History

Saturday, 6 November 2021

පොහොරදාසලා හා පොහොරවතීලා

 

පොහොරදාසලා හා පොහොරවතීලා

 

වමාලාට වම නැති වීම ගැන තව  ලියන්න තියෙනවා. ඒ වගේ ම පොහොර ගැනත් ලියන්න තියෙනවා. මේ දෙක ම එක ම මූලාශ්‍රයකින් පැන නගින්නේ. ඒ වෙනත් දෙයක් නොව ජාතිකත්වය හා විජාතිකත්වය අතර ඇති ගැටුම. වමාලාට කිසි දා ජාතිකත්වය තේරුණේ නැහැ. ඔවුන් සමහරකු හිතන්නේ ජාතිකත්වය කියන්නේ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑම කියා. එහෙත් තවත් සමහරුනට අනුව අප බටහිරකරණයකට කැස කවනවා. ජාතිකත්වය කියන්නේ ඒ දෙකෙන් එකක්වත් නො වෙයි. අපට අවශ්‍ය සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් ජීවත් වීම. එහි දී ඒ චින්තනය මත පදනම් වූ දැනුමක් ගැන අප කතා කරනවා. ඒ දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂයි. සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනත් සංස්කෘතීන්ගෙන් ඇතැම් දේ අවශෝෂණය කිරීම ප්‍රශ්නයක් නො වෙයි. උදාහරණයක් ලෙස බටහිර වියුක්ත ව සිතීම අප අවශෝෂණය කර ගත යුතුයි. වියුක්ත ව හිතන්න ඉස්සර හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ අතර චක්‍රීය චින්තනයට ආපසු එන්න ඕන. අද මෙරට උගතුන් ඉන්නේ රේඛීය චින්තනයේ. එයින් කියන්නේ නැහැ ඔවුන් එහි නිර්මාණ කරනවා කියා.

 

අපි අද පොහොර ගැන ටිකක් කතා කරමු. ඒ සඳහා මට ඇති සුදුසුකම කුමක් දැයි ඊනියා විද්‍යාඥයකු අහන්න පුළුවන්. මා විද්‍යාඥයකුවත් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා උසස් පෙළට සමාන එකල තිබූ පරීක්‍ෂණයෙන් රසායන විද්‍යාව අසමත්. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් ආපසු පැමිණි අයෙක්. මා ජාතක කතා ටිකක් කියවලා තියෙනවා. මා මහාවිහාරයේ. එහෙත් ඒ සම්ප්‍රදායේ අඩුපාඩුකම් අතහැරීම් තියෙන බව පිළිගන්නවා. ඒත් ඒ බටහිර ඉතිහාසඥයන් සමාජ විද්‍යාඥයන් කියන අයුරෙන්වත් අරුතෙන්වත් නො වෙයි. මා අපේ යක්‍ෂ අතීතය පිළිගන්නවා. මා අටුවා ව සම්පූර්ණයෙන් කියවල නැහැ. එත් මා දන්නා අටුවාවේ සමහර තැන් සමග එකඟ වන්නේ නැහැ. මනස ගැන කියන සමහර දේ එහි දී ප්‍රධානයි.

 

අද මෙරට ඊනියා විද්‍යාඥයන්ට (විද්‍යාඥවරියන් ද ඇතුළුව)  පොහොර සම්බන්ධයෙන් විශේෂ තැනක් හිමි වෙලා. ජනමාධ්‍යවේදීන් ඊනියා විද්‍යාත්මක කෘෂිකර්මයක් ගැන කියවනවා. ඔවුන් කියනවා අප ඒ විද්‍යාඥයන්ට විශේෂඥයන්ට සවන් දිය යුතු ය කියා. සවන් දුන්නට කමක් නැහැ. හිත දෙන එකයි වරද. ඊයේ පෙරේදා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා එල්ස්වියර් ආයතනය එක් ව පළ කළ ඔවුන්ගේ නිර්ණායක අනුව ලෝකයේ ඉහළ ම විද්‍යාඥයන්  2% අතරට ලංකාවේ විසිදෙදෙනකු අයිති වෙලා තිබුණා. මා නම් ඒ නිර්ණායක අනුව 99% අතරටවත් අයත් වන්නේ නැහැ. මා සිංහල බෞද්ධයකු පමණයි. වයස අවුරුදු දහඅටත් තිස්හයත් අතර කාලය හැරුණු විට ළමා වියේ සිට අද දක්වා මා කරන්නේ කර ඇත්තේ එක ම එක දෙයක් පමණයි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ලබා දීම සඳහා කටයුතු කිරීමයි.

 

පොහොර ගැන කතා කරන්න ඉස්සර ඒ ගැන ජනමාධ්‍ය සංදර්ශන පවත්වන නිවේදකයන් නිවේදිකාවන්  හා වෙනත් අය අතර සිංහල බෞද්ධයන්ගෙන් හා අර 2% විශිෂ්ටයන් අතර සිංහල බෞද්ධයන්ගෙන් මා ප්‍රශ්න දෙකක් අහන්න කැමතියි. ඒ ඉතා සරල ප්‍රශ්න. ඔවුන් විසඳන ප්‍රශ්නත් එක්ක බැලුව ම මේ මොන ප්‍රශ්න ද? පළමු ප්‍රශ්නය ඔවුන් පිළිගන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ කියැවෙන සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වය ද බටහිර විශ්වවේදයේ කියැවෙන මහා පිපුරුම ද? තමන් විශ්වවේදය හදාරා නැති බව කියමින් ප්‍රශ්නයෙන් පැන යන්න එපා. මහා පිපිරුමේ අදහස පාසල් සිසුන් ද දන්නවා. විශ්චවේදයෙන් ආචාර්ය උපාධියක් පඬියන් අගය කරන එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලබා     ඇති මා මහා පිපුරුම පිළිගන්නේ නැහැ. 

 

දෙවැනි ප්‍රශ්නය මනස ඇත්තේ කොතැන ද? මා මනස ගැන කියන්නේ සම්මුති අරුතකින්. මනසත් මේසය වගේ ම සංස්කරණය කෙරුණු සංකල්පයක්. නැති මේසය වගේ ම නැති මනසක් ගැනයි මා නම් හිතන්නේ. හිතන්නේ නැති මනසෙන් වෙන්න ඕන. සමහරු හිතන්නෙ නැත්තෙ මනස නැති හින්ද ද දන්නෙ නැහැ. පඬි නැට්ටන් මෙහි පරස්පර දකීවි. නැති මනස පඬි නැට්ටන්ට තියෙනවා ද?

 

පසුගිය දා භෞතවේදය/වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබුණේ තාපය මොළයට ගෙන යෑම පිළිබඳ අධ්‍යයනය කළ අයට. තාපය දැනෙන්න අදාළ සංඥා මොළයට යා යුතු ද? මනස හරි විඥානය හරි තියෙන්නෙ මොළයෙ ද?  තාපය ස්පර්ශ කිරීම  අර ජනමාධ්‍යවේදීන් කියන්නාක් මෙන්  එසැණින් මනසට දැනෙනවා ද? අහගන්න කාලෝ ෆොන්සේකාත් නැහැ.  ඵස්ස පච්චයා වෙදනා යන්න ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මා මේ ප්‍රශ්නයේ දී බටහිර විද්‍යාව සමගවත් අටුවාව සමගවත් එකඟ වන්නේ නැති බව කියන්න ඕන. මේ ප්‍රශ්නවලට පිළිතුරු හැරෙන තැපෑලෙන් එවන්න ඕන නැහැ. ඒත් පොහොර සංදර්ශන නවත්වන්න කලින් පිළිතුරු එවනවා නම් හොඳයි. කොහොමටත් අපේ රටේ විද්‍යාඥයන් විද්‍යාඥවරියන් නැහැ. බටහිර මතවාද ප්‍රචාරය කරන්නන් පමණයි ඉන්නෙ. ඔවුන් නිවේදකයන් නිවේදිකාවන් පමණයි.

 

දැන් මේ පොහොර කතාවට යමු. පළමුවෙන් ම කියන්න ඕන අපි එකල කාබනික පොහොරක් ගැන කාබනික ආහාර ගැන කතා කෙළේ නැහැ. අපි කාබනික කතාවටත් විරුද්ධ වුණා. අපි කතා කෙළෙ හෙළ ගොවිතැනක් ගැන. ඒ කොහොම වුණත් රසායනික පොහොරත් කාබනික පොහොරත් කෘතිම ව හදන ඒවා. ලංකාවෙ තියෙන ෆොස්ෆේට් නිධිය වගේ ඒවාට ස්වාභාවික පොහොර කියන්න පුළුවන්. හෙළ ගොවිතැනේ පොහොර ඒ එකක්වත් නො වෙයි. ඒත් ඒවාත් ඉබේට හැදෙන්නෙ නැහැ.

 

අද ප්‍රශ්නය රසායනික පොහොර වල්නාශක කෘමිනාශක කියන ඒව නිසා මිනිසුන් ලෙඩ වෙනවා ද කියන එක. ඊනියා විද්‍යාඥයන් ද සමහර අවස්ථාවල දි ඒ බව පිළිගන්නවා. උදාහරණයක් ලෙස ඉන්දියාවෙන් ගෙනෙන නැනෝ රජා ගනිමු. කැනඩාවේ වෙසෙන ඊනියා විද්‍යාඥයකු පසුගිය දා ලියා තිබුණා නැනෝ රජාගේ වස පිළිබඳ ව. රසායනික පොහොර (නම වැරදි වුණත් මා එය යොදා ගන්නවා) සමහරක් වස වෙන්නෙත් සමහරක් වස නො වෙන්නෙත් ඇයි. ඒවාට හේතු ඇති. ඒ හේතු කියන්න. අනෙක කැනඩාවට පහළින් තියෙන එක්සත් ජනපදවල ඔය ග්ලයිෆොසේට් පිළිකා කාරකයන් බව එහි විද්‍යාඥයන් කියනවා. එමෙන් ම එහි අධිකරණය එසේ පිළිකා හැදුණු අයට වන්දි ගෙවන්නත් නියම කරලා.

 

රජරට වකුගඩු රෝගයට අපි අසාමාන්‍ය වකුගඩු රෝගය කියා කියමු. ඒ එය සාමාන්‍ය වකුගඩු රෝගයට වඩා වෙනස් නිසා. එය ඇති වීමට හේතුව කුමක් ද? එය රජරටට සීමා වී නැති බවත් පැහැදිලියි. අපි කිවුවෙ එයට ප්‍රධාන හේතුව ආසනික් කියා. එහෙත් එය එකම හේතුව නො වෙයි. සිංහල බෞද්ධයන් ඊනියා විද්‍යාඥයන් විද්‍යාඥවරියන් මෙන් ඒකහේතුවාදීන් නො වෙයි. අප ඒ දිනවලත් දැන හිටියා වැව් ජලය පානය කරන අයට අසාමාන්‍ය වකුගඩු රෝගය නො සෑදෙන බව. ඒ ඔවුන්ට අසාමාන්‍ය වකුගඩු තියෙන නිසා නොවෙයි. ජලය ද මෙහි දී හේතුවක් වෙනවා. විස්තරාත්මක ව කිවුවොත් කිවුල් ජලය හේතුවක් වෙනවා. ගොවීන් පොහොරවලට අමතර ව වල්නාශක කෘමිනාශක ද යෙදා ගන්නවා. රවුන්ඩ්අප් නැත්නම් ග්ලයිෆොසේට් මෙහි දී විශාල කාර්යභාරයක් කරනවා. එය පසුව විස්තර කරන්නම්.

 

එමෙන් ම අපේ ශරීර ද මෙහි දී බලපානවා. වස සිරුරට ඇතුල්වීම ඒ එ අයට එක එක විධියට බලපානවා. එක ම ලිඳෙන් වතුර බොන පවුලේ සියල්ලන්ට අසාමාන්‍ය වකුගඩු රෝගය හැදෙන්නේ නැහැ. සමහර විට ගැහැණුන්ට වඩා පිරිමින්ට රෝගය වැළඳෙනවා වෙන්න පුළුවන්. එත් එය ගැහැණු පිරිමි කියා සාධාරනීකරණයකට ලක් කරන්න බැහැ. අශෝක රජුගේ සීයාට හුරු වෙලා තිබුණ වස ආච්චිට හුරුවෙලා තිබුණෙ නැහැ. අද ඉන්න කෞටිල්‍යදාසලාට හා කෞටිල්‍යවතීලාට ඒවා තේරෙන්නේ නැහැ. ඔවුන් පොහොරදාසලා හා පොහොරවතීලා ද?