History

Friday, 8 October 2021

නොබෙල් සාහිත්‍ය තෑග්ගත් ලංකාවට නැහැ

 

නොබෙල් සාහිත්‍ය තෑග්ගත් ලංකාවට නැහැ

 

වෛද්‍ය විද්‍යාව/භෞතවේදය සඳහා දෙන නොබෙල් ත්‍යාගය මෙවර ලංකාවට හිමි වේවි යැයි මට සිතුණේ කොවිඩ් පිළිබඳ ව මෙරට බටහිර වෙද මහතුනට පමණක් නොව රසායනාගාර සහායකයන්ට ද සවන් දීමෙන් පසුව. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. තාපය ඇල්ලූ විට වේදනාව මොළයට දැනෙන අයුරු විස්තර කළ දෙදෙනකුට තෑග්ග හිමිවුණා. කාලෝ ෆොන්සේකා ගිනි ඇල්ලුවේ නැහැ. ඔහු ගිනි පෑගුවා පමණයි. ඒත් වෙන කාටදෝ කියා. ඔහු වැනි විද්වත් යථාර්ථවාදී බුද්ධිවාදී භෞතවේදයේ ප්‍රාමාණික උගතකුට තැග්ග දෙන්න තිබුණා. අවාසනාවකට ඔහු මිය ගිහින්. මිය ගිය අයට නොබෙල් තෑග්ග දෙන්නේ නැහැ.

එක් පුවත්පතක භෞතවේදය යන්න වෙනුවට සඳහන් වුණේ භෞතික විද්‍යාව කියා. ඒ ලියූ තැනැත්තා ෆිසියොලොජි (Physiology) හා ෆිසික්ස් (Physics) අතර වෙනස දන්නෙ නැතුව ඇති. කාලෝ නම් භෞතික විද්‍යාවේත් විශේෂඥයෙක්. ඔහුට වඩා භෞතික විද්‍යාව දන්නේ ක්වොන්ටම් ජාගොඩ පමණයි.

නොබෙල් තෑගි දෙන්නේ බටහිර වෙදකමට පමණයි. ඔවුන් වෙනත් වෙදකම්වලට තෑග්ග දෙන්නේ නැහැ. ඒත් තෑග්ග නම් කර ඇත්තේ වෙදකම වෙනුවෙන් මිස බටහිර වෙදකම වෙනුවෙන් නො වෙයි. බටහිර දැනුමේ ආධිපත්‍යය අපට නොදැනෙන තරමට අප නිර්වින්දනය කිරීමට බටහිරයන් සමත් වෙලා. ලංකාවේත් බටහිර වෛද්‍ය පීඨ හැඳින්වෙන්නේ වෛද්‍ය පීඨ කියා. ඒ පීඨ බටහිර වෛද්‍ය පීඨ කියා නම් කළ යුතු වෙනවා. සෙසු පීඨ බොහෝමයක් ගැනත් කියන්න ඇත්තේ එයයි. මා බටහිර විද්‍යා පීඨයක පීඨාධිපති ව ඉඳිමින් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීම බොහෝ අයට ප්‍රශ්නයක් වුණා. එහෙත් ඔවුන්ට කරන්න පුළුවන් වුණු ඉටිගෙඩියක් නැහැ.

වෙදකම පිළිබඳ නොබෙල් ත්‍යාගය ලංකාවට අහිමි වීම නිසා සඳුදා කණස්සල්ලට පත් වූ මා සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගයමෙතරම් සාහිත්‍යධරයන් සිටින ලංකාවට ලැබේවි ය යන බලාපොරොත්තුවෙන් සිටියා. එහෙත් ඊයේ ඒ බලාපොරොත්තුවත් කඩ වුණා. අද සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය මෙරට සාම ව්‍යාපාරිකයකුට ලැබේවිය කියා හිත හදාගත්තා. බැරිම වුණොත් ලබන සඳුදා ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබේවිය යන බලාපොරොත්තුව ඇති කර ගනිමු. මෙරට ආර්ථික විද්‍යාඥයන් පඳුරක් පඳුරක් ගානේ ඉන්නවා.

සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වී ඇත්තේ මෑතක් වන තුරු එංගලන්තයේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ පශ්චාත් යටත්විජිත සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයකු වූ ටැන්සානියාානු සම්භවයක් ඇති අබ්දුල්රසක් ගුර්නාට. ඔහු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් පස්වැනි අප්‍රිකානු සම්භවයක් ඇත්තා. ඔහු 1948 දී ටැන්සානියාවේ සැන්සිබාර් දූපත්වල උපත ලබා වයස අවුරුදු විස්සේ දී පමණ සරණාගතයකු ලෙස එංගලන්තයට සංක්‍රමණය වූවෙක්.

උගතකු නොවූ මා ඔහුගේ එක් පොතක්වත් කියවා නැහැ. මෙරට පඬියන් නම් කියවා ඇති. නොබෙල් කමිටුවට අනුව ඔහුට නොබෙල් තෑග්ග හිමි වී ඇත්තේ ඔහු තම කෘතිවලින් යටත්විජිතවාදයේ ඵල හා මහාද්වීප හා සංස්කෘතීන් අතර පරතරය මධ්‍යයේ සරණාගතයන්ගේ ඉරණම ගැන සානුකම්පික ව ගැඹුරින් විමසීම නිසා. ඒ ගැන මට යමක් කියන්න බැරි ඔහුගේ කෘති කියවා නැති නිසා. සමහර විට ඔහු නැගෙනහිර අප්‍රිකාව ගැන යමක් බටහිරයන්ට කියා දෙන්න ඇති.

වරක් බීබීසියේ (සංදේශයේ නොව) විචාරකයකු මගෙන් විමසා සිටියා අප වෙසක් උත්සවය පවත්වන්නේ කෙසේ ද කියා. මා ඔහුට කිවුවා අපේ වැඩිහිටියන් වෙසක් උත්සවය පැවැත් වූ ආකාරයට කියා. ඔහු ඒ පිළිතුරෙන් සෑහීමකට පත් වූයේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ එංගලන්තයේ වෙසෙන ඉංගිරිසි ක්‍රිස්තියානින්ට අප පන්සල් යන හැටි තොරන් බඳින හැටි වෙසක් සැරසිලි කරන හැටි සිල් ගන්නා හැටි කියා දෙන්න.

ප්‍රාථමික ගෝත්‍රික සිංහල බෞද්ධයන්ගෙ සිරිත් විරිත් උසස් සංස්කෘතියක් ඇති දියුණු ඉංගිරිසි ක්‍රිස්තියානින්ට කියා දීමට ඔහුට අවශ්‍ය වන්න ඇති. එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක වුණා. මා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ව සිටි අවධියේ බීබීසි විචාරකයකු පැමිණියා ලංකාවෙන් පැමිණ විශ්වවේදය හදාරණ තරුණයකුගේ මතය විමසන්න. සමහර විට ඔහුට අවශ්‍ය වන්න ඇත්තේ එංගලන්තය ලබා දෙන පහසුකම් ගැන කියව ගන්න වෙන්න ඇති. එහෙත් ඔහු එක් කරුණක් ගැන අවංක වුණා. ඔහු කියා සිටියා දකුණු එංගලන්තයේ බ්‍රයිට්න් ප්‍රදේශයේ (සසෙක්ස් විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ඒ ප්‍රදේශයේ) ජීවත්වන තම ඥාතීන් බලා කියා ගැනීමත් ඒ ගමනින් ම සිදු කරන බව. අප රජයේ හා ආයතනවල වියදමින් විවිධ වැඩ යොදා ගෙන රවුම් ගසන්න ඉගෙන ඇත්තේ ඉංගිරිසින්ගෙන් බව එදා මට වැටහුණා.

අප ඉංගිරිසින්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. එහෙත් අප වියුක්ත ව හිතන්න පුරුදු වුණේ නැහැ. අප ඉගෙන ගත්තා කිවුවත් අනුකරණය කළා. දැන් පෙරටත් වඩා අනුකරණය කරනවා. අප ඉංගිරිසි ක්‍රිස්තියානින්ගෙන් අහන්නෙ නැහැ ඔවුන් නත්තල පවත්වන්නෙ කොහොම ද කියා. ඒ වෙනුවට අප ඔවුන් අනුකරණය කරනවා. දැන් දැන් සිංහල බෞද්ධ ගෙවල්වලත් නත්තල් ගස් හදනවා. ඇහුවොත් කියන්නෙ ළමයි ඒකට ආසයි කියලා. අප කුඩා කල ජනවාරි පළමුවැනි දා අවුරුද්ද උදා වුණේ නැහැ. එදා එය නිකම් ම ජනේරුවක් වුණා. එහෙත් අද දෙසැම්බර් 31වැනි දා රෑට නිදාගන්න බැහැ. ඒ හෝටල්වල නටන්න යන අයට පමණක් නො වෙයි. අහළ පහළ රතිඤ්ඤා හඬ නිසා අනෙක් අයටත් බැහැ. මේ ආගමික ප්‍රශ්නයක් නො වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයේ ප්‍රශ්නයක්.

දෙසැම්බර් 31 රෑ දොළහ කියන්නෙ වියුක්ත සංකල්පයක්. ඕනෑම දවසක රෑ දොළහ කියන්නෙ වියුක්ත සංකල්පයක්. බටහිරයන් රෑ දොළහට දිනය, අවුරුද්ද උදා වීම සකස් කර ගෙන. එහෙත් අපට දිනයක් උදා වන්නේ හිරු උදාවත් සමග. ඒක සංයුක්ත සිද්ධියක්. එය ඇහැට කණට පේනවා. රෑ දොළහ වගේ කතාවක් නො වෙයි. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ ඔරලෝසුවෙන් රෑ දොළහ බලා ගන්න පුළුවන් කියලා. අදත් ජ්‍යොතිෂයේ ගණන් බැලීම් සිදු වන්නේ හිරු උදාවත් සමග. අපේ අවුරුද්ද උදා වන්නේ හිරූ මීනයෙන් මේෂයට යෑමත් සමග. එයත් සංයුක්ත සංසිද්ධියක්. එය බලා ගන්න පුළුවන්. හිරු යන්නෙ නැහැ කියන පඬි නැට්ටන්ට නම් පෙනෙන්නෙ නැතිව ඇති. පඬි නැට්ටන් පඬි කතා කිවුවට සාපේක්‍ෂ චලිතය දන්නෙ නැහැ.

යටත්විජිත බලපෑම ඇත්තේ සරණාගතයන්ට හා යටත්විජිත හේරත්ට පමණක් නො වෙයි. ඔහු දුව ගොස් විශ්වාස භංග යෝජනා යටත්විජිත ක්‍රමයට භාර දෙන්නෙක්. ඒකට කමක් නැහැ. වෛරසයක් කියන්නෙ මොකක් ද කියන්න පුළුවන් ද? බටහිර ඇලොපති ක්‍රමය අනුව වෛරස් රෝගවලට ප්‍රතිකාර තියෙනවා ද? දැන් ඔය එක්සත් ජනපදවල කොවිඩ් සඳහා හොයා ගෙන තියෙනවා කියන බෙහෙත වෛරසයක් සඳහා ද? මෙරට පඬියන් මොකද කියන්නෙ. සාහිත්‍ය කරුවන් මෙය දකින්නේ කෙසේ ද? ගුර්නා මොකද කියන්නෙ.