History

Monday, 11 October 2021

චීන පොහොර කතාව

 

චීන පොහොර කතාව

 

ඊයේ (ඔක් 10) ලිපියේ පහත සඳහන් වාක්‍ය කිහිපය ද තිබුණා. සාමාන්‍යයෙන් සිදු වන පරිදි එය ඇතැමුන් වැරදියට තේරුම් ගැනීමට ඉඩ තියෙනවා. ලිපියක් එහෙන් මෙහෙන් කියවන පඬි නැට්ටන්ට නම් එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් හැම ලිපියක් ම තේරුම් නොගැනීමේ අතිදක්‍ෂයන්.

 

බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ ගැන කියන්න තරම් මා උගතකු හරි බුද්ධිමතකු හරි විද්‍යාඥයකු හරි නො වෙයි. පඬි නැට්ටන්ට මේ ලිපියත් ආතල් ගෙනෙන හෑල්ලක් පමණක් වන බව මා දන්නවා. එහෙත් තානාපති කාර්යාලය කියන දේ ගැන ආණ්ඩුව විමසිලිමත් වෙන්න ඕන. මෙය හුදෙක් බටහිර විද්‍යාවේ ප්‍රශ්නයක් නො වෙයි. එහි දේශපාලනයක් තියෙනවා. චීන සභ්‍යත්වය හා බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය අතර ගැටුම මේ පිටුපස තියෙනවා.”

 

මා බටහිර විද්‍යාව එතරම් ඉගෙන නැහැ. පඬි නැට්ටන් තරමට නම් කොහොමටවත් ඉගෙන නැහැ.  මා කියා ඇත්තේ චීන තානාපති කාර්යාලය චීනයෙන් ගෙන්වීමට නියමිත ව තිබූ කාබනික පොහොරවල ඇතැයි කියන ක්‍ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමසිලිමත් වෙන්න ඕන කියන එකත් එය බටහිර විද්‍යාවේ ප්‍රශ්නයක් පමණක් නොවන බවත් එහි දේශපාලනයක් ඇති බවත්. මෙයින් කියැවෙන්නේ නැහැ චීන තානාපති කාර්යාලය කියන දේ නිවැරදි ය කියාවත් බටහිර විද්‍යාව දේශපාලනයෙන් තොර එකක් කියාවත්.

 

පොහොර සම්බන්ධයෙන් කිව යුතු දේ බොහොමයක් තියෙනවා. අද මෙරට වමාලාත් පෙනී හිටින්නේ රසායනික පොහොර නිපදවන බහු ජාතික සමාගම් වෙනුවෙන්. මෛත්‍රිපාල සිරිසේනත් කියා තිබුණා පොහොර ප්‍රශ්නය නිසා ඔහුට පොළොන්නරුවට යෑමට නොහැකි වෙන්න පුළුවන් කියා. පොළොන්නරුවේ ගොවි පුතාත් ඉන්නේ කොළඹ බව ඉන් වැටහුණා. මේ කවුරුත් කියන්නේ ගොවීන්ගේ දුක ගැනයි. ගොවීන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔවුන් තම සීයලාගේ දැනුමට පයින් ගැසීම. එදා ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව රසායනික පොහොර නොමිලේ ලබා දෙද්දී මේ ගොවීන්ගේ සීයලා එයට විරුද්ධ වුණා. සමහර විට මෛත්‍රිපාල සිරිසේනගේ පියාත් එයට විරුද්ධ වෙන්න ඇති. අද ගොවීන්ට රට පොහොර පමණක් නොව රට බීජ ද අවශ්‍යයි. රට පළිබෝධ නාශක ද අවශ්‍යයි. ප්‍රශ්නය  පොළොන්නරුවට ගිහින් හරි නොගිහින් හරි ගොවීන් රසායනික පොහොරෙන් නිදහස් කර ගන්නේ කෙසේ ද යන්නයි. මෛත්‍රිපාල සිරිසේන පුළුවන් නම් ටිකක් ඒ ගැන හිතනවා ද?

 

මෙරට ඊනියා කෘෂිකර්ම පීඨවල පමණක් නොව සෑම පීඨයක ම පාහේ උගන්වන්නේ බටහිර දැනුම මිස අනෙකක් නො වෙයි. ඊනියා පෙරදිග අධ්‍යයන විෂය උගන්වන අධ්‍යයනංශවල භාරතීය දැනුමක් ද උගන්වනවා. එයත් විජාතික. දැන් පඬි නැට්ටකු අහන්න බැරි නැහැ බුදුදහමත් විජාතික ද කියල. බුදුදහම විජාතික වුණේ එකල දඹදිවට. දඹදිව කියන්නෙ ලංකාවට කියල කියන්න බහුුශ්‍රැතයන් ඉදිරිපත් වෙන්න ඕන නැහැ. සිදුහත් කුමරු දඹදිව නේපාලයේ උපදින්න ඇති. ඒත් එතුමා බුදු වුණේ දඹදිව සියළු චින්තනවලට පිටු පාල. බ්‍රහ්මජාල සූත්‍රයේ කියැවෙන්නේ ඒ කරුණයි. බුදුදහමේ චින්තනය සිංහල කිවුවොත් බොහෝ දෙනා මට විරුද්ධ වේවි. එහෙත් මෙරට බුදුදහම පැලපදියම් වීමටත් දඹදිවින් නැත්නම් භාරතයෙන් ඒ ප්‍රතික්‍ෂෙප වීමටත් හේතුව කුමක් ද?

 

මහායානය යනු සසුනේ පැවිදි වූ බ්‍රාහ්මණ වාංශිකයන් බුදුදහම භාරතීය (දඹදිව) චින්තනය තුළට ගැනීමට කළ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවයි මා හිතන්නේ. එය සංස්කෘතයෙන් තිබීමත් සැලකිල්ලට ගන්න ඕන. එහෙත් ඒ උත්සාහයත් අසාර්ථක වී තියෙනවා. මා හිතනවා ඒකත් නොවන මේකත් නොවන දේ ගැන අප අනාදිමත් කාලයක සිට කතා කරනවා කියාත් ඒ සඳහා අවශ්‍ය විධියට අපේ භාෂාව සැකසී ඇති බවත්. අපේ භාෂාව භාරතීය ව්‍යාකරණවලට යට කරන්න ගිහින් පැරණි උගතුන් මහා වරදක් කර තියෙනවා. වත්මන් උගතුන් එය බටහිර වාග්විද්‍යාවට යට කරන්න හදනවා. අද දරුවනට සිංහල බැරිවීම ගැන පැරණි උගතුන් මෙන් ම වත්මන් උගතුන් ද වග කියන්න ඕන. සිදුහත් කුමරු කොහේ උපන්නත් බුදුහාමුදුරුවන් අපේ කියා මා කලකට පෙර කියා ඇති. සිදුහත් කුමරු උපදින කාලයේ ලංකාවේ සංසාරය පිළිබඳ දැනුමක් තිබුණා ද යන්න ප්‍රශ්නයක්. මළවුන් ඇදහීමක් තිබුණත් සසර කියන සංකල්පය තිබුණා ද යන්න සොයා බැලිය යුතුයි. නිවන සඳහා සසර අවශ්‍යයි. 

 

විශ්වවිද්‍යාලවල උගන්වන්නේ විජාතික චින්තන මත පදනම් වූ දැනුම්. අපේ චින්තනයක් මත පදනම් වූ  දැනුමක් කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වන්න සූදානම් වන විට ජී එල් පීරිස් ප්‍රමුඛ පිරිසක් මා විශ්වවිද්‍යාලයෙන් අස්කර දැම්මා. ජී එල් මගෙන් ඇහුවා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා. ඒ ප්‍රශ්නයේ තිබුණේ ම විශ්වවිද්‍යාලවල උගන්වන්න ඕන විජාතික චින්තන මත පදනම් වූ දැනුම් ය යන අදහසයි. එය බටහිර වුණත් භාරතීය වුණත් ඊනියා උගතුන්ට ප්‍රශ්නයක් නො වෙයි.

 

චීන ප්‍රකාශය මෙන් ම මෙරට විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල උගතුන්ගේ ප්‍රකාශත් දේශපාලනිකයි. බටහිර විද්‍යාව දේශපාලනික බව පොහොර කතාවෙන් වුණත් පැහැදිලි වෙනවා. චීනයත් අපේ උගතුනුත් තම තම මත විද්‍යාත්මක බව කියනවා. බටහිර විද්‍යාවේ ඒ චින්තනයේ බිහිවන විවිධ මත ගැලීලියෝගේ නිවුටන්ගේ කාලයේ ඉඳල ම තියෙනවා. ගණිතය සම්බන්ධයෙනුත් එසේමයි. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තමන්ට අවශ්‍ය මතය පමණක් ලෝකයට කියනවා. මෙරට ඊනියා උගතුන් තමන් ඉගෙන ඇති උගන්වන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව මතය අපට කියනවා. ජනමාධ්‍යකරුවන් පඬියන් වී ඒ මතවලට ප්‍රචාරය දෙනවා. අප අහගෙන ඉන්නවා. දැන් චීනය වෙනත් මතයක් කියනවා. අවසන් තීරණය ගැනෙන්නේ දේශපාලන මණ්ඩලවල. පසුගිය අවුරුදු දෙකක කාලයෙහි චීනය දේශපාලනික ව පසුබැසීමකට ලක් නොවන්නට මේ කතාවවත් ඇති වන්නේ නැහැ.