History

Monday, 15 November 2021

ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න

 

ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න

 

මොන ආර්ථික විිද්‍යා පඬි කතා කීවත් අද අප අත්විඳින්නේ ආදායමට වඩා වියදම් කර තිබීමේ විපාකය. එය අවුරුදු හැටකට වඩා පරණයි. අපට 1948 දී යම් නිදහසක් ලැබෙන විට මෙරට ආර්ථිකය ජපානයත් සමග සසඳන විටට හොඳ තත්වයක තිබූ බව කියනවා. සිංගප්පූරුවට ඒ කාලෙ අවශ්‍ය වුණාලු ලංකාව වගේ වෙන්න. එදා අප මුඩුක්කුවලට කිවුවෙ කොරියාව කියල. මා හිතන්නෙ ඩුබායි ගැන අහලවත් තිබුණෙ නැහැ කියල. බංග්ලාදේශය ඉතා දුප්පත් රටක් හැටියට බිහි වුණෙ ඊට හුඟක් පස්සෙ.  අද අපි බංග්ලාදේශයෙන් අතමාරුවට මුදල් ලබා ගන්නවා. අපේ අය ඩුබායි සහ වෙනත් බටහිර ආසියාවෙ රටවලටත් කොරියාවටත් රැකියා සඳහා යනවා.

 

අපට එහෙම වුණෙ ඇයි කියන ප්‍රශ්නෙට පිළිතුරක් දෙන එක අමාරු නැහැ. ඉංගිරිසින් අපට විදේශ මුදල් සංචිතයක් තබා ගියා. එ වගේ ම පාසල් පද්ධතියක් හා විශ්වවිිද්‍යාලයක් ඉතිරි කර ගියා. තවමත් ලංකාව සාක්‍ෂරතාවෙන් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේ ම පොතපතේ උගතුන් විශාල ප්‍රමාණයක් අප රටේ ඉන්නවා. ඒත් ඔවුන් හිතන්න බැරී මිනිස්සු. එක පැත්තකින් බැලුවොත් අප කිසි දෙයක් ඉගෙන නැහැ. අපි තවම බොහෝ දෙනා වැරදියට කියන ආකාරයට අධ්‍යාපනය හදාරනවා. හදාරන්නෙ මොනවද කියලවත් අපි දන්නෙ නැහැ. සංගීතය විද්‍යාව ආදිය හදාරන්න පුළුවන්. ඒත් අධ්‍යාපනය?

 

සංගීතය ගැන මා දන්නේ නැහැ. අද ජනමාධ්‍යයෙ නිතර ඇහෙනවා විද්‍යාත්මක ව කරන්න විද්‍යානුකූල ව වැඩ කරන්න විිද්‍යාත්මක ක්‍රමය ආදිය. පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන වශයෙන් නැති සූත්‍රයක් ගැන කියනවා. ඒත් අපිට විිද්‍යාව බැහැ. මෙරටින් එක ම විද්‍යාඥයකු බිහි වී නැහැ. ජනමාධ්‍ය සංදර්ශනවල ඉන්නෙ ප්‍රදර්ශකයන් ප්‍රදර්ශිකාවන් පමණයි. ඔවුන් ඉදිරිපත් කර ඇති එක අලුත් අදහසක් කියන්න.

 

හොඳයි අපි කියමු අද තියෙන ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් දෙන්න කියලා. රසායන විද්‍යාඥයකුට බැරි වුණත් ආර්ථික විද්‍යාඥයකුට කියමු. රසායන විද්‍යාඥයා දන්නෙ නැහැ ග්ලයිෆොසේට් වස ද කියල. වස කියන එකේ නිර්වචනය,  අර්ථදැක්වීම මොකක් ද කියල මට සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව ඉගැන් වූ ගුරුවරයා අහන්න තිබුණා. අශෝක රජුගෙ ආච්චිට වස වූ කෑම චන්ද්‍රගුප්ත සීයාට වස වුණෙ නැහැ. ජනමාධ්‍යවේදියො පස හා වස ගැන බයිලා කියන විද්‍යාඥයන්ට හා විද්‍යාඥවරියන්ට එහෙයි කියනවා.

 

ආර්ථික විද්‍යාඥයන් මා හිතන්නෙ කොළඹ කාණුවක් කාණුවක් ගානෙ ඉන්නවා. කොළඹ පඳුරු නැහැ. ඒ නිසා පට්ට පඳුරු ආර්ථික විද්‍යාඥයො කියන්න බැහැ. කොහොමත් ඔවුන් පට්ට. ඒත් අද ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මේ පට්ට කාණු ආර්ථික විද්‍යාඥයන්ට පුළුවන් ද? ප්‍රශ්නය ඩොලර් හොයා ගැනීම. රුපියල් නම් අච්චු ගහන්නවත් පුළුවන්. ඒත් ඩොලර්. ඒවා අච්චු ගහුවොත් බයිඩන් අපට අච්චු කරාවි. ට්‍රම්ප් හිටිය නම් සමහර විට අපෙන් ඒ අච්චු ගහපු ඩොලර් ටිකක් ඉල්ල ගන්න තිබුණා.

 

ඉංගිරිසින් යන කාලෙ ඉතුරු කරල ගිය පවුම්වලට මොක ද වුණෙ. පස්සෙ කාලෙක දි අපි පවුම්වලින් ඩොලර්වලට මාරු වුණා. ඩොලර්වලට මොකද වුණෙ. අපි කෑව බිව්ව. දැන් කන්න බොන්න ඩොලර් නැහැ. ඉංගිිරිසින් අපට දුන්නු අධ්‍යාපනයෙන් අප මොන විද්‍යාවක්වත් දැන ගත්තෙ නැහැ. කළමනාකරණයක් දැන ගත්තෙත් නැහැ. අපි කොහොමත් කවියො. මා නම් කොහොමටවත් කවියෙක්වත් නොවෙයි.

 

ඒත් මා දන්නෙ නැහැ අපි කවියන් වුණත් කාලා බීල පමණක් ඉන්න ඕන ද කියලා. අපි සෞන්දර්යවාදීන් කියනවා. සෞන්දර්යවාදීන් කළමනාකරණය දැන ගන්න ඕන නැද්ද? අප දරුවන් නිෂ්පාදනය හැරෙන්න වෙනත් නිෂ්පාදනයක් දන්නෙ නැහැ.  අවුරුදු හැත්තෑතුනක් තිස්සෙ අප බණ්ඩාරනායක ආණ්ඩු කාලෙ පමණක් නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා ඇති කළා. එ ජා ප ආණ්ඩු කාලෙ ඒ කර්මාන්තශාලා නැති කරා. ලලිත් ඇතුළත්මුදලි මහා උගතෙක්. ඔක්ස්ෆර්ඩ් උගතෙක්.  නමින් ඇතුළත්මුදලි වුණත් ඔහු ක්‍රියාවෙන් පිටත්මුදලි කෙනෙක්. ඔහු පිට මුදල් ගැනයි කතා කළෙ. ඔහු කී දේ තමයි පිටින් යමක් ගන්න යන මුදල එය රටේ නිෂ්පාදනය කරන්න යන මුදලට අඩු නම් එය පිටින් ගන්න ඕන කියන එක. මොන තරම් ප්‍රබුද්ධ කියමනක් ද?  අද පිටින් ගේන්න මුදල් (ඩොලර්) නැහැ.

 

අප අපනයන කරන භාණ්ඩ කිහිපයට ලැබෙන ඩොලර් ටිකවත් ලංකාවට ලැබෙනවා ද? අපනයනකරුවන් එ මුදල් වැඩි ප්‍රමාණයක් විදේශීය  බැංකුවල තැන්පත් කරනවා ද? ආණ්ඩුවට එය නවත්වන්න යම් පියවරක් ගන්න පුළුවන් ද? ඒ සම්බන්ධයෙන් ඉන්දියාවෙ ඇති නීති මෙහෙ පනවන්න පුළුවන් ද? එහෙම කළොත් මෙරට අපනයන කරුවන් තම මූලික අයිතිවාසිකම් නැති වන බව කියමින් අපනයනය නොකර සිටීවි ද?

 

ඉංගිරිසින් අපට මධ්‍යම පාංතික ආකල්ප පුරුදු කරල ගියත් ඒ ආකල්ප අනුව ජීවත් වෙන්න කියල දීල තියෙන්නෙ පිටත්මුදලි ඔක්ස්ෆර්ඩ් ගිහින් දැන ගත්තු විධියට. අප ඉංගිරිසිින් හිතන විධිය ඉගෙන ගත්තෙ නැහැ. දැනුත් ඉගෙන ගන්නෙ නැහැ. ඉංගිරිසින් අපට පුරුදු කළෙ ලංකාවට වඩා එංගලන්තයට කැමති වෙන්න. මට මතකයක් තියෙනවා ඒ දවස්වල ලංකාව හා  එංගලන්ත (එම් සී සී) කණ්ඩායම් අතර එක දවසෙ ක්‍රිකට් තරග පැවැත්වෙන විට තම කාරයේ එංගලන්ත කොඩිය එක පැත්තකත් සිංහ කොඩිය අනෙක් පැත්තෙත් ප්‍රදර්ශනය කරමින් ගමන් කළ අය ගැන.  අද අප ඒ තරම් එංගලන්තයට කැමති නැති වෙන්න පුළුවන්. අද එංගලන්තය අප භාර ගන්නෙ නැහැ.  

 

අප අපේ ආදායමට වඩා වියදම් කරනවා. රටක් හැටියටත් එහෙමයි. අපේ මධ්‍යම පංතියට බටහිර හැම එකක් ම ඕන. දැන් ටෙලිනාට්‍යවලින් බටහිර සිරිත් පුරුදු කරනවා. තරුණ තරුණියන්ට විවාහයට පෙර තනිකඩ සාද පවත්වන්නත් කියල දෙනවා. ඒවටත් මුදල් ඕන.  ඒත් මධ්‍යම පංතිය කරන නිෂ්පාදනයක් නැහැ. ඔවුන් උපයන විදේශ මුදල් ප්‍රමාණය කොපමණ ද? ඔවුන් තම අවශ්‍යතා ආනයනය කරන්න කොතරම් මුදලක් පිටට යවනවා ද? මෙරට දේශපාලනය තීරණය කෙරෙන්නෙ මධ්‍යම පංතිය විසින්. හැට ගණන්වල සිට අද දක්වා මධ්‍යම පංතිය සෑහෙන්න ප්‍රසාරණය  වෙලා. මෙරට මධ්‍යම පංතිය ප්‍රසාරණය වෙන්න වෙන්න ආර්ථිකය පරිහානියට යනවා. අද ප්‍රශ්නයට මධ්‍යම පංතිය සතුටු කරන්න ගිය සෑම ආණ්ඩුවක් ම වග කියන්න ඕන. ඊනියා උගතුන් ඉන්නෙත් මධ්‍යම පංතියෙ. ඒකට කමක් නැහැ. උගත් ආර්ථික විද්‍යාඥයකුට කියන්න පුළුවන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හරි වෙනත් තැනකින් හරි ණය ගන්නෙ නැතුව ඩොලර් උපය ගන්න විධියක්.