කාමියාගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔවුන් කියන්න තිබුණා.

 

නවසීලන්තය සිංහල බෞද්ධ රටක් තබා බෞද්ධ රටක්වත් නොවෙයි. එය අර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍යයක් ඇති රටක්. ලංකාවේ ඒ සිිද්ධිය වුණා නම් වරදකරුවා ලංකාවේ ආණ්ඩුව හා පොලීසිය. නවසීලන්තය් ඒ සිදු වූ විටත් වරදකරුවා ලංකාව. නවසීලන්ත අගමැතිණිය තම කතාවේ දී ත්‍රස්තවාදියා ලංකාවේ බව කීමට අමතක කෙළේ නැහැ. බටහිර රටවල් ලෝකය පුරා ප්‍රචාරය කර ඇත්තේ ලංකාවේ මානව අයිතිවාසිකම් නැති බවත් සිංහල බෞද්ධ සුපිරි ජාතිකත්වය  ජනවර්ග මර්දනයට ලක්කරන බවත්. නවසීලන්ත අගමැතිණිය ත්‍රස්තවාදියාගේ ජනවර්ගයක් ආගමක් සඳහන් කෙළේ නැහැ. ඔවුන් කියාවි එසේ සඳහන් කිරීම ගෝත්‍රවාදී බැවින් සඳහන් නොකළ බව. ත්‍රස්තවාදියා සිංහල බෞද්ධයකු යැයි ලොව ඇතැමුන් විශ්වාස කෙළේ නම් මා පුදුම වන්නේ නැහැ.

 

එහෙත් නවසීලන්ත අගමැතිණියට අමතක වූ කරුණ නම් ත්‍රස්තවාදියා නවසීලන්තයේ සරණාගතයකු බව. ඔහු ශිෂ්‍යයකු ලෙස නවසීලන්තයට ගොස් 2013 දී එරට සරණාගත තත්වය ලබාගෙන තියෙනවා. සරණාගතයකු අයත් වන්නේ කිනම් රටකට ද? සරණාගතයා තමාගේ කලින් රට අත්හැරි අයෙක්. ඔහු ඒ රටට යන්නේ නැහැ. ඔහු දැන් ජීවත් වන්නේ වෙනත් රටක. ඔහුට ඒ වෙනත් රටේ රටවැසිකම ලබා දී ඇත් ද නැත් ද යන්න ප්‍රශ්නයක් වන්න පුළුවන්. කෙසේ නමුත් නවසීලන්ත අගමැතිණිය සඳහන් කළ යුතුව තිබුණේ ත්‍රස්තවාදියා ලාංකිකයකු බව නොව නවසීලන්තයේ සරණාගතයකු බව. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍ය අවස්ථාවක් ලැබුණු විගස බෞද්ධත්වයට වක්‍ර ව හරි පහර ගහනවා. නවසීලන්තය ත්‍රස්තවාදියාට සරණාගත තත්වය ලබා දී ඇත්තේ ඔහු ඊනියා සිංහල බෞද්ධ රාජ්‍යයෙන් හිංසාවට ලක්වන බව කී නිසා වෙන්න ඕන. නවසීලන්ත අගමැතිණිය තම රට සිංහල බෞද්ධ යැයි කියන රාජ්‍යයකට එරෙහි ව සරණාගත භාවය ලබා දුන් ත්‍රස්තවාදියකු මිය ගිය පසුත් ඒ ඊනියා සිංහල බෞද්ධ රාජ්‍යය ම අපකීර්තියට ලක්කරන්න හදනවා. කොහොම ද ටිකිරි මොළේ.   

 

අද ලෝකයේ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හා මුස්ලිම් සභ්‍යත්වය අතර සටනක්. ඒ සටන නවසීලන්තයේ දීත් ලංකාවේ දීත් දැක ගන්න පුළුවන්. අද සභ්‍යත්වය යන්න වැරදි විධියට ලංකාවේ යොදා ගැනෙනවා දකින්න පුළුවන්. එයට ප්‍රධාන හේතුව මාටින් යක් විසින් ප්‍රචලිත කරන ලද සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පය ගුණදාස අමරසේකර ලංකාවේ වැරදියට යොදා ගැනීමයි. අද වන විට සමහරුන්ට අනුව රුසියාව හා චීනය සභ්‍යත්ව රාජ්‍ය. ඉන්දියාව ද සභ්‍යත්ව රාජ්‍යයක් කරා නැවතත් පා නගනවා.

 

සභ්‍යත්ව රාජ්‍යය යන්න ඇතැම් රාජ්‍ය බටහිරයන්ගේ ජාතික රාජ්‍යයෙන් වෙන්කර හැඳින්වීම සඳහා යොදා ගන්නා සංකල්පයක්. ඇතැමුන්ගේ අර්ථ දැක්වීම අනුව සභ්‍යත්වයක් කියන්නෙ මනුෂ්‍යත්වය ළඟට මිනිසුන් විශාල සමුහයක් එකට ගත හැකි ගුණාංග සහිත වූ ප්‍රපංචයක්. එය සංස්කෘතියකට වඩා විශාල වූවක්. සභ්‍යත්වයක සංස්කෘති කිහිපයක් තියෙන්න පුළුවන්. රුසියන් සභ්‍යත්වය නැගෙනහිර යුරෝපීය කියා කියන්න පුළුවන්. චීන සභ්‍යත්වයටත් සංස්කෘතීන් කිහිපයක් අයත් වෙනවා. ඉන්දියාව රටක් බවට පත් කරන ලද්දේ ඉංගිරිසින් වුවත් ඇතැමුන්ගේ මතය ඉංගිරිසින් පැමිණීමට පෙර එහි පොදු සභ්‍යත්වයක් තිබූ බවයි. විවිධ භාෂා කතා කිරීම හා විවිධ සංස්කෘතීන් තිබීම සභ්‍යත්වයක ලක්‍ෂණ.

 

සිංහල බෞද්ධ සභ්‍යත්වයක් කියන එක සංකල්පීය ව වැරදියි. ඇතැමුන්ගේ මතය අනුව සභ්‍යත්ව රාජ්‍යය කියන එක මිථ්‍යාවක් වන අතර ඇතැමුන් හිතන්නේ විසිඑක්වැනි සියවස සභ්‍යත්ව රාජ්‍යයවල සියවස කියා. පසුව කී අයට අනුව ට්‍රම්ප්ගේ ආණ්ඩුවත් සභ්‍යත්ව රාජ්‍යයක් කරා ගිය එකක්.

 

ඒ කොහොම වුණත් සභ්‍යත්වයක් රටකට පමණක් සීමා වන්නේ නැහැ. සභ්‍යත්වය යන සංකල්පය යටතේ විවිධ රටවල විිවිධ භාෂා කතා කරන විවිධ සංස්කෘතීන්වලට අයත් අය එකතු කරන්න පුළුවන්. අද නවසීලන්තයත් එංගලන්තයත් ඕස්ත්‍රේලියාවත් කැනඩාවත් එක්සත් ජනපදත් පමණක් නොව ජර්මනියත් ප්‍රංශයත් එකම සභ්‍යත්වයක රටවල්. කතෝලික රටවල්වලට ද අද ක්‍රිස්තියානි සභ්‍යත්වයට ඇතුල් වෙන්න වෙලා.

 

ඉස්ලාම් ආගම අදහන ඇතැමුන් කිනම් රටක රටවැසියන් වුව ද ලෝක මුස්ලිම් සභ්‍යත්වයට අයත් අය ලෙස එකට බැඳිලා. ඕක්ලන්ඩ් ත්‍රස්තවාදීයාගේ මවට අනුව පුතා ත්‍රස්තවාදියකු වී ඇත්තේ නවසීලන්තයට ගිය පසු බටහිර ආසියාවෙන් පැමිණ ඇති අසල්වැසියන් නිසා. මොන රටින් ආවත් ඔවුන් මුස්ලිම් සභ්‍යත්වයේ. ඔවුන් අද සටන් කරන්නේ ලෝක ආධිපත්‍යය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයෙන් උදුරා ගැනීමට. අද ඇෆ්ගනිස්තානයේ සිදු වන්නේත් ඒ සටනේ ම කොටසක්. ඇෆ්ගනිස්තානයට ගිය ලාංකිකයන් විසි දෙනකු පමණ ආපසු ඒමට බැහැ කියා. ඔවුන් ලෝක මුස්ලිම් සභ්‍යත්ව ආධිපත්‍යයක් වෙනුවෙන් සටන් කරන ලංකාවෙන් ගිය ඉස්ලාම් භක්තියන් වෙන්න ඕන. පකිස්තානය කලක් බටහිරයන් සමග සුහද ව සිටියත් සභ්‍යත්ව ගැටුම උත්සන්න වීමත් සමග බටහිරින් කැඩී යමින් පවතිනවා. රුසියන් හා චීන සභ්‍යත්ව දැනට මේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ ක්‍රිස්තියානි විරෝධයක් ඇති සභ්‍යත්ව.

 

ලංකාවේ පාස්කු ප්‍රහාරයත් මේ ගැටුමේ ම කොටසක්. පාස්කු ප්‍රහාරය ක්‍රිස්තියානි පල්ලිවලට එල්ල කරන ලද්දක්. මේ ගැටුමේ දී වියුක්ත චින්තනයක් ඇති බටහිරයන් තමන්ට වාසිවන අයුරින් සංයුක්ත චින්තනයක් ඇති ඉස්ලාම් භක්තියන් යොදා ගන්නත් දන්නවා. මේ සභ්‍යත්ව ගැටුම අප නවසීලන්තයේ දී මීට කලිනුත් දැක්කා. ලංකාවේ පාස්කු ප්‍රහාරයට ටික දිනකට කලින් නවසීලන්තයට ඕස්ත්‍රේලියාවෙන් ගිය පුද්ගලයකු ක්‍රයිස්ට්චර්ච් නුවර දී පල්ලියක දී හා වෙනත් මධ්‍යස්ථානයක දී ඉස්ලාම් බැතිමතුන් ඝාතනය කළා. යහපාලනයේ රාජ්‍ය ඇමතියකු තම විදග්ධභාවය පෙන්නමින් සඳහන් කෙළේ පාස්කු ප්‍රහාරය ඒ ක්‍රයිස්ට්චර්ච් ඝාතනවලට පළිගැනීමට කළ එකක් බව.

 

නවසීලන්ත ත්‍රස්තවාදියා ගැන එරට පොලීසිය කලින් දැන හිටි නමුත් ඔහු සිරකර තැබීමට නොහැකි වෙලා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ප්‍රජාතන්ත්‍රවාදය නිසාමයි. ත්‍රස්තවාදියාගේ මානව අයිතිවාසිකම් රැකීමට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය බැඳිලා. පොලීසියට කළ හැකි ව තිබී ඇත්තේ ඔහු පිටුපස ගොස් සෝදිසියෙන් සිටීම පමණයි. අද මාටින් ලූතර් ඇති කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය ස්වයං කඩාවැටීමකට ලක් වෙලා. එය මුස්ලිම් සභ්‍යත්වයට වාසිදායකයි. එහෙත් ක්‍රිස්තියානි සභ්‍යත්වයේ වියුක්ත චින්තකයන් ඉන්නවා. ඔවුන් අර ප්‍රජාතන්ත්‍රවාදයට නව මුහුණුවරක් දීමට ඉඩ තියෙනවා. කොවිඩ් 19  ක්‍රිස්තියානි සභ්‍යත්වයට තර්ජනයක්. අද ක්‍රිස්තියානි සභ්‍යත්වය හා ඒ ආශ්‍රිත දැනුම කඩා වැටෙමින් තියෙන්නෙ. එහෙත් මුස්ලිම් සභ්‍යත්වයට දිනන්න හැකියාවකුත් නැහැ. ඔවුන්ගේ සංයුක්ත චින්තනය පුළුල් මට්ටමක දී දිනන චින්තනයක් නො වෙයි. එය ඒ මට්ටමේ පැරදී බොහෝ කල්. පරණ තෙස්තමේන්තුවෙන් කියැවෙන්නේ ඒ පරාජයයි. ගෘහස්ථ මට්ටමේ දී පමණක් සමහරවිට සංයුක්ත චින්තනයට ජයගත හැකියි.