History

Wednesday, 24 November 2021

සකර්බර්ග් අනාථකඳවුරේ වමාලා

 සකර්බර්ග් අනාථකඳවුරේ වමාලා


මේ ලිපිය නොවැම්බර් 12 වැනි දා පළ වූ ජ වි පෙ හා නොනවතින විප්ලවය හා අදාළ වෙනත් ලිපි සමග සම්බන්ධයි. සමසමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ශ්‍රී ල නි ප සමග ආණ්ඩු පිහිටුවීම සමග  වම නැත්තට ම නැති වුණා. වම නැති වන්න පටන් ගත්තේ ශ්‍රී ල නි ප ජාතිකත්ව පක්‍ෂයක් බවට පත් වීමෙන් පසුව. අද වන විට සමසමාජ කොමියුනිස්ට්  පක්‍ෂ දෙක පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ ඇතුළෙත් නැති පිටත් නැති පිරිසක් බවට පත් වෙලා. ඒ පක්‍ෂ දෙකට පමණක් නොව ඊනියා මාක්ස්වාදී සම්භවයක් ඇති සියලු පක්‍ෂවලට ඒ තත්වය උදා වෙලා. 


අද තිස්ස විතාරණ මැසිවිලි නගන්නේ තමන්ට පොරොන්දු වූ පරිදි ඇමති ධුරයක් නොලැබීම ගැන. ඩිව් ගුණසේකර කිසිම බලයක් නැතිව වහසි බස් දොඩවන්නේ නගරයේ චන්ඩියකු කෑ ගහන ආකාරයට. වාසුදේව හා විමල් ආණ්ඩුවේ ඇමතිවරු. එක් අයකු ට්‍රොට්ස්කිවාදියෙක්. අනෙක් අය විජේවීරවාදීයෙක්. මා දැක්කා ඒ විමල්ගේ පක්‍ෂයේ ම ඊනියා න්‍යායාචාර්යවරයකු කියා තිබෙනවා විජේවීර තමයි ප්‍රභාකරන් පැරදවීමට සියල්ල සැලසුම් කෙළෙ කියා. අනේ මගේ කට කියන්න වෙන්නෙ ඒ වගේ කතාවලට. මොවුන් චම්පක මෙන් ම කොටින්ට විරුද්ධ ව හමුදා මෙහෙයුම්වලට විරුද්ධ වුණා. එකල (අනූදෙකේ තරම) ලක්මිණ පුවත්පතේ ලිපි ලියූ විමලසිරි ගම්ලත්, සපුමල් සේනානායක ගැන ඒ පුවත්පත මගින් ජනමාධ්‍යවේදියකු වූ ඩලස් අලහප්පෙරුමගෙන් අහන්න පුළුවන්. 


ශ්‍රී ල නි ප 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ජාතික පක්‍ෂයක් වුණා. ඒ සමග වමේ පක්‍ෂ අර්බුදයට ගොස් නැති වුණා. මා හිතන්නේ මේ කරුණ මුලින් ම තේරුම් ගත් පුද්ගලයා වූයේ පිලිප් ගුණවර්ධන. ඔහු තම විප්ලවය අත්හැර ශ්‍රී ල නි පක්‍ෂය සමග කටයුතු කරන්න පටන් ගත්තා. එන් එම්ලා වික්‍රමසිංහලා ඒ තේරුම් ගත්තේ තරමක් පමා වෙලා. මෙරට ඇතැම් ජාතිකවාදීන් පනස්දෙකට පෙර වමේ පක්‍ෂ සමග එකතු වූයේ යටත්විජිතවාදයට විරුද්ධ ව ඒ පක්‍ෂ සටන් කළ බැවින්. එහෙත් පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්‍ෂයට හැර වමේ පක්‍ෂවලට රට ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. භෞතිකවාදීන් වූ ඒ පක්‍ෂ සාමාජිකයන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුටුවේ පසුගාමී සංස්කෘතියක් ලෙස. අද වමක් නැති ප්‍රබුද්ධ වමාලා ඒ ගැන කියන්නේ ගෝත්‍රවාදයක් ලෙස. ඔවුන්ගෙන් ඉතා ප්‍රබුද්ධයන් සිංහල බෞද්ධ රෙද්දක් ගැන කියනවා.


මා දුටුවා මේ ප්‍රබුද්ධයෙක් කියා තිබෙනවා තම අරමුණ සියලු ධනපතියන් නැති කර සියල්ලන් එකම මට්ටමකට ගෙන ඒම කියා. ඒ තමයි ඊනියා සමාජවාදය ගැන ඔවුන්ගේ දැක්ම. මේ දැක්ම ඔවුන් උරුම කර ගත්තේ විජේවීරගෙන්. විජේවීර දැන සිටි මාක්ස්වාදයක් නැහැ. ඔහු ඊනියා නිර්ධන පංතියක් ගැන කතා කෙළේ එබැවින්. විවිධ හැකියාවන් ඇති මිනිසුන් එක ම මට්ටමකට ගෙන ඒමට හැකි යැයි සිතීම දවල් හීනයක් පමණයි. කෙසේ වෙතත් ශ්‍රී ල නි පක්‍ෂය බිහිවීමත් සමග මෙරට වම නැති වුණා. අද වමාලා ඉන්නවා වමක් නැතිව. 


කලින් දිනක අප කතා කළා ඇතැම් ට්‍රොට්ස්කිවාදීන් වම නැත්තට ම නැති වීමට ප්‍රතික්‍රියා කළ ආකාරය. මෙරිල් ප්‍රනාන්දු එඩ්මන්ඩ් සමරක්කොඩි වැන්නන් ජනතාව සමග කටයුතු කිරීමෙන් ඈත් වුණේ නැහැ. ඔවුන් විප්ලවයේ අපිකේන්ද්‍රය වතුකරයේ තබමින් පාර්ලිමේන්තු දේශපාලයකත් යෙදුණා. බාලා තම්පො ලංකා වෙළෙඳ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වුණා. ඒ අතර විරෝධය කණ්ඩායම ජනතාව නැතිව සුපිරිි විප්ලවයක් කිරීමට ඊනියා විප්ලවවාදී මාවතක් ගත්තා. ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් හා 1987 –- 89 විප්ලවයෙන් පසු කොහොම හරි ඇඟ බේරාගත් ඇතැම් ජ වි පෙ සමහර අනුප්‍රාප්තිකයන් අද සකර්බර්ග්ගේ පොතේ අනාථ කඳවුරක නර්මාලාප කියවන,  ඔවුන්ගේ ම  එක් අයකු කී අන්දමට, දෙඩුම් ශිල්පීන් බවට පත් වෙලා. 


එය කටින් බතල කොළ හිටවීමක් ද නො වෙයි. කටින් බතල කොළ හිටවන්නන් දන්නවා හිටවන්න ඕන මොනව ද කියා. ඒත් මේ දෙඩුම් ශිල්පීන්  කළ යුත්තේ කුමක් ද (මෙය ලෙනින්ගේ පොතක්) කියා පමණක් නොව දොඩන්නේ කුමක් ද කියාවත් දන්නේ නැහැ. ඔවුන්ගෙන් සමහරුන් විරෝධය > කම්කරු මාවත> පශ්චාත්නූතනවාදය ගමන් මග ඔස්සේ පැමිණි අය. අද මේ සියල්ලන් ම සකර්බර්ග්ගේ අනාථ කඳවුරේ ලැගුමි ගෙන සිටිනවා. මේ අය හා ජාතික චින්තනය ගැන පසුව කතා කරමු.


හැටහතරේ ඇතැම් විප්ලවවාදීන් සමසමාජ පක්‍ෂයෙන් කැඩී යද්දී තවත් විප්ලවවාදීන් පිරිසක් එහි රැඳී සිටියා. ඔවුන් හැත්තෑවේ දශකයේ මුල දක්වා එහි හිටියා.  1970 මැතිවරණයෙන් බණ්ඩාරනායක මැතිණිය සමසමාජ නායකයන් ද සමගින් සභාග ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. එන් එම් පෙරේරා එහි මුදල් ඇමති. ලෙස්ලි ගුණවර්ධන හා කොල්වින් ආර් ද සිල්වා ඇමතිවරු. කොමියුනිස්ට් පක්‍ෂයේ පීටර් කෙනමන් ද ඇමතිවරයකු වුණා. 


ඒ ආණ්ඩුවේ ගමන් මග ඇතැම් ට්‍රොට්ස්කිවාදීන්ට රුචි වුණේ නැහැ. ට්‍රොට්ස්කිවාදී සමසමාජ පක්‍ෂයේ ස්ටැලින්වාදී පක්‍ෂවල මෙන් නොව කණ්ඩායම් හෑදීමේ ඉඩක් තිබුණා. මට නම් හිතෙන්නේ එය බොරු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් කියා. අනෙක් මාක්ස්වාදීන් ට්‍රොට්ස්කිවාදීන්ට පොතේ ගුරුවාදීන් කියා කීවේ ට්‍රොට්ස්කිවාදීන් මාක්ස්ගේ පොත් අනුව ම වැඩ කරන්න ගිය නිසා. අනෙක් අයට ට්‍රොට්ස්කිවාදීන් කිවුවේ සංශා්ධනවාදීන් කියා. පසු කලෙක ට්‍රොට්ස්කිවදීන් වෙනත් ට්‍රොට්ස්කිවාදීන් ද සංශෝධනවාදීන් ලෙස හැඳින්නුවා. ට්‍රොට්ස්කිගේ හතරවැනි ජාත්‍යන්තරය හැටහතරකට කැඩෙන්න ඇති. පොතේ ගුරුවාදය නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හා ටිකක් සෙවීමකට වඩා නොකෙරෙනවත් වෙදකමක් නැති වීමේ ප්‍රතිඵලයක්. එය නැති වෙදකම් ගැන දොඩවමින් කාලය ගත කිරීමේ කලාවක්. අද සකර්බර්ග් අනාථ කඳවුරේ මේ කලාව දැක ගන්න පුළුවන්. 


කෙසේ නමුත් වික්‍රමබාහු කරුණාරත්න හැත්තෑවේ ආණ්ඩුවේ ගමන් මග ගැන කළකිරී සිටි පිරිසකට නායකත්වය දුන්නා. ඔවුන් සමසමාජ පක්‍ෂයේ වාම සමසමාජය නමින් කණ්ඩායමක් ලෙස ක්‍රියා කළා. මේ කණ්ඩායම මෙරිල් ප්‍රනාන්දු ආදීන් මෙන් ජනතාව අතර දේශපාලනයක් කළා. ඔවුන් විරෝධය කණ්ඩායම මෙන් ජනතාව නැතිව විප්ලව කරන සුපිරි විප්ලවවාදීන් වුණේ නැහැ.  ජනතාව අතර දේශපාලනයක් කළත් ඔවුන්ට කිසිදු ජාතිකත්වයක් තිබුණේ නැහැ. එකල මා ද ජාතිකත්වයක් ගැන කියමින් මාඕවාදී දේශපාලනයක නිරත චුණු ධර්මසේකර ගැන යහපත් සිතිවලි ඇති කර ගත්තේ නැහැ. මෙරට ජාතිකත්වයක් නැතිව කළ හැකි දේශපාලනයක් නැහැ. පොතේ ගුරු ට්‍රොට්ස්කිවාදීන්ට ජාතිකත්වය නයාට අඳුකොළ මෙන්. 


සභාග ආණ්ඩුවට ගිහින් හිටි සමසමාජ නායකයන්ට ද ආණ්ඩුවේ ගමන් මග ගැන ප්‍රශ්න තිබුණා. එකල එන් එම් අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට ගියේ ඉල්ලා අස්වීමේ ලිපිය සාක්කුවේ දමාගෙන කියා කතාවක් තිබුණා. එසේ වුවත් සමසමාජ නායකයන් ආණ්ඩුවෙන් අස්වුණේ නැහැ. හැත්තැඑකේ ජ වි පෙ කැරැල්ල සමයේ එන් එම් එය තදින් විවේචනය කළා. ඔහු ජ වි පෙ හැඳින්වූයේ සී අයි ඒ කෙමනක් ලෙස. 


මට මතක හැටියට හැත්තෑදෙකේ පැවැත් වූ සමසමාජ පක්‍ෂයේ  සම්මේලනය වැදගත් . එහි දී පක්‍ෂයේ නිල දේශපාලන යෝජනාවට අමතර ව දෙවැනි යෝජනාවක් ද ගෙනාවා. ඒ යෝජනාව ඉදිරිපත් කෙළේ ඔස්මන්ඩ් ජයරත්න. ඔහු හැටහතරේ පක්‍ෂයෙන් කැඩී ගොස් ආපසු පැමිණ සිටියෙක්. දෙවැනි යෝජනාවේ කෙලින් ම කියා සිටියේ නැතත් සමසමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් අස්විය යුතු ය යන්න වක්‍රාකාරයෙන් කියැවුණා. ඒ යෝජනාවට සම්මේලනයේ එකඟතාවක් ඇති වීමට ඉඩක් තිබුණා. සමසමාජ නායකත්වය තදින් කලබල වුණා. විවියන් ගුණවර්ධන පක්‍ෂ නායකයන්ගේ අතීතය ගැනත් කිවුවා. ඔවුන් පක්‍ෂයට හා රටට කර ඇති සේවය ගැන කිවුවා. කොල්වින් ආර් ද සිල්වා කිවුවා දෙවැනි යෝජනාව සම්මත වූවහොත් ආණ්ඩුවෙන් අස්වෙන්න සිදුවෙන බව. මේ මගේ මතකය. මා වැරදි වෙන්න පුළුවන්. 


ඔස්මන්ඩ් ජයරත්න ඉන් පසු දෙවැනි යෝජනාව ඉදිරියට ගෙන යෑමට කටයුතු කෙළේ නැහැ. සමසමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් අස් වුණෙත් නැහැ.