History

Wednesday, 15 December 2021

රාජ්‍ය නීති සමුහ නීති හා ආගමික අවනීති

 

රාජ්‍ය නීති සමුහ නීති හා ආගමික අවනීති

 

නීති තියෙන්නෙ රටක පමණක් නොවෙයි. නීතියෙන් කෙරෙන්නෙ යම්කිසි කණ්ඩායමක ජීවත්වන ජනයා තම තමන්ටත් අනෙක් අයටත් කණ්ඩායමටත් අයහපතක් නොවන විධියට ඒ හැම දෙනාගේ ම හා කණ්ඩායමේ අභිවෘද්ධිය ආරක්‍ෂාව ආදිය වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය දැක්වීමයි. මෙහි කණ්ඩායමක් යන්නට ආයතනත් ඇතුල් වෙනවා.  සිරිත් විරිත්වලින් කෙරෙන්නේත් එයයි. අපේ පැරණි සමාජයේ සිරිත්ලේනාගේ කාර්යභාරය වුණෙ අද නීීතිපතිගෙ වැනි කාර්යයක්.

 

අප ජීවත්වන විශාලත ම කණ්ඩායම ලෝකය කියල කියන්න පුළුවන්. ඒත් ලෝකයට ම නීති හදල දෙන්න ආයතනයක් නැහැ. සක්විති රජවරු නම් එහෙම කරන්න ඇති. බයිඩන් කොච්චර බලවත් වුණත් ඔහු සක්විති රජෙක් නො වෙයි. ඒත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තම පැවැත්ම සඳහා නීති සකස් කර ගෙන. අපට ඒව අධ්‍යාපනයෙන් හා ජඩමාධ්‍යයෙන් ලැබෙනවා. අප බටහිර විද්‍යාව හා අනෙක් බටහිර දැනුම් පිළිගත යුතු ය කියන එක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ නීතියක්. ඒ නීති අලිඛිත නීති. ඒ අතර ඊනියා ජාත්‍යන්තර සම්මුතීන් තියෙනවා. ඒවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පැවැත්ම සඳහා හදා ගන්න ඒවා.

 

බටහිර දැනුම් ආධිපත්‍යය නොපිළිගන්න අයට ජනවහරෙ කියනව වගේ වටකරලා ගහනවා. ලංකාවෙ එකී ආධිපත්‍යය නොපිළිගන්න අයට එක වාසියක් තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ නියෝජිතයන් නර්මාලාප පමණක් කියවන අන්තිම අදක්‍ෂයන් වීම. මේ නියෝජිතයන්ට බටහිර දැනුම් ආධිපත්‍යය නොපිළිගැනීම හා බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කිරීම අතර වෙනසවත් තේරෙන්නෙ නැහැ.

 

අපට බලපාන විශාලතම කණ්ඩායම නැත්නම් ඒකකය තමයි රට හා ඒ හා සම්බන්ධ රාජ්‍යය. රටක රටවැසියන් ඒ රටේ නීතියට යටත් වෙන්න ඕන. රටේ නීතිය අර කණ්ඩායමට මේ කණ්ඩායමට අරෙහමයි මෙහෙමයි කියල වෙනස් වෙන්න බැහැ. හැමෝට ම පොදු නීතියක් තියෙන්න ඕන. ඒ නීති අද නම් හදන්නෙ පාර්ලිමේන්තුවෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නීති සම්පාදකයන් කියා කියනවා. ජනතාවට සියල්ලන් එකතු වෙලා නීති හදන්න බැහැ. ග්‍රීසියෙ නගර රාජ්‍යවල එහෙම කරල තියෙනවා. එහෙත් වහලුන් අත්හැරලා. පිරිමි තමයි නීති හදල තියෙන්නෙ. නගර රාජ්‍යවල වහලුන් නොවන පිරිමින් ඉන්න ඇත්තෙ ටික දෙනයි. එහෙත් අද නගර රාජ්‍යයක් වුණු සිංගප්පූරුවෙවත් සියල්ලන්ට එකතු වී නීති හදන්න බැහැ.

 

රටක ප්‍රධාන ම නැත්නම් මූලික නීතිය එරට ව්‍යවස්ථාව. අනෙක් නීති හදන්න වෙන්නෙ ඒ ව්‍යවස්ථාවට අනුකුලව. කෙටුම්පත් කරන ලද නීතියක් ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද කියන එක තීරණය කිරීම ව්‍යවස්ථාවෙන් ම ලංකාවෙ නම් අධිකරණයට පවරලා. ඒත් ලංකාවෙ ඇතැම් අවස්ථාවල අධිකරණයේ ඇස්වලට වැලි ගහල අවනීති සම්පාදනය කළ අවස්ථාත් තියෙනවා. දහතුන්වැනි හා දහනවැනි ව්‍යවස්ථා සංශෝධන එයට උදාහරණය. නීතියෙ දෙවඟනගෙ ඇස් බැඳලා තියෙන නිසා එවැනි දේ කරන්නත් පුළුවන්.

 

රටත් රාජ්‍යයත් හැරුණා ම අපට විවිධ සමිති සමාගම් ආයතන තියෙනවා. ඒවට පුළුවන් තම සමිතිය සමාගම ආයතනය කටයුතු කරන ආකාරය ගැන නීති හදාගන්න. සමිතියෙ ව්‍යවස්ථාවෙන් සාමාන්‍යයෙන් ඒ නීති ප්‍රකාශ වෙනවා. මේ නීති රටේ නීතියෙන් වෙන් කිරීමට සමූහ නීති කියල හඳුන්වමු. සමූහ නීති වෙනස් කර ගන්නත් අදාළ සමුහයට පුළුවන්. එය කරන ආකාරයත් සමිති ව්‍යවස්ථාවෙ ම සඳහන් වෙනවා. සමහර විට ඒ නීති සකස් කිරීමේ වෙනස් කිරීමේ බලය සමිතියේ කමිටුවකට පවරන්න පුළුවන්. ඒත් එය කෙරෙන්නෙ සමස්ත සමිති සාමාජිකත්වය ම රැස්වෙන සම්මේලනයක දි. ඒ කියන්නෙ සමස්ත සාමාජිකත්වය ම රැස්වෙල නීති සැකසීමට නියෝජිතයන් පත්කර ගැනීමක්. එය හරියට මහා මැතිවරණයක දී ඡන්ද බලය හිමි සියල්ලන් නීති සම්පාදකවරුන් නැත්නම් මන්ත්‍රීවරුන් තෝර ගන්නව වගේ වැඩක්. එහෙත් මේ කිසිම අවස්ථාවක අදාළ සියල්ලන් ම රැස්වෙන්නවත් මැතිවරණයට සහභාගි වීමටවත් අවශ්‍ය නැහැ. මෙහි දී අවශ්‍ය වන්නේ අදාළ සියල්ලන්ට අවශ්‍ය නම් ඒ සහභාගි වීමේ අවස්ථාව ලබා දීමයි. අවස්ථාව ලබා ගන්නවා ද නැද්ද යන්න තීරණය කිරීම ඒ ඒ පුද්ගලයාට අයත් දෙයක්.

 

රටක නීතියෙත් සමුහ නීතියකත් වෙනසක් තියෙනවා. ඒක වෙනසක් ලෙස පෙනුණත් වෙනසක් නො වෙයි. රටේ නීතිය රටවැසි සියල්ලන්ට බලපානවා. එහෙත් සමුහ නීතිය බලපාන්නෙ අදාළ සමූහයට පමණයි. රට සම්බන්ධයෙන් ගත් කළ රටවැසි සියල්ලන් ම අදාළ සමූහය නිසා මෙහි වෙනසක් නැහැ කියල තර්ක කරන්න පුළුවන්. දැන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. අදාළ සමූහයට හරි රටට හරි අයත් නැති අයට සමූහ නීතිය හරි රටේ නීතිය හරි බලපාන්න පුළුවන් ද?

 

රටකට ඒ කියන්නෙ භූමියට හා මුහුදු සීමාවට පැමිණෙන රටවැසියන් නොවන අයට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? නීතිය හදන්නෙ රටේ හා රටවැසියන්ගේ නැත්නම් සමූහයේ හා සමූහයේ සාමාජිකයන්ග් ආරක්‍ෂාවත් සලකමින්. රටක් සම්බන්ධයෙන් එය රාජ්‍යාරක්‍ෂාව කියන්නත් පුළුවන්. රටවැසියන් නොවන අය රටට ඇතුල්කර ගැනීමේ දී නීති තියෙනවා. උදාහරණයක් ලෙස වීසා රෙගුලාසි තියෙනවා. අද වන විට රටවැසියන්ගේ ආරක්‍ෂාව සඳහා පීසීආර් පරීක්‍ෂණවලට යටත්විය යුතු ය වගේ නීතිත් තියෙනවා. පීසීආර් නීති පිටරට ගොස් ආපසු එන රටවැසියන්ටත් බලපානවා.

 

දැන් ඒ නීතිවලට යටත් නොවී රටකට ඇතල් වුණු පිටරැටියන්ට දඬුවම් දෙන්නත් නීති තියෙනවා. මේ වන විට මට ආරංචි වෙලා තියෙනවා ලංකාවෙ ධීවරයන් කිහිප දෙනෙකු මියන්මා මුහුදු සීමාවට ඇතුල් වී ඔවුන්ට විරුද්ධ ව නඩු පවරල කියල. එදා තානාපති නිදි ද කියල ඇහුවට අද ජඩමාධ්‍යයෙ එහෙම අහන්නෙ නැහැ. සමහර විට නිදාගන්නවත් තානාපති කෙනෙක් නැති නිසා වෙන්න පුළුවන්.  කොහොමටත් මා හොඳින් නිදා ගන්නවා. දවල්ටත් පැය දෙකක් විතර නිදා ගන්නවා. රටක් නොවන සමූහයකට කිසිවකු ඇතුල් වෙන්න හැදුවොත්, අදාළ සමුහයේ රැස්වීමකට සහභාගි වෙන්න හැදුවොත් වෙන්නෙ මොකක් ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ.   

 

ආගමකට හරි ජනවර්ගයකට හරි අයත් පිරිසක් ඉහත අර්ථයෙන් සමූහයකට අයත් වන්නෙ නැහැ. ඔවුන් රැස්වෙල තීරණ ගන්නෙ නැහැ. නියෝජිතයන් පත් කර ගන්නෙ නැහැ. ඔවුන්ට ව්‍යවස්ථාවක් නැහැ. ත්‍රිපිටකයවත් භගවද්ගීතයවත් බයිබලයවත් කුරාණයවත් එවැනි ව්‍යවස්ථාවක් නො වෙයි. ඒ ඒ ආගමට අනුව ජීවත් වන්නෙ කෙසේ ද කියන එක ඒ ග්‍රන්ථවල තියෙන්න පුළුවන්. එහෙත් එසේ ජීවත් වුණෙ නැත්නම් මොකක් ද කරන්නෙ කියන එක එහි සඳහන් වන්නෙවත් එහෙම කරන්න බලයක් තියෙන්නෙ කාට ද කියන එකවත් ඒ ග්‍රන්ථවල සඳහන් වෙන්නෙ නැහැ. එසේ ජීවත් වුණෙ නැත්නම් ඒ ඒ ආගමට අනුව යම් යම් දේ වෙන්න පුළුවන්.  වත්මන් ආගමක් වන බටහිර විද්‍යාවටත් ඒ සියල්ල පොදුයි. කිසිවකුට බැහැ මා බෞද්ධකමෙන් අස් කරන්න. මා අවුරුදු දහඅටක් පමණ අයාලෙ ගිහින් බෞද්ධකම අත්හැරිය. ඒත් නැවතත් බෞද්ධයකු, ඔවු ථෙරවාද බෞද්ධයකු වුණා. එ හුදෙක් මගේ කැමැත්තට. මා ථෙරවාද බෞද්ධ සමූහයකින් අස්වුණෙවත් නැවත බෑදුණෙවත් නැහැ. එහෙ ම සමූහයක් නැහැ.

 

ආගම්වලට තමන්ගෙ ම ආගමේ අයටවත් වැරදිකරුවන් කරල දඬුවම් පමුණුවන්න බැරි විටෙක වෙන ආගමක අයට දඬුවම් කිරීමක් ගැන හිතන්නවත් බැහැ. යම්කිසි පිරිසක් එලෙස තම ආගමේ හරි වෙනත් ආගමක හරි අයට දඬුවම් කරනව නම් ඒ වින්දිතයන්ගෙ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න රාජ්‍යයට පුළුවන්. එලෙස ආගමට අනුව ජීවත්වෙනවා ද කියල බලන්න  පිරිසක් නීතියෙන් ආයතනගත කරන්න බැහැ. එහෙම ආයතනගත කරල තියෙනව නම් එය තදබල වරදක්. ඒ ආයතන අහොසි කරන්න ඕන. 

 

එහෙත් ආගම්වල පූජ්‍ය පක්‍ෂයට පූජකවරුන්ට පුළුවන් තමන් වෙනුවෙන් සමූහයක් නැත්නම් ආයතනයක් පිහිටුවා ගන්න. ඒ අයට ආගමේ අනෙක් අයට නැති නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට (සංඝ සමාජයේ විනය පිටකය කියමු. සඟ ගණ නැත්නම් නිකාය කියන්නෙ ම සමූහයක්. මියන්මාහි තියෙන්නෙ ගණ) පූජ්‍ය පක්‍ෂය හරි පූජකවරුන් හරි යටත් වෙනවා. එමෙන් ම අදාළ නීති කැඩුවොත් දඬුවම් පැමිණ වීමටත් අදාළ කාරක සභාවලට/පූජක මණ්ඩලවලට පුළුවන් වෙන්න ඕන.           එහි ප්‍රශ්නයක් නැහැ. ඒත් කවුරු හරි පිරිසක් ආගමික අවනීති පනවනව නම් රාජ්‍යයට ඒ පිරිසට දඬුවම් කරන්න හැකි වන අයුරින් නීති සම්පාදනය කරන්න ඕන.