History

Monday, 8 November 2021

පොහොරදාසලා වකුගඩු රෝගය ගැන කර ඇති පරීක්‍ෂණ මොනවා ද?

 

පොහොරදාසලා වකුගඩු රෝගය ගැන කර ඇති පරීක්‍ෂණ මොනවා ද?

 

මා කලින් දවසක සඳහන් කළා මෙන් පොහොර සම්බන්ධයෙන් මූලික ප්‍රශ්නය කෘෂිරසායන (Agrochemicals - මේ නම එතරම් සුදුසු නැති වුවත් අපි එය යොදා ගනිමු) CKDu හෙවත් හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය  නමින් හැඳින්වෙන රෝගයට හේතුකාරක  වන්නේ ද යන්නයි. මෙය සාමාන්‍ය වකුගඩු රෝගවලින් වෙනස් බැවින් අපි එය මෙතැන් සිට අසාමාන්‍ය වකුගඩු රෝගය ලෙස හඳුන්වමු.  රජරට ප්‍රදේශයෙහි මේ රෝගය පළමුවෙන් හඳුනාගත් බැවින් එය කලක් රජරට වකුගඩු රෝගය ලෙස ද හැඳින්වුණා.

 

මේ රෝගයට අවුරුදු දෙදහස් හයසීයක ඉතිහාසයක් නැහැ. රෝගීන් පළමුවෙන් හඳුනා ගැණුනේ 1994 දී.  අපට රෝගය වාර්තා වුණේ රජරට විශ්වවිද්‍යාලයේ චන්න ජයසුමන මගින්. ඒ මා කැලණිය විද්‍යා පීඨාධිපති ව සිටිය දී. ලංකාවේ විද්‍යාඥයන් විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවලත් නැහැ. විද්‍යාඥයකු නොවූ මට විද්‍යා පීඨාධිපති කෙනකු වෙන්න පුළුවන් වුණා. මා චන්න යොමු කළා ප්‍රියන්තා සේනානායක මහත්මිය වෙතට. ඇයට නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබුණා. ඇය දැන් ජීවතුන් අතර නැහැ. ඒ සන්නිවේදන හැකියාව ඇති තවත් අය දැනටත් රටේ ඉන්නවා. මට නම් ඒ හැකියාව නැහැ.

 

ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන් අපට දැන ගත හැකි වූයේ අසාමාන්‍ය වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවයි. ඒ අදහස ලැබීමෙන් පසු අප ඒ සම්බන්ධ පරීක්‍ෂණ කැලණිය විශ්වවිද්‍යාලයේ දී ආරම්භ කළා. චන්න ආචාර්ය උපාධියකට ලියා පදිංචි වුණා. ඔහුගේ උපදේශිකාව වූයේ රසායන විද්‍ය අධ්‍යනංශයේ මහාචාර්ය ප්‍රියානි පරණගම. ඇයට උද්භිද විද්‍යා අධ්‍යනංශයෙහි මහාචාර්ය මාලා අමරසිංහ සහය වුණා. එ අය තවත් අයත් සහභාගි කරවා ගෙන අනුරාධපුර පදවි ශ්‍රීපුර ප්‍රදේශවලට ගොස් ශාඛ පස් ජලය නියැදි පමණක් නොව රෝගීන්ගේ හා රෝගීන් නොවන්නන්ගේ  නිය හිසකෙස් මුත්‍රා ආදී නියැදි ද කැලණියට ගෙනැවිත් පරීක්‍ෂණ කළා.

 

එපමණක් නොව ඔවුන් පොහොර වර්ග හා පළිබෝධනාශක ද පරීක්‍ෂාවට ලක් කළා. මා ඒ පරීක්‍ෂණවලට සහභාගි වූයේ නැහැ. මට රසායන විද්‍යා තබා භෞතික විද්‍යා පරීක්‍ෂණ කිරීමේවත් හැකියාවක් නැහැ. රසායන විද්‍යාවේ දී මට හඳුනා ගත හැක්කේ මිශ්‍රණයක කොපර් සල්ෆේට් තියෙනවා නම් පමණයි. ඒ නිල් පාට අනුව කෙරෙන්නක්. නිල් පාට තවත් ද්‍රව්‍යයක් මිශ්‍ර වී තිබුණොත් මා අමාරුවේ වැටෙනවා. ඒත් මා එක් වරක් ඒ පර්යේෂණ කණ්ඩායමත් සමග අනුරාධපුරයට ගියා රෝගීන් හමු වීම සඳහා.

 

මේ පර්යේෂණවල ප්‍රතිඵල පර්යේෂණ  පත්‍රිකා ලෙස විද්වත් සඟරාවල පළ වී තියෙනවා. එහි පිටපත් මා ළඟ තියෙනවා. අවශ්‍ය කෙනකුට එහි පිටපත් ලබා දෙන්න පුළුවන්. තවත් කිව යුතු කරුණක් තියෙනවා. කැලණියේ කිරීමට පහසුකම් නොතිබූ ඇතැම් පර්යේෂණ චන්න කැලිෆෝනියා රාජ්‍ය (ස්ටේට්) විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අධ්‍යානංශයේ මහාචාර්ය සරත් ගුණතිලක සමග එකතු වී එක්සත් රාජ්‍යවල දී සිිදු කළා.

 

ඒ පර්යේෂණ ගැන මා එකින් එක ලියන්නේ නැහැ. සමස්තයක් ලෙස පත්‍රිකාවල අඩංගු වී ඇති දේ ගැන කියන්නම්. මේ පරයේෂණ බටහිර  අච්චුවේ කෙරුණත් එහි අර තොමස් කුන් සඳහන් කරන සුසමාදර්ශය නැත්නම් පැරඩයිම අපේ. ඊයේ (නොවැ 06) මා සඳහන් කළ පශ්චාත් උපාධිධාරීන්ගේ විද්‍යාවත් බටහිර අච්චුවේ වුවත් සුසමාදර්ශය අපේ. මා කියනවා කළු කුහර (black holes) නැති බවත් ඇත්තේ කළු පෘෂ්ඨ බවත්. එහිත් සුසමාදර්ශය අපේ. හෝකින් කියා තියෙනවා ඊනියා කළු කුහරයක ඇති තොරතුරු (information) එහි පරිමාවට නොව පෘෂ්ඨ වර්ගඵලයට සමානුපාතික බව. එහෙත් එසේ වන්නේ ඇයි ද කියා ඔහු කියා නැහැ. පඬි නැට්ටන් හා නැට්ටියන් දන්නා සුසමාදර්ශයක් නැහැ. ඔවුන්ට කොකා කෝලා සිට පෙප්සි කෝලාවලට මාරු වීම සුසමාදර්ශ වෙනසක් (paradigm shift) වෙන්න ඇති.

 

අප ඌනිතවාදීන්වත් ඒකහේතුවාදීන්වත් නො වෙයි. අප බහු හේතුවාදීන්ටත් වඩා හේතුඵල ගැන කතා කරන්නන්. අප අසාමාන්‍ය වකුගඩු රෝගය එක් හේතුවකට ඌනනය කරන්නේ නැහැ. එහෙත් එහි ප්‍රධාන කාරකය ආසනික්. ආසනික් ලැබෙන්නේ ෆොස්ෆේට් පොහොරවලින්. තවත් කාරක තියෙනවා. ඒ පළිබෝධනාශක මගින් ලැබෙන රසායන ද්‍රව්‍ය. මෙහි දී ග්ලයිෆොසේට් (රවුන්ඩ්අප්) ප්‍රධාන වෙනවා. එමෙන් ම මෙහි දී ජලය ද වැදගත් සාධකයක් වෙනවා. කිවුල් ජලය ද රෝග කාරකයක්. ඒ තොරතුරු අපට පර්යේෂණ මගින් ලැබුණු දේ. මා එයට තවත් දෙයක් එකතු කරනවා. ඒ පුද්ගලයාගේ ශරීරය. ඒ ඒ ශරීර අර කී සාධකවලට ප්‍රතිචාර දක්වන්නේ එක ම විධියට නො වෙයි. එක ම ලිඳෙන් වතුර බොන පවුලක අසාමාන්‍ය වකුගඩු රෝගය එක විධියට හැදෙන්නේ නැහැ.

 

ශරීර සාධකය ගැන කීම සඳහා මා කළ පරයේෂණයක් නැහැ. එය මගේ තවත් අදහසක් පමණයි. අවශ්‍ය අයකුට ඒ ගැන පර්යේෂණ කරන්න පුළුවන්. ඒත් මා දන්නවා අද ඇති වසංගතය දකුණු ආසියාවේ අයට වඩා බරපතළ වන බව  ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් කියනවා කියා. ඒ දකුණු ආසියාවේ අයගේ ජාන හා සම්බන්ධ යැයි කියනවා. පොහොරදාසලා හා පොහොරවතීලා ඒ බව පිළිගනීවි. ඔක්ස්ෆර්ඩ් පරීක්‍ෂණයක් නොවැ.  අපි පිත වැඩි ශරීර සෙම වැඩි ශරීර ගැන කතා කරනවා. අපි ඔරොත්තු දීමේ හැකියාව ගැන කියනවා. අසාමාන්‍ය වකුගඩු රෝගය ස්ත්‍රීන්ට වඩා පිරිමින්ට හැදෙනවා. ඒ ඇයි ද කියා හොයා බලන්න පුළුවන් නම් හොඳයි. ස්ත්‍රීන්ට ආසනික්වලට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් තියෙනවා ද? මා දන්නේ නැහැ. ඒත් එය පරීක්‍ෂා කරන්න ස්ත්‍රීන්ට ආසනික් දිය යුතු නැහැ.

 

අප කණ්ඩායම කළ පරීක්‍ෂණ වෙනුවෙන් මා පෙනී සිටිනවා. මා රසායන විද්‍යාව විශ්වවිිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයේ දී අසමත් වුවත් කෙරෙන්නේ මොකක් ද කියන එක මට වැටහෙනවා. මා ඒ පරීක්‍ෂණවලට විරුද්ධ අයගෙන් අහනවා ඔවුන් කර ඇති පර්යේෂණ මොනවා ද කියා. ඔවුන්ට තවමත් අසාමාන්‍ය වකුගඩු රෝගය හේතුව නොදත් රෝගයක් ද? අප කණ්ඩායමේ පරීක්‍ෂණවලට විරුද්ධ ව ලියූ එක් පුද්ගලයකු තමා එක්සත් ජනපදවල වෛද්‍ය සායනයක සේවය කරන ගමන් තමන් අධ්‍යයනික ආයතනයක පර්යේෂකයකු බව  ලිපි වල සඳහන් කළ අයෙක්. ඔහු කර ඇති පර්යේෂණයක් නැහැ. අද මාධ්‍ය සංදර්ශන පවත්වන අය කර ඇති පර්යේෂණ මොනවා ද? මේ කිසිවක් ගැන කිසිම පරීක්‍ෂණයක් කර නැති ඇතැම් පොහොරවතීලා කියනවා අසාමාන්‍ය වකුගඩු රෝගයට වෙනත් හේතු තියෙනවා කියා. ඒත් ඒ වෙන හේතු මොනවා ද කියා කියන්නේ නැහැ. මාත් පරීක්‍ෂණ කර නැහැ. ඒත් මට පෙනී හිටින්න පරීක්‍ෂණ තියෙනවා. පොහොරදාසලා හා පොහොරවතීලා පෙනී ඉන්නේ මොන පරීක්‍ෂණ වෙනුවෙන් ද?

 

ස්ටැන්ෆර්ඩ් එල්ස්වියර් නිර්ණායක අනුව ලෝකයේ ඉහළ ම විද්‍යාඥයන්ගෙන් 2%ට චන්න ද අයත් බව අමතක කරන්න එපා. ලංකාවේ 2%ට (6% මතක් වෙනවා ඔවුන් දැන් 3%ට ගිහින් ද) අයත් 24 දෙනා අතරින් අසාමාන්‍ය වකුගඩු රෝගය ගැන පරීක්‍ෂා කර ඇති එක ම තැනැත්තා චන්නයි. සමහර විට ලෝකයේ ම අසාමාන්‍ය වකුගඩු රෝගයට ආසනික් ග්ලයිෆොසේට් ආදී හේතු කියන එක ම තැනැත්තාත් ඔහු වෙන්න ඕන. ඔහුට ඒ 2% අතරට යන්න හැකි වුණේ ප්‍රධාන වශයෙන් ම අසාමාන්‍ය වකුගඩු රෝගය ගැන කළ පර්යේෂණ නිසා බව මගේ හැඟීමයි. ඒ ගැන තවත් පසුවට. 

 

පොහොරදාසලා හා පොහොරවතීලා පෙනී ඉන්නේ ධනපති සමාගම් වෙනුවෙන් යැයි වමක් නැති වමාලා  කියනවා මා අසා නැහැ. අප යම් කිසි විධියකින් පොහොරදාසලාගේ ස්ථාවරය ගත්තා නම් අප ධනපති සමාගම්වල ඒජන්තයන් ලෙස හැඳින්වෙනවා නිසැකයි. හාල්වල ආසනික් තියෙන බව කී පමණින් එක් ඇමතිවරයකු අප ප්‍රීමා සමාගමෙන් මුදල් රැගෙන පාන් ප්‍රචාරය කරනවා කීවා. වමාලා ඔහුට විරුද්ධ වුණේ නැහැ. (මතු සම්බන්ධයි)