History

Thursday, 2 December 2021

ගෑස් පිපිරීමට වැරදිකරු බෙංගාල බොක්ක ද?

 

ගෑස් පිපිරීමට වැරදිකරු බෙංගාල බොක්ක ද?

 

මේ වන විට ගෑස් පිපිරීමට හේතුව කාටත් තේරෙනවා. ලිට්රො සමාගම හැසිරෙන විධියට මතක් වෙන්නෙ ගලේ පහරපු බළලා. සමාගම මෑතක දී වෙළෙඳපොළට නිකුත් කළ ගෑස්වල සංයුතිය කලින් සංයුතියට වඩා වෙනස් බව පැහැදිලියි. ඒ බව වහන්න සමාගමට බැරි බවත් පැහැදිලියි.

 

ගෑස් සංයුතිය ගැන මට තේරෙන්නෙ නැහැ. මටත් පුළුවන් කියන්න අරකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි කියලා. ඒක තේරුම් ගැනීමක් හැටියට මා සලකන්නෙ නැහැ. ගෑස් සමාගම කියනවා ගෑස් සිලින්ඩර පුපුරල නැහැ කියල. ඒක ඇත්ත. ඒ වුණාට මිනිස්සු ගන්නෙ හිස් සිලින්ඩර නො වෙයි. ගෑස් සිලින්ඩර. ගෑස් පුපුරන්නෙ නැහැ කියලත් කියන්න පුළුවන්. ගෑස් ගිනි ගන්නවා. අර සමහර තැන්වල ගෑස් සිලින්ඩර ගෙයින් පිටතට ගෙනිහින් පත්තු කරලත් පෙන්නුවා. කිසිම පිපිරීමක් වුණෙ නැහැ. යස අගේට ගෑස් ගිනි ගත්තා.

 

මහා පිපිරුමත් එක්ක ගත්ත ම ගෑස් පිපිරීම මොකක් ද කියලත් හිතෙනවා. ඒත් බටහිර තාරකා විද්‍යාඥයො කියන්නෙ ජීවය ඇති වෙන්නත් හේතුව මහා පිපිරුම කියලා. ගෑස් පිපිරීමෙන් නම් ජීවිත හානි සිදුවෙන්නත් පුළුවන්. ගෑස් කාන්දු වෙලා භාණ්ඩ අසල ගින්නක් හට ගත්තොත් ඒ භාණ්ඩ පිපිරෙන්න පුළුවන්. කැකිල්ලෙ රජ්ජුරුවො නැති එක ප්‍රශ්නයක්. හිටිය නම් ඒ ලිප් ඇතුළු භාණ්ඩ නිපදවූ අයට දඬුවම් කරල ප්‍රශ්නය විසඳන්න තිබුණා.

 

ඒ කොහොම වුණත් වෙනදා නැති විධියට ගෑස් කාන්දු වෙන බව පැහැදිලියි. ගෑස් කාන්දු වෙන්නෙ යාමකයෙන් (regulator) හරි වෙනත් උපාංගවලින්. ගෑස් සමාගම අපට කියනවා අවුරුදු දෙකෙන් දෙකට ඒ උපාංග මාරු කරන්න කියලා. එහෙම නැත්නම් ගෑස් කාන්දු වෙන්න පුළුවන් කියලා. අපේ ගෙදර මා හිතන විධියට ඔය උපාංග දැන් අවුරුදු විස්සක් විතර පාවිච්චි කරල තියෙනවා. ඒත් මුකුත් වුණෙ නැහැ.

 

අපි දැනට පාවිච්චි කරන්නෙ කලින් තිබුණු ගෑස් සිලින්ඩරයමයි. අප සතියකට පමණ පෙර අලුත් සිලින්ඩරයක් ගත්තත් තවම ඒක පාවිච්චියට ගත්තෙ නැහැ. ඇත්ත කියන්නම් පාවිච්චියට ගන්නත් ටිකක් බයයි. පඬි නැට්ටන් අහන්න පුළුවන් අප දර ලිපේ උයන්නෙ නැතිව  ගෑස් ලිපේ උයන්නෙ මොක ද කියලා.පඬි නැට්ටන් අපට කිවුවෙ බරකරත්තෙන් අනුරාධපුරයට යන අය කියා. පඬි නැට්ටන්ට අමතක වුණු කාරණයක් තමයි අනුරාධපුරයෙත් නාගරික සංස්කෘතියක් තිබුණු බව.

 

අප දර ලිපෙත් උයන වෙලාවල් තියෙනවා. පොළොස් මාළුවක් දර ලිපේ ඉව්ව ම රසයි. අපට දර ලිප ගෑස් ලිප මෙන් ම විදුලි ලිපත් තියෙනවා. ඒ ඒ ආහාර ඒ ඒ ලිප්වල උයනවා. අප උයනව කිවුවට මා උයන්නෙ නැහැ. ඔය පොල් ටිකක් ගාලා දුන්න එක තමයි කෙරුවෙ. අත ඇණුනට පස්සෙ ඒක කරන්නෙත් නැහැ.  කාන්තා විමුක්ති සංවිධාන අපේ ගෙදරට කඩා වදින එකක් නැහැ කියල හිතනවා.

 

ඉස්සර නැති විධියට දැන් උපාංගවලින් ගෑස් කාන්දු වෙන්නෙ ඇයි?  එය දැන ගන්න ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණ කරන්න අවශ්‍ය වෙයි ද? මොන පරීක්‍ෂණයටත් පරීක්‍ෂාවටත් මුලින් ම අදහසක් නැත්නම් කතන්දරයක් තියෙන්න ඕන. මහා පිපිරුමටත් මගෙත් වසන්ත කටුගම්පොළගෙත් කතාවක් තියෙනවා. ඒ කතාව ඊනියා කළු කුහරවලටත් වැඩ කරනවා. ඒ කතාවේ මූලික හරය තමයි අවකාශයත් සංකෝචනය වන විට අවකාශ පීඩනය වැඩි වෙන බවත් එය ඉතා වැඩි වුණා ම (අනන්ත තත්වයකට) අවකාශය ප්‍රසාරණය වෙන බවත්. එහෙමත් නැත්නම් අවකාශය විකර්ෂණය වෙන බව. ඒ කතාව පස්සෙ වෙලාවක කියන්නම්.

 

ගෑස් පිපිරීම පිළිබඳවත් මට කතන්දරයක් තියෙනවා. ඒ කතාව පටන් ගන්නෙ එකමත් එක කාලෙක ගෑස් හිඟයක් තිබුණු දවස්වල. ගෑස් සමාගමට ගෑස් ගේන්න අවසර ලැබුණ ම ඉතා ඉක්මණට ගෑස් ආනයනය කළා. මේ ගෑස් යුරෝපයේ ශීත සෘතුවට ගැලපෙන විධියට හදපු ද්‍රව මිශ්‍රණයකින් ලැබෙනව කියල හිතනවා. ඒ මිශ්‍රණයෙන් ලැබෙන ගෑස්වල පීඩනය වැඩියි. එත් ඒ පීඩනය නිසා සිලින්ඩරය පුපුරා යන්නෙ නැහැ.

 

අප කලින් යොදා ගත්තෙ එහෙම නැත්නම් ගෑස් සමාගම අපට විකුණුව  මිශ්‍රණයෙන් ලැබුණු ගෑස්වල පීඩනය අඩුයි. ඒ පීඩනයට ඔරොත්තු දෙන විධියට තමයි අපේ උපාංග සකස් වෙලා තිබුණෙ. ඒත් දැන් අර හදිසියට ගෙනා ගෑස්වල පීඩනය වැඩියි. අප සතු උපාංග ඒ පීඩනයට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ නිසා ඇතැම් යාමකවලින් සහ අනෙක් උපාංගවලින් ගෑස් කාන්දු වෙන්න පුළුවන්. ලිප පත්තු කරන්න ගියහ ම හරි විදුලි පරිපථයක් ආවරණය නැති ව තිබුණ ම හරි වෙනත් හේතුවක් නිසා හරි ගිනි ගෙන භාණ්ඩ පිපිරෙන්න පුළුවන්. 

 

ඒ කතාව වැඩ කරන එකක් නම් ගෑස් සමාගම අපට පසුවවත් කියන්න තිබුණා අධි පීඩනයට ඔරොත්තු දෙන උපාංග ගන්න කියලා. ඔය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ වැස්සට පස්සෙ බෙංගාල බොක්කෙ අධි පීඩන තත්වයක් තියෙනවා කුඩ අරගෙන යන්න කියා. ඒත් ගෑස් සමාගම මේ වනතුරුත් එහෙම කියන්නෙ නැහැ. මා කියන්නෙ ගෑස් ගෙන්වීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පවරන්න කියන එක නො වෙයි. ගෑස් සමාගම සේවයක් හැටියට ඒ අදාළ උපාංග ජනතාවට ලබා දෙනවා ද? අඩු ගණනෙ මිල දී ගන්න සලස්වනවා ද? ඒකට එච්චර ඩොලර් අවශ්‍ය වෙන එකක් නැහැ. එහෙමත් නැත්නම් බෙංගාල බොක්කෙ පීඩනය වැඩියි කියනවා ද?

 

මා හිතන්නෙ නැහැ ගෑස් සමාගමට විරුද්ධ ව නඩු පවරන්න තරම් අපේ නීතිය ශක්තිමත් කියල. අඩු තරමෙන් ගෑස් ප්‍රමිතිය නියාමනය කරන්නවත් අපට ක්‍රමයක් නැහැ. ප්‍රමිති ආයතනය කියන්නෙ ඔවුන්ට සිලින්ඩරවල නම් ප්‍රමිතිය නියාමනය කරන්න පුළුවන් කියා. වෙන දෙයක් බැරි නම් ඒකවත් කරන එක හොඳයි. අප බටහිරයන් කරන විධියට කළාට, ඉව්වට කෑවට බිව්වට අපට ඔවුන්ට මෙන් නියාමන ක්‍රම නැහැ. අපේ ගෙවල්වල විදුලි රැහැන් එල්ලි එල්ලි තියෙනවා පමණක් නොව පාරෙත් ඒ රටාවට රැහැන් එල්ලෙනවා දකින්න පුළුවන්. සයින් ඝාතීය පරාවලිත ආදී රටා දැක ගන්න පුළුවන්.

 

අප බටහිරයන්ගෙ දේ අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගෙන නැහැ. අප කරන්නෙ අනුකරණය පමණයි. අපේ ඊනියා උගතුන් කරන්නෙත් එපමණයි. අපට බෙංගාල බොක්කෙ පිහිටයි.