History

Friday, 17 December 2021

පෙළපත්නාම හා නූතනත්වය

 

පෙළපත්නාම හා නූතනත්වය

 

මට ඉඳහිට පශ්චාත්නූතනවාදය හා පශ්චාත්නූතනවාදීන් මතක් වෙනවා. ලෝකයේ අය ගැන තමයි. ලංකාවෙ පශ්චාත්නූතනවාදීන් කියා පිරිසක් හිටියෙ නැහැ. අනෙක් හැම ක්‍ෂෙත්‍රයක වගේ ම මෙහෙ හිටියෙ  අනුකාරකයො ටිකක් පමණයි. ඔවුන් වචන ටිකක් දැන ගෙන හිටියා. එකෙකුටවත් අනෙක් එකා කියන දේ තේරුණෙ නැහැ. ඒත් අනෙකාගේ කියැවීම ගැන කියෙවුවා. ඒ ගැන මහා පරිමාණයේ සාකච්ඡා ඔවුන් අතර ඇති වුණා. ඒ අනුකාරකයන් අතර තරගයක් තිබුණා වැඩියෙන් ම වචන දන්නෙ කවුද කියන එක ගැන. දැන් ඔවුන් එකාට එකා නැහැ. ඔවුන්ට  පශ්චාත්නූතනවාදයකුත් නැහැ.

 

ඒ දවස්වල ලෝකයේ පශ්චාත්නූතනවාදීන් කිවුවෙ  පශ්චාත්නූතනත්වයක් ඇති වෙලා බව. පශ්චාත් කියන්නෙ ඉංගිරිසි පෝස්ට් (post) කියන වචනෙ පරිවර්තනයක්. ඉංගිරිසියෙන් පෝස්ට් කියල තැපෑලටත් කියනවා. ඒත් සිංහලෙන් තැපෑලට පශ්චාත් කියන්නෙ නැහැ. තැපෑල කියන වචනය අපට ආවෙ ඉන්දියාවෙන් කියල හිතන්න පුළුවන්. එහි තැපැල යන්න ලිපි පාර්සල් ආදිය සඳහා යොදා ගන්නවා. ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශයෙ තැපැල් කියල ප්‍රදේශයක් තියෙනවා. අපට තැපෑලෙන් පණිවුඩ හුවමාරු කරගන්න තරම් දෙයක් තිබුණෙ නැහැ. ඔය ලිපි ලේඛන කියන ඒවා අපට ඉතාමත් අඩුවෙන් තිබුණෙ. ලිපි ලේඛන මත රඳා පැවතීම බටහිරයන්ගෙ, විශේෂයෙන් ම ඉංගිරිසින්ගෙ වැඩක්.

 

අපට ලිපි ලේඛන නැති බවක් නොවෙයි ඉන් කියැවෙන්නෙ. ලෝකයෙ කාටවත් නැති විධියට අපට ඉතිහාස පොතක් තියෙනවා මහාවංසය කියලා. අද ඉන්න දෙමළ ජාතිවාදීන්ට මුස්ලිම් අන්තවාදීන්ට පමණක් නොවෙයි ජී සී මැන්දිස්වාදීන්ටත් ලොකුම ප්‍රශ්නය මහාවංසය. මහාවංස විරෝධය  සිංහල බෞද්ධ විරෝධයේ ලක්‍ෂණයක්. මාත් මහාවංසයෙ අඩුපාඩු දකිනවා. ඒත් ඒ සිංහලත්වය තවත් තහවුරු කරන්නට හා සිංහල බෞද්ධ විරෝධීන්ට කිසිම ඉඩක් නොතැබීම සඳහා ඒ අඩුපාඩු මකා දැමීමට. බුදුබණ ග්‍රන්ථාරුඪ කෙළෙත් ලංකාවෙ වළගම්බා රජුගෙ කාලෙදි. මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ ග්‍රන්ථාරූඪ කෙළෙ සිංහල භාෂාවෙන් කියලා. මිහිඳු මහා රහතන් වහන්සෙ ධර්මය දේශනා කෙළෙත් සිංහලෙන් මිස වංගයෙන් හරි මාගධියෙන් හරි නෙවෙයි. අපේ හෙළ අටුවා ගැනත් ඉතිහාසයෙ සඳහන් වෙනවා.

 

මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නෙ සෙල්ලිපි සාහිත්‍යයට අමතර ව අපට ලේඛන කලාවකුත් තිබුණ කියන එක. ඒත් අප ලිපි ලේඛන මත පෞද්ගලික ව රඳා පැවතුණෙ නැහැ. සංදේශ කාව්‍ය ලියන්න පටන් ගත්තෙ කෝට්ටෙ යුගයේ. කෝට්ටෙ යුගයෙ අපේ ඉතිහාසයෙ සිද්ධ වෙලා තියෙන දේ ගැන නිසි අධ්‍යයනයක් කෙරිලා නැහැ. මුස්ලිමුන් මෙන් ම කතෝලික පෘතුගීසීන් ද ආවෙ මේ කාලෙ. ඒ වගේ ම කේරළය පැත්තෙන් පැමිණි ඇතැම් පිරිස් සිංහල සංස්කෘතියේ කුලවලට අවශෝෂණය වෙලා තියෙන්නෙත් ඒ කාලෙ. ඔවුන් කේරළෙන් පැමිණියත් දැන් ඔවුන් සිංහල වෙලා. කිසිවකු නිකමටවත් කේරළේට නෑ ගම් යන්නෙ නැහැ. අපට ඉඳිආප්ප, පිට්ටු, අච්චාරු ආදී කෑම වර්ගත් කේරළෙන් ලැබුණෙ ඒ කාලෙ. පෘතුගීසීන් ද එයට සම්බන්ධයි කියා හිතන්න පුළුවන්. කේරළෙ ඉඳිආප්ප තියෙන්නෙ උතුරෙ. ගෝව තියෙන උත්තරාංශකයට උතුරෙන්. මා ඒ බව දැන ගත්තෙ කේරළයට ගිය ගමනෙ.

 

ඒ නෑයන් බලන්න නොවෙයි. අපේ මුත්තලා ලංකාවට ඇවිත් තියෙන්නෙ බොහොම ඉස්සර. ඨකුර කියල සෙනෙවියෙක් රාජස්ථාන පැත්තෙන් ඇවිත් තියෙන්නෙ. එය මහාවංසෙත් සඳහන් වෙනවා. අපේ පෙළපත ඨකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ. මගේ සහ සහෝදරයන්ගෙ දරුවො දේවාදිත්‍ය නමින් හැඳින්වෙන්නෙ. මගේ මුණුබුරාලත් දේවාදිත්‍යලා. මාත් ඉඳහිට දේවාදිත්‍ය නම යොදා ගන්නවා. පසුගිය දා නේචර් සඟරාවෙ කළු කුහර ගැන ලියු පුර්ව මුද්‍රිතයක් (pre print : The Structure of Black Holes) පළ කෙළෙ නලින් ද සිල්වා දේවාදිත්‍ය නමින්. ඒ ලිපිය සවිස්තරව ලියන්න ඕන. ඉන් කියැවෙන්නෙ කළු කුහර කියන්නෙ පෘෂ්ඨ වර්ගයකට කියලා. එහි ඇති කුහරයක් නැහැ. ඨකුරාර්ථ කොටස එන්නෙ ඨකුරගෙන්. අපි ද සිල්වාල වුණෙ පෘතුගීසි කාලෙ. අපේ පෙළපතේ බහුතරය ඉන්නෙ මොරටුවෙ. ඔවුන් කතෝලික. පාණදුරේට ගිය මුත්තෙක් බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන. ඔවුන්ගෙන් පැවත එන අය බෞද්ධ. පාණදුරේ ලිඳමුලගෙ අය බෞද්ධ. මොරටුවෙ ලිඳමුලගෙ අය කතෝලික.  

 

බොහෝ දෙනා හිතන්නෙ කරාව දුරාව සලාගම කුලවල අය කෝට්ටෙ යුගයෙ කේරළයෙන් පැමිණි අය කියලා. ඒ කාලෙත් පැමිණි බව ඇත්ත. ඒ අය එවකටත් බස්නාහිර වෙරළෙ හිටපු කුලවලට අවශෝෂණය වෙලා. මොරටුවෙන් උතුරෙ ඉන්න කරාව අය කතෝලික. සමහර විට පෘතුගීසි කාලෙ ලංකාවට ආ අය කතෝලික වෙලා ම ආව වෙන්නත් පුළුවන්. මේ කොයි කවුරුත් කවදා ආවත් දැන් සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා. යමකුගෙ ජාතිය ජනවර්ගය නිර්ණය වෙන්නෙ ජෛවීය ව ජානවලින් නො වෙයි. සංස්කෘතියෙන්. මට නම් සීීකිමයෙන් මෙහි පැමිණ පැවිදි වූ මහින්ද හාමුදුරුවොත් සිංහල. නමුත් ඕල්කොට්තුමා සිංහලවත් බෞද්ධවත් නොවෙයි. 

 

මේ සමහර දේ අප නූතනත්වයට ගැලපෙන විට හදාගත්ත දේ. අපට තිබුණෙ පෙළපත් නාම හරි වාසගම් හරි. ඔය සර්නේම් කතාවක් අපට තිබුණෙ නැහැ. සර්නේම් කියන එක ඉංගිරිසින් යොදා ගන්නෙ නමේ අගට. ඉස්සර අප පෙළපත් නාමය යොදා ගත්තෙ නමේ මුලට. අද වෙන විට අප නමේ මුල තිබුණු පෙළපත් නාමය සර්නේම් කරල අගට යොදනවා. අපේ දරුවන් දේවාදිත්‍ය වෙන්නෙ එහෙමයි. මගේ මහප්පගෙ දරුවන් හා මුණුබුරන් මෙන් ම සීයගෙ සහෝදරයකුගෙ මුණුබුරන් මී මුණුබුරන් නමේ අවසානයට යොදා ගන්නෙ ලිඳමුලගේ යන්න. සීයගෙ සහෝදරයෙක් කලකට ඉස්සර සිංහලේ කඩුගන්නාවට ගිහින් තියෙනවා. ඔහුගෙන් පැවත එන අයකුට පිළිමතලාවෙ පොඩි කඩයක් තියෙනවා ලිඳමුලගේ ස්ටෝර්ස් කියලා. මා කඩේ යනවා නොවෙයි.  සමහර අවස්ථාවල අපි පෙළපත් නමේ ගේ වෙනුවට ගෙදර කියල යොදා ගෙන තියෙනවා. අහවල් ගෙදර අහවලා කියලා හඳුන ගන්න පුළුවන්. 

 

ඨකුරාර්ථ කියා නමේ අගට යොදා ගන්න කෙනෙක් ගැන මා අහල නැහැ. පෙළපත් නාමය නූතනත්වයට යටවෙලා නමේ අගට යොදා ගන්න අය විශාල පිරිසක් සිංහලයන් අතර ඉන්නවා. ගුරුගේ, අලුත්ගමගේ ඒ සඳහා උදාහරණ. අද නූතනත්වයෙ ගොවීන් අලුත්ගමගේ අළු කරනවා. පොළොන්නරුවට ගිය මෛත්‍රිපාලගෙ තාත්තා හිටිය නම් එහෙම කරන්නෙ නැහැ. ඒ අතර ඇතැමුන් නම අග පෙළපත් නාමය අතහරින බවක් ද පේනවා. ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ද සිල්වා , ද සිල්වා කොටස අත්හැරලා ද? නම අග පෙළපත් නාමය අත්හැරීම ඊනියා පශ්චාත්නූතනවාදී ද?

 

ඒ කුමක් වුණත් මෙරට පශ්චාත්නූතනවාදී අනුකාරකයන්ට මොකද වෙලා තියෙන්නෙ. ඔවුන් දැන් පශ්චාත් පශ්චාත් නූතනවාදී වෙලා ආපහු නූතනත්වය වැළඳ ගෙන ද? පශ්චාත්නූතනවාදී කාලෙ ඔවුන් නූතනත්වය පහු කරල ඉදිරියට ගිහින් පශ්චාත්නූතනවාදී කතා කිවුව. අද ඔවුන් නැවත නූතනත්වයට ආවඩනවා. ඔවුන් පස්සට ගිහිල්ල ද? සිංහලෙන් පශ්චාත් කියල පස්සටත් කියනවා පශ්චාත් පාර්ශ්වය වගේ තැන්වල.

 

මේ සමග ඇති කොඩිය දේවාදිත්‍ය ලිඳමුලගේ පෙළපතේ කොඩිය.  ඕල්කට්තුමා බෞද්ධ කොඩිය නිර්මාණය කරල තියෙන්නෙ මේ කොඩිය ආශ්‍රයෙන් කියල කියනවා.