History

Friday, 1 October 2021

අදානි හා භූමදානි

 

අදානි හා භූමදානි

 

මා ව්‍යවසායකයකු නොවෙයි. එහෙත් මට තේරෙන දෙයක් නම් මෙරට විශාල ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට හැකි ව්‍යවසායකයන් නැති බවයි. අපට අදානි සමාගම හරි වෙනත් රටක (බොහෝ විට බටහිර රටක) සමාගමක් එක්ක හරි එකට එකතු වීමට සිදු වන මූලික කරුණ එය බවයි මගේ වැටහීම. මා වැරදි වන්න පුළුවන්.

 

අප ඉතා සුළු දෙයක් මහා දෙයක් බවට කියන ජාතියක්. නැති බැරි කම වුණත් එහෙමයි. නැති බැරි කම අහස උසට නග්ගල කියන්න අප දන්නවා. ඒ වගේමයි අපේ හැකියා ගැනත් අප කියවන්නෙ. මා හිතන්නෙ නැහැ මෙරට තරම් ජාත්‍යන්තර කීර්තියට පත්වුණු ප්‍රාමාණික උගතුන් විශේෂඥයන් වෙනත් රටක ඉන්නවා කියා. නාසා ආයතනයේ හරි වෙනත් එවැනි ආයතනයක හරි සේවය කරන්නන් ගැන අප කියන්නේ ඔවුන්ට නොබෙල් තෑග්ග ලැබෙන්න ඉන්නවා වගෙයි.

 

ලබන සතිය  නොබෙල් සතියයි. ළබන සඳුදා බටහිර වෙදකම හා භෞතවේදය පිළිබඳ 2021 නොබෙල් තෑග්ග දිනාගත් අය ප්‍රකාශ කරාවි. ඉන්පසු ඒ සතිය පුරා සිකුරාදා වන තෙක් විවිධ විෂය (සාමය ද ඇතුළුව) පිළිබඳ තෑගි දිනාගත් අයගේ නම් ප්‍රසිද්ධ කරාවි. ඊළඟ සතියේ සඳුදා ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග දිනාගන්නේ කවුද කියා අපට දැනගත හැකි වේවි.

 

වසංගතය පිළිබඳ මෙරට ඉන්න බටහිර වෙද මහත්තුරු වෙද හාමිනේලා පමණක් නොව රසායනාගාර සහායකයන් ද කියන කරුණු අහල තියෙන අපට බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. වෙදකම පිළිබඳ මෙවර නොබෙල් තෑග්ගට හිමිකම් කියන්න බොහෝ දෙනකු මෙරට ඉන්නවා.  මා සඳුදා වන තුරු ඉන්නේ නොඉවසිල්ලෙන්.

 

ඒ මදිවට මෙවර ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ගත් ලංකාවට හිමිවන්න ඉඩ තියෙනවා. ආර්ථික විද්‍යා මහාචාර්යවරු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු සම්මානිත මහාචාර්යවරු කී දෙනකු ප්‍රාමාණික උගතුන් ද? ජාත්‍යන්තර කීර්තියට පත් විශේෂඥයන් ද? ඒ නිසා ඊළඟ සඳුදාත් ලංකාවට හොඳ දිනයක් වේවි. භෞතික විද්‍යාව රසායන විද්‍යාව සාහිත්‍යය සාමය ගැනත් අපට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. අවාසනාවකට සාහිත්‍ය විචාරයට තෑග්ගක් නැහැ. තිබුණ නම් දශක දෙකකට එක දිගට තෑගි ගන්න හැකි අය මෙරට ඉන්නවා.

 

ව්‍යවසායකයන් සඳහා නොබෙල් තෑග්ගක් නැහැ. ඒත් අප ව්‍යවසායකයන් ගැන කතා කරන්නේ බොහෝ ම උජාරුවෙන්. ඉංගිරිසින්ට අයත් ව තිබූ අහවල් සමාගම දැන් අහවලාට අයිති කියා අප කියනවා. කාට ද ආඩම්බරේ.  ඒත් අපට විශාල ව්‍යාපාරයක් පටන් ගන්න හැකි අයකු මෙරටින් හොයා ගන්න බැහැ. එයට හේතුව කුමක් ද? අපට ධනවාදය හරි යන්නෙ නැද්ද? අපට ධනපතියන් වෙන්න බැරි ද? අපි උපන්ගෙයි සමාජවාදීන් ද?

 

මා ඒ ගැන තරමක් විමසිලිමත් වුණා. ඒ මට ව්‍යවසායකයකු වීමට නො වෙයි. මට ව්‍යවසායකයකුගේ සහායකයකුවත් වෙන්න බැහැ. මට දැන ගන්න ලැබුණු තොරතුරු අනුව අද එක්සත් ජනපද ඇතුළු විවිධ රටවල ව්‍යවසායකයන් රාජ්‍ය අනුග්‍රහ ලබන අය. බටහිර ක්‍රිස්තියානි නුතනත්වය ආරම්භයේ ධනවාදයක් තිබුණේ නැහැ. ව්‍යවසායකයන් අද අර්ථයෙන් හිටියෙත් නැහැ. බටහිර රටවල තිබුණේ යුරෝපීය වැඩවසම් ක්‍රමයක්. ඒක දිහා බලාගෙන පඬි නැට්ටන් කියනවා මෙරටත් අනුරාධපුර යුගයේ සිට තිබුණේ වැඩවසම් ක්‍රමයක් කියල. ඔවුන් අඩු තරමෙන් මාක්ස් ආසියාතික නිෂ්පාදන මාතය (Asiatic Mode of Production) ගැන කී දේවත් දන්නේ නැහැ.

 

පඬි නැට්ටන්ගේ පඬි කතා අමතක කළත් යුරෝපීය වැඩවසම් ක්‍රමය පැවතියේ රාජ්‍ය අනුග්‍රහයෙන්. රජු රදළයන් හා පූජකයන් එහි ප්‍රධානත්වය දැරුවා. ක්‍රිස්තියානි නූතනත්වය විකාශය වත් ම වෙනත් ආකාරයක ව්‍යවසායකයන් පිරිසක් ඇති වුණා. ඔවුන් තේරුම් ගත් ප්‍රධාන ම කරුණ වුණේ රාජ්‍ය අනුග්‍රහය තමන්ට ලැබිය යුතු බව. ඒ සඳහා මුලින් ම ඔවුන් කෙළේ රාජ්‍ය බලය තමන් අතට ගැනීම. එංගලන්තයේ එය සිදු වුණේ රජවරුන් රදළයන් හා පූජකයන් සම්පූර්ණයෙන් නැති නොකර. අදත් එලිසබත් වින්ඩ්සර් ගැන පමණක් නොව හැරීගේ විවාහය ගැනත් ලංකාවේ අපත් උනන්දු වෙනවා. එංගලන්තයේ පූජකයන් හා රදළයන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වෙන ම සාමි මන්ත්‍රණ සභාවක් (House of Lords) ද තියෙනවා. අනෙක් සභාව සාමාන්‍යයන්ගේ සභාව (House of Commons).

 

බටහිර රටවල ව්‍යවසායකයන් හා රාජ්‍යය අතර තිබූ සම්බන්ධය අදත් නොකෑඩී පවතිනවා. එය ධනපති රාජ්‍යයක් කියා සමාජවාදී පඬි නැට්ටන් තම දැනුම ප්‍රදර්ශනය කරාවි. මට මෙහි දී කීමට අවශ්‍ය ව්‍යවසායකයන්ට ඒ ඒ රටවල රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවයි. ඉන්දියාවේ අදානිලට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. එහෙත් ලංකාවේ තත්වය කුමක් ද? බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අප මත බලෙන් පටවන ලද්දක්.  දැන් ක්‍රියාත්මක වන හැම දෙයක් ම එහෙමයි. ඒ සෑම එකක් ම බටහිර ආයතනවල බාල අනුකරණ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, අධ්‍යාපනය, සෞඛ්‍යය, වෙළෙඳපොල, කොටස් වෙළෙඳපොල ආදී හැම එකක් ම බටහිර ක්‍රමයේ බාල අනුකරණ. විශ්වවිද්‍යාල ගැන කියල වැඩක් නැහැ. මෙරට නොබෙල් තැගි දිනාගන්න ඉන්න අයත් එහෙමට කියා වෙනසක් නැහැ.

 

මෙරට රාජ්‍යය හා ව්‍යවසායකයන් අතර අර කිට්ටු සම්බන්ධය නැහැ. රාජ්‍ය අධිකාරිය ව්‍යවසායකයන් දෙස බලන්නේ සැකයෙන්. ව්‍යවසායකයන් තමන්ට වඩා බලයක් අත්කර ගනීවිද කියන සැකය රාජ්‍ය අධිකාරියට තියෙනවා. ඒ නිසා රාජ්‍ය අධිකාරිය මෙරට ව්‍යවසායකයන්ට වෙනත් ඇතැම් රටවල මෙන් අනුග්‍රහකත්වයක් ලබා දෙන්නේ නැහැ. රාජ්‍ය අධිකාරිය වඩා කැමති පිටරට ව්‍යවසායකයනට අනුග්‍රහය ලබා දීමට. ඊනියා විවෘත ආර්ථිකයෙන් ද මූලික වශයෙන් කෙරුණේ මෙරට ව්‍යවසායකයන් අධෛර්යමත් කර භූමදාන කිරීම.

 

සමාජවාදී පඬි නැට්ටකු කියන්න බැරි නැහැ දේශීය ධනපතියා කියා වෙනසක් නැති බවත් ධනපතියා ධනපතියා ම බවත්. ඒ අතර ඔවුන් අර පිටරට සමාගමට රට විකිණීම ගැනත් බෙරිහන් දෙනවා. මෙරට ඊනියා සමාජවාදීන් ද බාල අනුකාරකයන් පමණයි.