History

Tuesday, 28 December 2021

ප්‍රශ්න දෙකකට පිළිතුරු දී උප කුලපතිවරයකු වරියක සමග ඡායාරූපයක් ගන්න

 

ප්‍රශ්න දෙකකට පිළිතුරු දී උප කුලපතිවරයකු වරියක සමග ඡායාරූපයක් ගන්න

 

මා විද්‍යාඥයකුවත් බුද්ධිමතකුවත් ජනමාධ්‍යවේදියකුවත් නො වෙයි. විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් එරටත් යුරෝපයේත් සංචාරය කර පැමිණි අයකු පමණයි. ජනමාධ්‍යවේදීන් මා කියන කිසිවක් ගණන් ගන්නේ නැහැ. මා ලියන කිසිවක් ඔවුන් තම උදෑසන මාධ්‍ය උපුටා දැක්වීම්වල දී කියවන්නේ නැහැ. ඔවුන් කියාවි මගේ ලිපි අදහස් මාධ්‍යයෙහි නැහැ කියා. ජඩමාධ්‍යවේදීන් මා කියන දෙයට ප්‍රචාරයක් දුන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡාවල දී මා කී දේ නැතුව වෙනත් අය කී දෙ ප්‍රචාරය කළා. මා නැගල යන ප්‍රකාශ හරි වැදගත් ප්‍රකාශ හරි කරන්නෙ නැතුව ඇති. අරුණ පුවත්පතට ලියන කාලයේදීත් ඔවුන් ඉන් උපුටා දැක්වූයේ නැහැ. මා දැන් අරුණට ලියන්නේ නැහැ. එහි ඉන්නේ ප්‍රබුද්ධයන්. ඔවුන් දෙවි දේවතාවුන්ට හිනහවෙන අග්‍රගණ්‍ය බුද්ධිමතුන්. මට ඔවුන් එක්ක හැප්පෙන්න බැහැ. දෙරණ අපේ දේ රැක ගන්නවා කියනවා. අරුණ අපේ දේට කෙලින් ම හිනහවෙනවා.

 

කොළඹ උපාධි කෝළම තව ඉවර නැහැ. කිසිවකු අර අතුරු නියම දෙන පාටක් නැහැ. මට දැන ගන්න ඕන පොඩි දෙයයි. එක් අයකුට එක ම උපාධිය අභිමුඛයේ හා අනභිමුඛයේ ලබා දෙන්නේ කිනම් අතුරු නියම යටතේ ද? අර පෙම්වතුන් විශ්වවිිද්‍යාල භූමියේ පින්තුර ගන්නව වගේ උපාධි කෝළමේදීත් පින්තුර ගන්න පුළුවන් ද? පෙම්වතියකට පෙම්වතුන් කී දෙනකු ඉන්න පුළුවන් ද? ඒ ගැන අතුරු නියමවල කියා තියෙනවා ද?

 

කොළඹ විශ්වවිද්‍යාලෙ තම ශත සංවත්සරය පවත්වල ඉවර ද? පේරාදෙණිය ඒක පවත්වන්නෙ නැත්තෙ ඇයි? 1921 දී පිහිටෙවුවෙ ලන්ඩන් විශ්වවිද්‍යලෙ උපාධි කඩයක්. 1942 දි එය ලංකා විශ්වවිිද්‍යාලෙ කියල විශ්වවිද්‍යාල තත්වයට උසස් කෙරුණා. 1969 වන තුරු ලංකා විශ්වවිද්‍යාලෙ කොළඹත් පේරාදෙණියෙත් පැවතුණා. ඒ නිසා 1921 සිට 1969 වන තුරු ඉතිහාසය කොළඹට මෙන් ම පේරාදෙණියටත් අයිතියි. මා දන්නා විධියට ලංකා විශ්වවිද්‍යාලෙ සියලු ලිපි ලේඛන තියෙන්නෙ පේරාදෙණියෙ. පේරාදෙණියෙ සීය සමරන්නෙ නැද්ද? ඔවුන් අර උපාධි කඩේ ගණන් ගන්නෙ නැද්ද?

 

ඒ කොහොම වුණත් මා උගතකු බුද්ධිමතකු නොවුණත් මට වෙලාවකට හිතෙනවා ජනාධිපතිතුමා ජනමාධ්‍යවේදීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පිහිටුවන්නෙ නැත්තෙ ඇයි කියලා. ජනමාධ්‍යවේදීන් උදේට පත්තර කියවන්න ඉඳ ගත්ත ම නැගිටින්නෙ සියලු ප්‍රශ්න විසඳලා. ඒ වුණත් වැඩක් නැහැ. දේශපාලනඥයන් හා නිලධාරීන් තවත් ප්‍රශ්න ඇති කරනවා. ජනමාධ්‍යවේදීන්ට ඒවත් විසඳන්න වෙලා. මේකත් සංසාර චක්‍රය වගේ ඉවරයක් නැහැ.

 

මට උගතුන්ගෙන් අහන්න තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා. කලින් අහපු ප්‍රශ්න මටත් මතක නැහැ. කමක් නැහැ මගේ මතකය දුර්වලයි.  මගේ අද පළමු ප්‍රශ්නය මෙසේයි. අපට විශ්වවිිද්‍යාලයක් දීමට 1942 වන තුරු ඉංගිරිසින්ට අවශ්‍ය වුණෙ නැත්තෙ ඇයි? ඔවුන් යැන්ගොන් විශ්වවිද්‍යාලය පිහිටෙවුවෙ 1920 දි. කොල්කතා නැත්නම් කල්කටා විශ්වවිිද්‍යාලයත් චෙන්නායි නැත්නම් මදුරාසි විශ්වවිද්‍යාලයත් පිහිටෙවුවෙ 1857 දි තරම් ඈතක. එකල රාජකීය විද්‍යාලෙ මේ විශ්වවිිද්‍යාලවලට සිසුන් පුහුණු කෙරුවා. ඉංගිරිසින් අපට මැතක් වන තුරු විශ්වවිද්‍යාලයක් දුන්නෙ නැත්තෙ ඇයි?

 

ඒත් ඉංගිරිසින් අපට වෙනත් කිසිවකුට දෙන්න ඉස්සෙල්ල සර්වජන ඡන්දය දුන්නා 1931 දි. අප තමයි ආසියාවෙ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රට. කාටද ආඩම්බරේ. ඔවුන් ඉන්දියාවට විශ්වවිිද්‍යාල දුන්නට සර්වජන ඡන්දෙ දුන්නෙ නැහැ. ඉන්දියාවෙ සර්වජන ඡන්දය ක්‍රියාත්මක වන්නෙ 1950 ඉඳන්. ඒ ඉන්දියාව ජනරජයක් වුණාට පස්සෙ. එංගලන්තෙත් ස්ත්‍රීන්ට ඡන්දය ලැබුණෙ 1928 දි. ඕස්ත්‍රේලියාව තමයි ස්ත්‍රීන්ට ඡන්දය ලබා දුන් ප්‍රථම රට. ඒ 1902 දි. ඒත් සුදු ස්ත්‍රීන්ට පමණයි. එහි සර්වජන ඡන්දය ක්‍රියාත්මක වෙන්නෙ 1967 ඉඳන්. ඉන් පස්සෙ කාලයක් යන තුරු යමකු රටවැසියෙක් නූණත් පොදුරාජ්‍ය මණ්ඩලයෙ රටක වැසියෙක් නම් ඡන්ද බලය හිමි වුණා. ඒ අනුව 1975 පවත්වපු ඡන්දෙදි මාත් ඡන්දය දුන්නා . 1975 දි කර් අග්‍රාණ්ඩුකාරයා විට්ලම් පන්නල ෆ්‍රේසර් අගමැති කළා. මා විට්ලම්ගෙ කම්කරු පක්‍ෂෙට ඡන්දෙ දුන්නා. ෆ්‍රේසර්ගෙ පක්‍ෂෙ දිනුවා.

 

එංගලන්තෙත් ඒ දවස්වල පොදුරාජ්‍ය මණ්ඩලයෙ රටවල රටවැසියන්ට ඡන්දෙ තිබුණා. 1970 දි මා කම්කරු පක්‍ෂෙට ඡන්දෙ දුන්නා විතරක් නොවෙයි බ්‍රයිටන්හි ඡන්ද ව්‍යාපාරයෙත් යෙදුණා. මා නිසා අනෙක් පැත්තට ඡන්ද හැරෙන්න ඇති. බ්‍රයිටන් දකුණු එංගලන්තෙ කොන්සර්වෙටිව් පැත්තක්. ඒ ඡන්දෙත් කම්කරු පක්‍ෂෙ පැරදුණා. හැරල්ඩ් විල්සන් පැරදිල එඩ්වර්ඩ් හීත් දිනුවා. සසෙක්ස් විශ්වවිිද්‍යාලෙ ලේබර් සමාජයෙ ඉංගිරිසි ජාතික නායකයා පස්සෙ කාලෙක ජාත්‍යන්තර විප්ලවය වෙනුවෙන් වෙනිසියුලාවට ගිහින් චාවේස්ගෙ උපදේශකයෙක් වුණා. ඔය චාවේස්ලා චිලියෙ අයියන්ඩෙලා බොරික්ලා එනවා යනවා. ඒත් විප්ලවය එන්නෙ නැහැ. චිලියෙ අයියන්ඩෙ ආවත් ලංකාවෙ විජේවීර ආවෙ නැහැ. බොරික් ගැනත් කියන්න තියෙන්නෙ එවැන්නක්.

 

ඒ මොකක් වුණත් මගේ ප්‍රශ්න දෙකට උත්තර බඳිනවා ද? පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් අරවාදීන් මේවාදීන් සියල්ලන්ට ම ප්‍රශ්නය විවෘතයි. ප්‍රශ්න දෙක නැවත කියන්නම්. ඉංගිරිසින් අපට අනෙක් අයට කලින් සර්වජන ඡන්දය දුන්නෙ ඇයි? අපට මැතක් වන තෙක් විශ්වවිද්‍යාලයක් දුන්නෙ නැත්තෙ ඇයි? නිවැරදි පිළිතුර පළමුවෙන් එවන තැනැත්තාට හෝ තැනැත්තියට හෝ තමන් කැමති උප කුලපතිවරයකු වරියක සමග ඡායාරූපයකට පෙනී සිටීමට සලස්වනවා. එහෙම කැමැත්තක් නැත්නම් කරන්න දෙයක් නැහැ.   මොකෝ මා එක්ක පින්තුර ගන්නැයි.