History

Friday, 26 November 2021

බොරු ෂෝක් නිසා ශෝක වීම

 

බොරු ෂෝක් නිසා ශෝක වීම

 

සජිත්ලාට බලය දෙනවා ද මැයෙන් ලියූ ලිපියට ප්‍රතිචාර දැක් වු පඬිනැට්ටකු කියා තිබුණා එය උගත්කම හා බුද්ධිමත්කම අතර වෙනසත් වහල්කමත් දැන ගැනීමට සුදුසු ලිපියක් කියා. ඔහු හිතන්න ඇති මා උගතකු වුණත් බුද්ධිමතකු නොවේ කියාත්  වහලකු කියාත්. ඔහු වැරදියි. මා උගතකුවත් බුද්ධිමතකුවත් වහලකුවත් නො වෙයි. එපමණක් නොව මා වීරයකුවත් නො වෙයි. ඒ මට සාපේක්‍ෂ ව.  මා කවුද යන්න ඒ ඒ අයට සාපේක්‍ෂයි. වරක් ජ වි පෙ හිතවතකු ව සිටි දයාසේන ගුණසිංහ කියා සිටියේ මගේ හොඳ මෙන් ම නරකත් තියෙනවා කියා. පෘථග්ජනයන් සම්බන්ධයෙන් එය වලංගුයි. දයාසේන ගුණසිංහ ප්‍රබුද්ධයා මා හොඳ යැයි කීවේ මා ජ වි පෙ ගැන හොඳක් කී විටත් මා නරක යැයි කීවේ මා ජ වි පෙ විවේචනය කළ විටත් බව මට වැටහුණා. කෙසේ වෙතත් ඔහුගේ උකුස්සා කෘතියට මා ලවා පෙරවදනක් ලියවා ගත්තා.

 

බොහෝ පඬි නැට්ටන්ට අනුව මා නාකියෙක්. සමහර විට ඔවුන් කිසිදා නාකි නොවී අඩු වයසින් මිය යනවා වෙන්න පුළුවන්. නාකි බව අසමමිතික සම්බන්ධයක්. යමකු තවත් අයකුට නාකියා යැයි කී විට ඒ දෙවැන්නාට බොහෝ විට පළමු වැන්නා නාකියකු වන්නේ නැහැ. තවත් පඬි නැට්ටන්ට අනුව මා මුග්ධයෙක්. තවත් සමහරුනට මා විහිළුවක්. එක් පඬි නැට්ටකු කියා තිබුණේ අපට එකල කාදිනල්තුමා හොඳ වූ නමුත් දැන් නරක් වී ඇති බව. ඇතැම් හාමුදුරුවරුන් හා ගිහියන් කාදිනල්තුමා සමග වැඩ කළත් මට එහෙම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මා එතුමා ගැන අවධානයෙන් පසුවන්නේ එතුමා රත්නපුරයට යැමටත් ප්‍රථම වතිකානුවේ විශේෂ සැලකිල්ලට යොමු වූ පූජකතුමකු ව සිටි කාලයේ සිට.  

 

මා කුඩා කල පහේ පංතියේ දී සිංහල ඉගැන්වූ ගුරුතුමා කීවේ නාකි කියන එක නොහැකි යන්නෙන් බිඳී ආවක් කියා. වයසින් වැඩෙත් ම ඇතැම් දේ කිරීමට නොහැකි වෙනවා. නාකි යන්න ඒ ඒ කාරණය හා සමබන්ධ වෙනවා ඇති. යමකු ඇතැම් කරුණුවලින් නාකි වන අතර තවත් කරුණුවලින් නාකි නොවනවා විය හැකියි. මට අදහස් ඇති වීම සම්බන්ධයෙන් නම් නොහැකියාවක් නැහැ.  ඇතැමුනට කිසි දා අදහස් ඇති වෙලා නැහැ. ඔවුන් ඒ අතින් නාකි නො වෙයි. යම්කිසි කරුණකින් නාකි වෙන්න නම් ඒ කරුණ යම් කාලයක හැකි වී පසුව නොහැකි වෙන්න ඕන. කිසි දා අදහස් නැති ව සිටි අය අදහස් ඇති වීම සම්බන්ධයෙන් නාකි වෙන්නෙ නැහැ. ඔවුන් අදහස් ඇති වීම සම්බන්ධයෙන් නූපන් අය.

 

අද රටේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් නැති වීම. ඩොලර් උපයා ගැනීම පිළිබඳ අදහසක් කිසිවකුට නැති බවයි පෙනී යන්නේ. රනිල්ට නම් කෝකටත් තෛලයක් තියෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යැමයි. ඔය අරමුදලට ගිහින් අප නැති වෙච්ච හැටි ගාවින් කරුණාරත්න නම් ලංකා පරිපාලන සේවයේ (CCS) හිටපු හිටපු නිලධාරි මහතකු විස්තර කර තියෙනවා. මා දන්නෙ නැහැ අජිත් නිවාඩ් කබ්රාල්ට හරි පුංචි බණ්ඩා ජයසුන්දරට හරි ඩොලර් ඉපයීම ගැන අදහසක් තියෙනවා ද කියා. ඩොලර් ඉතිරි කිරීම යනු ඩොලර් ඉපයීම නො වෙයි. ඩොලර් ඉතිරි කිරීමට යම් ආනයන කපා දාන්න පුළුවන්. ඒත් ඒ ඩොලර් ඉපයීමක් නො වෙයි. ඩොලර් ඉතිරි කිරීම ගිණුම් පොතේ සෘණ (-) ධන (+) කරනවා වගේ දෙයක්. ඒත් සෘණ නැති කළ පමණින් ධන වන්නේ නැහැ. එය සෘණත් නැති ධනත් නැති තත්වයක්. එය ඇරිස්ටෝටල්ගේ න්‍යායට නම් ගැලපෙන්නේ නැහැ. මට ඇරිිස් එක්ක ඇරියස් තියෙනවා.  

 

බටහිර ගණිතය හරි බටහිර භෞතික විද්‍යාව හරි දිගින් දිගට ම හදාරන්නෙ නැතිව බටහිර ආර්ථික විිද්‍යාව හැදෑරීමට යොමු වුණු කිහිප දෙනකු ම මා දන්නවා. සමහර විට ආර්ථික විද්‍යාව ඉතා ප්‍රියජනක විෂයක් වූ නිසා එසේ කරන්න ඇති. එහෙමත් නැත්නම් ආර්ථික විද්‍යාව එතරම් වියුක්ත නොවන නිසා එසේ කළා වෙන්න පුළුවන්. ලංකාවේ අනෙක් පැත්තට විිද්‍යාර්ථීන් ක්‍රියා කරනු මා දන්නේ නැහැ. ආර්ථික විද්‍යාව හැදෑරීම නවතා ගණිතයට හරි භෞතික විද්‍යාවට හරි යොමු වූ අය ලංකාවේ ඉන්නවා ද හිටියා ද කියා දැන ගන්න කැමතියි. ඒ කොහොම වෙතත් ගණිතය භෞතික විද්‍යාව අත්හැර ආර්ථික විද්‍යාවේ එල්ලෙන අයටත් විසඳුම් නැහැ.

 

අපේ ඩොලර් අර්බුදයට හේතු වූ කරුණු කිහිපයක් තියෙනවා. ආසන්න වශයෙන් නම් රට වැහීම, සංචාරකයන් නොපැමිණීම, විදේශ රටවල රැකියා සඳහා යන අයගේ මුදල් එවීම අඩුවීම ප්‍රධානයි. එහෙත් ප්‍රධාන ම කරුණ අපේ බොරු ෂෝක්. දැනට අවුරුදු හැටකට හැටපහකට පමණ ඉහත අපේ සීයා කෙනකු (අම්මාගේ පොඩි මාමා) එකල තිබූ පුවත්පතකට ලිපියක් ලිවුවා අපේ බොරු ෂෝක් කියා. ඔහු එහි කියා තිබූ දේ මට මතක නැහැ. එහෙත් අප එදත් අදත් බොරු ෂෝක්කාරයන්. විශේෂයෙන් ම මධ්‍යම පංතියට ඇත්තේ බොරු ෂෝක්.

 

කවුරු හරි වරදක් කළ විට අපි හරි ෂෝක් කියනවා. බොරු ෂෝක් නිවැරදි ය කියා හිතනවා. බොරු ෂෝක් කරල පසුව ශෝක වෙනවා. අපට අශෝකලා වෙන්න බැහැ. අද රටක් හැටියට අපි බොරු ෂෝක් කරල ඩොලර් නැතිව ශෝක වෙනවා. ඒත් අපට තව තවත් ෂෝක් කරන්න ඕන. ඩොලර් නැතිවත් ෂෝක් කරන්න ඕන. දැන් චූන් වෙන්නත් ඕන. ඒ අතර අපේ බොහෝ අය ෂෝක් අඩු කරන්නත් කැමති වෙන වෙලාවල් තියෙනවා. ඒ දරුවන්ගේ ෂෝක් වෙනුවෙන්. තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ දෙනා කැප කරන්න සූදානම්. ඒ දරුවන්ගේ අනාගත ෂෝක් වෙනුවෙන්.

 

ඒත් අප රටේ දරුවන් අශෝකලා කිරීම වෙනුවෙන් කැප කරන්න සූදානම් නැහැ. ඒ කැප කිරීම අඩු තරමෙන් අවුරුදු පනහකට පෙර කරන්න පටන් ගත්ත නම් අද වන විට තරමක හරි අශෝකලා වෙන්න තිබුණා. බණ්ඩාරනායක මැතිණියගෙ කාලයෙ ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇති වුණා. විජේවීරගේ නායකත්වයෙන් ජ වි පෙ පොලීසිවලට ගහල එකෙන් ප්‍රයෝජන ගන්නත් බැලුවා. ඒත් විජේවීර තේරුම් ගෙන හිටියෙ නැහැ ඉංගිරිසින් මේ රටේ ධනවාදය ඇති කරල තිබුණ බවත් ඊනියා විප්ලව මගින් ධනවාදය ඇති කරන්න අවශ්‍යතාවක් නොවූ බවත්. අද වන විට ඊනියා සමාජවාදී හෙවත් රාජ්‍ය ධනවාදී කියුබාවේ අර්බුද ඇති වෙලා. සකර්බර්ග් කරන ප්‍රධාන කාර්යය නම් ධනවාදී ආකල්ප තරුණ තරුණියන් අතරට යැවීමයි. ඒ ආකල්පත් සමග ධනවාදී කුඩා ආර්ථික ඇති රටවල් අර්බුදයට යනවා. මේ සමග ඇති ඡායාරූපය කියුබානු විප්ලවය ගැනයි.

 

බොරු ෂෝක් යන්නත් ධනවාදී මෙන් ම අබෞද්ධ ආකල්පයක්. අපට අනුරාධපුර යුගයේ තිබූ සරල ප්‍රෞඪත්වය දැන් නැහැ. අද ඇත්තේ සංකීර්ණ නිවට බවක්. සරල ප්‍රෞඪත්වය නැති වන්න පටන් ගත්තේ පොළොන්නරු යුගයේ සිට.  පඬි නැට්ටකු අහන්න බැරි නැහැ පොළොන්නරු යුගයේ ධනවාදය තිබුණ ද කියා. නිස්සංක මලල රජුට ධනවාදයක් තිබුණේ නැහැ. එහෙත් ඔහුට සරල බවක් තිබුණෙත් නැහැ. අනුරාධපුරය හා පොළොන්නරුව අතර ප්‍රධාන වෙනස ඇත්තේ ඒ කරුණෙහි.

 

අප අවුරුදු දාහක් පමණ සරල කමෙන් ඈත් වෙමින් තිබුණත් අප සරලකම සමග බැඳිලා. අප අනුරාධපුරයට තරම් පොළොන්නරුවට ඇලුම් කරන්නේ නැහැ. මෙය මෛත්‍රිපාල සේනානායක හා මෛත්‍රිපාල සිරිසේන අතර ප්‍රශ්නයක් නොවෙයි. රුවන්වැලි සෑය සරල ප්‍රෞඪත්වයේ සංකේතයයි. අපේ අදහසුත් සරල වෙන්න ඕන. ඩොලර් අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ සරල කමින් පමණයි. අප බොරු ෂෝක් අත්හැර රට වෙනුවෙන් රටේ දරුවන් අශෝකලා කිරීම  වෙනුවෙන් කැප වෙන්න ඕන.  අප හැකි ඉක්මණින් මූලික වශයෙන් කෘෂි රසායනික පොහොර නොයෙදූ ගොවිතැනකට (කෘෂිකර්මය කියන වචනයත් හරි නැහැ) යොමු වෙන්න ඕන. ඒ සඳහා උපදෙස් ගත හැකි අය රටේ ඉන්නවා. ඔවුන් ඊනියා කෘෂිවිද්‍යාඥයන් මහාචාර්යවරුන් නම් නො වෙයි. ගොවිකම ඩොලර් ඉපයීමේ මාර්ගයක් ද වෙනු ඇති.