History

Friday, 29 October 2021

වමාලාට වම නැති වීම

 

වමාලාට වම නැති වීම

 

මෙරට වමක් නැති වමාලා ඔවුන්ට අනුව ධනවාදී රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දකුණේ සංවිධාන සමග සිංහල බෞද්ධ සංස්කෘතියට විරෝධය පානවා. ඔවුන්ට බටහිර රටවලින් ශිෂ්‍යත්ව හා වෙනත් ආධාර ලැබෙනවා. ඔවුන් දැන් සාමාන්‍යයෙන් ධනවාදයට විරුද්ධ වන්නේ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ ජාතිකත්වයට. ජාතිකත්වය ඔවුන් හිතන ආකාරයට ධනවාදී වන විට පමණක් ධනවාදයට විරුද්ධ වෙනවා. මොනවා කළත් ඔවුන්ට පුළුවන් විරුද්ධ වීම පමණයි. අද රටේත් පොදුවේ ගත් විට ලෝකයේත් ඇත්තේ විරුද්ධවාදී දේශපාලනයක් පමණයි.

 

ලෝකයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය දේශපාලනිකවත් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කඩා වැටිල. දැනුම වශයෙන් ගත් කල එය කඩා වැටුණෙ ඊට පෙර. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන විට එයට විකල්පයක් නැති කමේ ප්‍රශ්නය තියෙනවා. පට්ට ම පට්ටපල් බොරුවක් වූ මාක්ස්වාදය ක්‍රිස්තියානි නූතනත්වයට විකල්පයක් නො වෙයි. ඊනියා පශ්චාත්නූතනවාදය පශ්චාත්තාපවාදයක් පමණයි. අද ඒ සියල්ලන්ට ම කළ හැක්කේ විරෝධය දැක්වීම පමණයි.

 

ලංකාවේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අනෙක් යටත්විජිතවල වගේ ම යටත්විජිතවාදීන් බලෙන් පැටවූවක්. එයට විරුද්ධ ව තිබුණේ ජාතිකවාදයත් මාක්ස්වාදයත් පමණයි. ජාතිකවාදීන් බොහෝ විට කෙළේ අතීත ආවර්ජනයත් ඒ සමග ක්‍රිස්තියානි නූතනත්වයට යටවීමත්. මාක්ස්වාදීන් ලංකාවේ විප්ලවයේ අපිකේන්ද්‍රය (epicenter) වතුකරයේ තේවතුවල ඇතැයි හිතුවා.

 

ජාතිකවාදීන් 1817-18, 1848 නිදහස් සටන්වල සෙවණේ ජීවත් වුණා. එහෙත් ඔවුන්ගේ නායකයන් වුණෙත් ඉංගිරිසි වැවිලි පතල් ආරථිකයෙන් හා ඉංගිරිසි අධ්‍යාපනයෙන් බිහි වූවන්. ඔවුන් වැඩ කෙළේ ඉංගිරිසින් දුන් ආකෘතියෙමයි. ඔවුන් ආයුධ සන්නද්ධ සටන්වලට ගියේ නැහැ. ඔවුන්ට ප්‍රශ්නය වුණෙ මිෂනාරි පූජකවරුන් හා සිරිමාන්න වැනි ඇතැම් දේශකයන් බුදුදහමට පහර දීම. පංච මහාවාද ඔවුන්ගේ විරුද්ධත්වයේ ප්‍රතිඵලයක්. ඒ අතර අප රටට විදේශිකයන් දෙදෙනකු පැමිණියා. එක් අයකු මෙරට දී පැවිදි වී සීකිම් මහින්ද හෙවත් එස් මහින්ද හිමි නමින් ප්‍රසිද්ධ වුණා. අනෙක් තැනැත්තා ඕල්කට්තුමා.

 

මහින්ද හිමියන් සිංහල ජාතිකත්වයක් මත හිඳිමින් සිංහලයන් ඉංගිරිසින්ගෙන් නිදහස් වීමට පෙළඹුවා. උන්වහන්සේ සිංහලයන් අවදිවන බවක් නුදුටු නිසා දෝ ඇස්ගෙඩිවලට හෙණ ගහල ද සිහලුන්ගේ කියා ඇසුවා. සිංහලයන්ගේ ඇස්වලට හෙණ ගහල තමයි තිබුණෙ. තාමත් එහෙමයි. එයට හේතුව අර ඉංගිරිසි ආර්ථිකයෙන් හා ඉංගිරිසි අධ්‍යාපනයෙන් බිහි වු නායකයන්. ඔවුන් කටයුතු කෙළේ ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය යටතේ බුදුදහමට හා බුදුසසුනට පිළිගැනීමක් ලබා ගැනීමට. සිංහලයට පිළිගැනීමක් ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන් ඕල්කට් බෞද්ධයන්. ඕල්කට් බෞද්ධයන් කීවත් ඕල්කට්තුමා බෞද්ධයකු වුණේ නැහැ. ඔහු ගාල්ලෙ පන්සලක දී තිසරණ සහිත පන්සිල් සමාදම් වුණත් පරම විඥානවාදයෙන් කැඩුණෙ නැහැ.

 

ඔහු ආනන්ද විදුහලේ පළමු විදුහල්පති ලෙස ගෙන්වා ගත්තේ ක්‍රිස්තියානි බැතිමතෙක්. ඒ බැතිමතා පසු කලෙක ඕස්ත්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී ක්‍රිස්තියානි පූජකවරයකු වුණා. ඕල්කට්තුමා ඊනියා බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා බෞද්ධ පරම විඥානාර්ථ සමාගම කියා එකක් පිහිටුවා ගත්තා. බෞද්ධයනට පරම විඥානාර්ථවාදීන් වෙන්න බැහැ. බෞද්ධයන් විඥානවාදීන්වත් නො වෙයි. ඒ කියන්නෙ බෞද්ධයන් ද්‍රව්‍යවාදීන් කියන එකත් නො වෙයි. මා කුඩා කල බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ පාසල්වල ගුරුවරයකු වශයෙන් සේවය කළ පියා සමග පිටකොටුවේ ගුණසේන පොත්හල අසල පිහිටා තිබූ සමාගමේ ප්‍රධාන කාර්යාලයට ගිහින් තියෙනවා. එහි බෞද්ධකමක් තිබූ බවක් මට මතක නැහැ. මා කුඩා නිසා මට නොතේරුණා ද දන්නෙ නැහැ.  

 

ධර්මපාලතුමා මේ  නායකයන්ගෙන් වෙන් වුණා. එතුමා ඕල්කට්තුමා සමග එකඟ වුණේ නැහැ. එතුමා සිංහල බෞද්ධයා පළ කෙළේ බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සරසවි සඳරැස පුවත්පතට විරුද්ධ ව. අර නායකයන් එතුමාට විරුද්ධ ව කටයුතු කළා. විජේවර්ධනලාගේ ලේක් හවුසිය ධර්මපාලතුමාට පහර දුන්නා. අවසානයේ දී එතුමා රටත් එපා වී ඉන්දියාවට ගොස් බෞද්ධ කටයුතුවල යෙදුණා.

 

ධර්මපාලතුමා සිංහලකම හා බෞද්ධකම අතර ඇති සම්බන්ධය තේරුම් ගත්තා. ඕල්කට්තුමාගේ පත්තරේ සරසවි සඳරැස වන විට ධර්පාලතුමාගේ පත්තරේ සිංහල බෞද්ධයා වුණා. එහෙත් සිංහල බෞද්ධ සංකල්පය වැඩි කලක් තිබුණේ නැහැ. පංච මහාවාද නායකයන් සිංහලකමට වඩා බෞද්ධකම ඉස්මතු කළා නම් ධර්මපාලතුමාට පසුව පැමිණි ජාතිකවාදීන් බෞද්ධකමට වඩා සිංහලකම අගය කළා. එහෙත් ඔවුන් අර ඕල්කට් බෞද්ධ නායකයන්ගෙන් වෙන් වුණා. නමුත් ඔවුන්ට ප්‍රබල දේශපාලන සංවිධානයක් තිබුණේ නැහැ.

 

හෙළ හවුල දේශපාලන සංවිධානයක් වුණේ නැහැ. එමෙන් ම එහි බෞද්ධකමට වඩා සිංහලකම තිබුණා. හෙළ හවුල කතෝලික ප්‍රදේශවල ජනප්‍රිය වීමටත් එය හේතුවක් වුණා. හෙළ හවුලේ ත්‍රිවිධ රත්නය වූයේ දෙස බස රැස යන්න යි. අයි එම් ආර් ඒ ඊරියගොල්ල මහතාගේ භාෂා පෙරමුණෙත් සිංහලකම තමයි ඉස්මතු වුණේ. ඒ මහතා බෞද්ධ පරම විඥානාර්ථ සමාගමත් සමග සම්බන්ධ වූ අතර ක්‍රිෂ්ණමූර්තිවාදියකු ලෙස ද ප්‍රසිද්ධියක් ලබා තිබුණා. බණ්ඩාරනායක මහතා අරුණාචලම් මහතාගේ හින්දු මහා සභාව අනුව යමින් සිංහල මහා සභාව පිහිටෙව්වත් එයට ජාතිකත්වයක් තිබුණේ නැහැ. 1946 දී සිංහල මහා සභාව තවත් සංවිධාන සමග  එක්සත් ජාතික පක්‍ෂයට එකතු වුණා.

 

එහෙත් මෙරට සාමාන්‍ය සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට තමන්ගේ ම වූ දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව තිබුණා. බණ්ඩාරනායක මහතාට එ ජා පක්‍ෂයෙන් කැඩෙන්න එයත් බල පෑවා. එහෙත් ශ්‍රී ල නි ප මුල දී ලිබරල් පක්‍ෂයක් වුණා. එය ජාතිකවාදී පක්‍ෂයක් බවට පත් වූයේ 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග. මේ අතර පිලිප් ගුණවර්ධන මහතා ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉවත් වී විප්ලවකාරී සමසමාජ පක්‍ෂය පිහිටුවා ගෙන තිබුණා. මෙරට මාක්ස්වාදයේ පියා ලෙස ප්‍රසිද්ධ වූ ඒ මහතා පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන කතා කළා.

 

1956 මැතිවරණයට සුළු කාලයකට පෙර ශ්‍රී ල නි ප, වි ල ස ස ප, භාෂා පෙරමුණ හා තවත් පක්‍ෂ කිහිපයක් එකතු වී මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තා. වම ඒ සමග නැති වුණා. ජාතිකත්ව පක්‍ෂයක් නොමැති වීම නිසා අධිරාජ්‍ය විරෝධී හැඟීම් ඇති ඇතැමුන් වාමාංශික පක්‍ෂ සමග සම්බන්ධ වී සිටියත් ශ්‍රි ල නි පක්‍ෂය හා පසුව ම එ පෙරමුණ පිහිටුවීමත් සමග වාමාංශික පක්‍ෂවලින් ඉවත් වුණා. වම නැති වීමෙන් පසු වමාලාගේ විකාශය පසුව සාකච්ඡා කරමු.