History

Wednesday, 6 October 2021

ලංකාව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් ද?

 

ලංකාව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් ද?

 

ඉන්දීය විදේශ ලේකම් තම ලංකා සංචාරය නිම කරලා. ඔහු ජනාධිපති අගමැති ආදීන් හමු වුණා. යාපනයට ගොස් දෙමළ දේශපාලන නායකයන් ද හමුවුණා විතරක් නොවෙයි ඔවුන්ට උපදෙස් ද දුන්නා එක්ව වැඩ කරන ලෙස. ඔහු ජනාධිපතිතුමාට දහතුන්වැනි සංශෝධනයේ යහපත්කමත් එය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් කියා තියෙනවා. ඒ මදිවාට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්නත් ගිහින්. හරියට අම්ම අප්පගෙ බූදලේ බලන්න යනව වගේ. මේ සියල්ල කරන්න ඔහු කවුද? ඔහු රාජ්‍ය නිලධාරියකු පමණයි. ඔහු අමාත්‍යාංශයක ලේකම්වරයෙක් පමණයි.

 

ඉන්දියාව හිතනව ඇති ලංකාව ඔවුන්ගේ රටේ විදේශ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් පමණයි කියා. අමාත්‍යංශ ලේකම්වරු උපදෙස් දෙන්නෙ තම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ට. මෙරට ජනාධිපති ඉන්දියාවේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් ද? ඉන්දීය විදේශ ලේකම්ට ඇති අයිතිය මොකක් ද මෙරට ජනාධිපතිට අරක කළොත් හොඳයි මේක කළොත් හොඳයි කියන්න.

 

ඉන්දියාව ඉතා කෙටියෙන් කියනව නම් මහා කරදරයක්. අද නොවෙයි විජයගෙ කාලයෙ ඉඳන් අප පාලනය කරන්න උත්සාහ කරන  පිරිසක් අද ඉන්දියාව කියන ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. එහෙත් මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ (ඉංගිරිසි ට්‍රයිබ් නොවෙයි) සංස්කෘතික උරුමයන් මූලික කර ගන්නා අය හැමදාමත් එයට විරුද්ධ ව හිටියා. ඔවුන් අනෙක් සංස්කෘතීන්ගෙන් ද අවශෝෂණය කර ගන්නවා. ඔවුන් ඊනියා නිර්මල සංස්කෘතියක් පවත්වා ගෙන යන්නන් නො වෙයි. ඒත් අනුකාරකයන් නො වෙයි.

 

මෑත දී 1947න් පසු ඉන්දියාව ලංකාව තම ප්‍රාන්තයක් කරගැනීමට උත්සාහ කළා. ජවහර්ලාල් නේරුටත් ඒ අදහස තිබුණා. ජේ ආර් වැනි ඇතැමුන් ද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවාට කැමැත්තක් දැක්වූවා. අප දඹදිවින් (භාරතයෙන්) විවිධ දේ අවශෝෂණය කරගෙන තියෙනවා. එහෙත් අද මෙන් ම එදා ද ඊනියා උගතුන්ට අවශෝෂණය කරන්න තේරෙන්නෙ නැහැ. සංස්කෘත කියන වචනය පවා අපට සඟිස්කුරුතය වුණා. ඒත් අපේ උගතුන්ට සිංහල භාෂාවේ ඊනියා ව්‍යාකරණය සංස්කෘත පාලි ව්‍යාකරණවල අනුකරණයක්. අද ඉන්න උගතුන් කර්ම කාරකය, ඔවුන් කියන විධියට නම්, පටලවා ගනු ලබනවා.

 

මෙරට දෙමළ ජනවාර්ගික කොටස් අවස්ථා තුනක දී බටහිරයන් ලංකාවට ගෙනා අය. පළමුව ලන්දේසීන් තම දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනාවා. ඊට කලින් ද වෙල්ලාලයන් හා වෙනත් දකුණු ඉන්දියානුවන් (වේලක්කාරයන්) මෙරට සිටියා. එහෙත් ස්ථිර පදිංචිකරුවන් ලෙස නො වෙයි. ලන්දේසීන් ගෙනා වෙල්ලාලයන් ද අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ආපසු ඉන්දියාවට ගියා. එය වැළැක්වීමට ලන්දේසීන් තේසවලාමේ නීතිය පැනෙවුවා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. පසු කලෙක ඉංගිරිසින් දෙවැනි වරටත් තේසවලාමෙයි නීතිය පනවලා තමයි වෙල්ලාලයන් මෙහි ස්ථිර පදිංචිකරුවන් කෙළේ. සුමන්තිරන්ගෙන් අහන්න.

 

ඉන්පසු ව දහනවවැනි සියවසේ ඉංගිරිසින් පාරවල් හැදීම වැනි කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ කතා කරන ජනයා ගෙනාවා. ඒ පිරිස පදිංචි කෙරුණේ නැගෙනහිර පළාතේ.  ඒ අය වෙල්ලාලයන් විසින් අඩු කුලයක අය ලෙස සැලකෙනවා. ඊටත් පසුච ඉංගිරිසින් කෝපි හා තේ වගාව සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ කතා කරන ජනයා ගෙනාවා. ඔවුන් උඩරට වතුකරයේ පදිංචි ව සිටිනවා.

 

මේ ජනවාර්ගික කොටස් තුන එක ජනවර්ගයක් ලෙස සිතන්නේ නැහැ. ප්‍රභාකරන්ටවත් ඔවුන් එකතු කරන්න බැරි වුණා. අනෙක් ජනවර්ග කොටස් දෙක කෙසේ වෙතත් වෙල්ලාලයන්ට තමන්ට වත්මන් තමිල්නාඩුව සමග ඇති සම්බන්ධය අත්හැර ගන්න බැරි වෙලා. තමිල්නාඩුවත් සිතන්නේ වෙල්ලාලයන් තමන්ගේ ම කොටසක් ලෙස. පහසුව හා උපක්‍රමය සඳහා තමිල්නාඩුව (ඉන්දියාව) උතුරු හා නැගෙනහිර දෙමළ ජනයා කියා ව්‍යාජ සංකල්පයක් හදා ගෙන. එහෙත් ඔවුන් සියල්ලන්ට එක නායකයකු තබා නායකයන් සමූහයක්වත් නැහැ.

 

තමිල්නාඩුව මෙරට දෙමළ ජනවාර්ගික කොටස් දෙකක් තම තමන් ලෙස සැලකීම  ඉන්දියාව ප්‍රයෝජනයට ගන්නවා. මෙරට දෙමළ ජනවාර්ගික වෙල්ලාලයන්ට ඇතැයි කියන ප්‍රශ්නයක් තමිල්නාඩුව තමන්ගේ ප්‍රශ්නයක් ලෙස සලකනවා. ඉන්දීය ආණ්ඩුව තමිල්නාඩු ජනයාගේ ඉල්ලීම යැයි කියමින් මෙරට නැති ප්‍රශ්නයකට අත දානවා. ඔවුන් ඒ සඳහා පරිප්පු දමා ජේ ආර් බය ගන්නලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරවා ගත්තා. ඊනියා සාම සාධක හමුදාවක් එවුවා. ඒ හමුදාව එවීම වරදක් බව පසුගිය දා හිටපු ඉන්දීය හමුදා ප්‍රධානියකු පිළිගත්තා.  ඉන්දියාව අප මත දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පැටෙවුවා.

 

ඉන්දියාව තමිල්නාඩුවේ ප්‍රශ්නය විසඳා ගන්න ඕන ඉන්දියාවෙ මිසක් ලංකාවෙ නො වෙයි. සිංහලයන්ට කාලිංගය (ඔඩෙස්සා) හා වංගය (බෙංගාලය) සමග යම් නෑදෑකමක් තිබුණත් ඉන්දියාව සිංහලයන් තමන්ගේ කියා පිළිගන්නේ නැහැ. එමෙන් ම සිංහලයන් ද තමන් ඔඩෙස්සා හරි බෙංගාලයේ හරි කියා සලකන්නේ නැහැ. එතැන තමයි යක්‍ෂ බලපෑම ඇත්තේ. ඉන්දියාව සිතනවා නම් වෙල්ලාලයන් තමිල්නාඩුවේ කියා ඔවුන් ඉන්දියාවට ගෙන්වා ඉන්දීය පුරවැසියන් බවට පත්කරන්න ඕන. එහෙම නැත්නම් වෙල්ලාලයන් තමන්ගේ නොව ලංකාවේ පුරවැසියන් බව පිළිගෙන තමිල්නාඩුවට ඒ බව කියා දෙන්න ඕන.

 

ඉන්දීය රාජ්‍ය නිලධාරියකු පමණක් වූ විදේශ ලේකම් නොව ඉන්දීය අගමැති කිවුවත් අප පළාත් සභා ක්‍රියාත්මක කළ යුතු නැහැ.  මෙරට ඉන්නා ඉන්දීය ගැත්තන් පළාත් සභා පවත්වාගෙන යන්න උත්සාහ ගන්නවා. ඒත් අප එයට ඉඩ දිය යුතු නැහැ. අප ඉන්දියාවේ ප්‍රාන්තයක්වත් විදේශ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවක්වත් නො වෙයි. අප රට සම්බන්ධ තීරණ ගත යුත්තේ මෙරට ජනමතයට අනුව මිස ඉන්දියාවේ හා ඉන්දීය ගැත්තන්ගේ වුවමනාවට නො වෙයි.

 

මෑතක සිට ඉන්දියාව චීනයට විරුද්ධ ව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව  රටවල් සමග කටයුතු කිරීම නිසා අප රට සම්බන්ධයෙන් තවත් මානයක් එකතු වී තියෙනවා. අද ඉන්දියාවට  චීන බලපෑම් ඉවත් කරන්න ඕන. ඉන්දියාවට දැන් වෙනදාටත් වඩා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අවශ්‍ය වෙනවා. කෙරවලපිටිය බලාගාරයට අත පොවන්න අවශ්‍ය වෙනවා.

 

අප අපේ ස්වාධීනත්වය රැක ගන්න ඕන. අප ඉන්දීය විදේශ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවක් නො වෙයි. අපට අපේ ස්වාධීනත්වය රැක ගන්න ඕන නම් යම් කැපකිරීමක් කරන්න ඕන. ඒත් මෙරට බටහිර ගැති පඬි නැට්ටන් අප තව තවත් බටහිර සංකල්පවල ප්‍රවාදවල හිර කරන්න හදනවා. ඊනියා භූ දේශපාලන යථාර්ථයත් බටහිර ආධිපත්‍යය පවත්වාගෙන යෑමට නිර්මාණය කර ඇති තවත් සංකල්පයක් පමණයි.

 

ඉන්දියාව තම ප්‍රාන්තයක් ලෙස ලංකාව සලකන්න උත්සාහ කළත් එය පහසු වැඩක් නො වෙයි. ගීතයක් රටේ ජනප්‍රිය වීමට පෙර ප්‍රාන්තයේ ජනප්‍රිය වෙන්න ඕන. එහෙත් මැණිකේ මගේ හිතේ ගීතය රටේ (ඉන්දියාවේ) ජනප්‍රිය කරවීමෙන් පසුවත් වෙන්න  ප්‍රාන්තයේ (ලංකාවේ) ජනප්‍රිය වුණේ නැහැ. මා මේ ගැන කියන කතාව බොහෝ අයට රුචි නැති බව මා දන්නවා. එහෙත් මේ ගීතයේ ඇති දේශපාලනය අප තේරුම් ගන්න ඕන.