History

Thursday, 13 January 2022

නිවුටන් සකර්බර්ග් හා දෙවියන්

 

නිවුටන් සකර්බර්ග් හා දෙවියන්

 

ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය අයිතිකරුවන් මෙන් ප්‍රබුද්ධයකු නොවූ මට අප්‍රබුද්ධ සිතුවිලි සිතට එනවා. ඒ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ කුලපති පත්වීම උපහාසයට හා අපහාසයට ලක්කරමින් එයට විරුද්ධත්වය දැක්වූ සියයට දශම තුනේ නැත්නම් දාහට තුනේ විස්තරය පෙන්වා උන්වහන්සේට උපහාර දැක්වීමේ උත්සවය නොපෙන්වූයේ ඇයි ද යන්න ගැන පමණක් නො වෙයි. ඒ අවස්ථා දෙක ම දේශපාලනිකයි. එක් අවස්ථාවක් පෙන්වා අනෙක් අවස්ථාව නොපෙන්වීමෙන් ජනමාධ්‍ය සහාය දෙන්නේ කාහට ද යන්න පැහැදිලි වුණා. සුනිල් පෙරේරාගේ හා ඩෙස්මන්ඩ් ද සිල්වාගේ අභාවයන් ගැන ශෝක වූ ජනමාධ්‍ය ඩග්ලස් වික්‍රමරත්න මියගිය බවක්වත් සඳහන් කෙළේ නැහැ. ජනමාධ්‍යයේ ඉන්නේ ප්‍රබුද්ධයන්.

 

ජනමාධ්‍යවේදීන් හා වේදිනියන් වැඩ කරන්නේ විිද්‍යාත්මක ව. ඔවුන් ජනමාධ්‍යට ම කියන්නේ තමන් විද්‍යාත්මක ව වැඩ කරන බවයි. විිද්‍යාත්මක ව වැසිකිළි යන කෙනෙක් ඉන්නවා ද? ජනමාධ්‍යවේදීන් විිද්‍යාත්මක ක්‍රමය කියා එකක් ගැන කියනවා. පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන තමයි ඒ කියන ක්‍රමය. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය ප්‍රබුද්ධයන් වැඩි කම. මා හිතන්නේ ජනගහනයට වඩා ප්‍රබුද්ධගහනය වැඩිය කියා. එසේ වන්නේ කෙසේ ද කියා ප්‍රබුද්ධයකුගෙන් ම අහන්න.

 

මගේ අප්‍රබුද්ධ සිතට පසුගිය දා ආ සිතුවිල්ලක් වූයේ බෞද්ධයන් බුදුදහම විද්‍යාත්මක යැයි කෑගහද්දී ක්‍රිස්තියානිය විිද්‍යාත්මක යැයි නොකියන්නේ ඇයි ද යන්න. ප්‍රබුද්ධයකු කියන්න ඉඩ තියෙනවා එයට හේතුව බුදුදහම විිද්‍යාත්මක වුවත් ක්‍රිස්තියානිය එසේ නොවීම කියා. මා දන්නා තරමින් කිතුණුවන් කරන්නේ විද්‍යාව හා ක්‍රිස්තියානිය එකිනෙකට පටහැණි නොවන බව පෙන්වීමයි. කසිකබල් මාක්ස්වාදී අදහස්වලින් පමණක් තම හිස් හිස් පුරවා ගැනීමට වෑයම් කරන්නවුන් නම් ඇතැම් විට දෙවියන් වහන්සේ මිනිසා මවා නැත, ඒත් මිනිහා දෙවියන් වහන්සේ මවා ඇත යන පට්ටා ගැසූ කතාව කියනවා. මෙහි පට්ටා යන්න යොදා ගන්නේ බොහෝ කලකට පෙර භාවිතා වී  වසර කිහිපයක සිට නැවතත් යොදා ගන්නා අරුතින් නො වෙයි. බටහිර මාක්ස්වාදීන් පට්ටා ගසා ඇති මේ කතාව අහුලා ගන්නා මෙරට ප්‍රබුද්ධයන් තම පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීමට තැන නොතැන නොබලා එය වදාරණවා. මෙරට ඇත්තේ දර්ශන අධ්‍යයනාංශයක් නොව ප්‍රදර්ශන අධ්‍යයනාංශයක් ය යන කියමන සිහිවෙනවා. අප්‍රබුද්ධයකු වූ මට නම් දෙවියන් වහන්සේ පමණක් නොව ඊනියා වාස්තවික යථාර්ථයත් මිනිසුන්ගේ නිර්මාණ. මෙයින් කියැවෙන්නේ නැහැ සම්මුති වශයෙන් දෙවියන් නැති බවක්.

 

ක්‍රිස්තියානිය හා බටහිර විිද්‍යාව පටහැණි නොවන බව කී ප්‍රධානියකු වන්නේ කේම්බ්‍රිජ් විශ්වවිිද්‍යාලයේ ගණිතමය භෞතිකවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ජෝන් පෝකින්හෝන්. ඔහු තම මහාචාර්ය ධුරයෙන් ඉවත් වී ඇංග්ලිකන් ක්‍රිස්තියානි පූජකවරයකු ව සිට පසුගිය වසරේ අනූහය වියේ දී මිය ගියා.  කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ම සිටි අයිසැක් නිවුටන් මිය යන තුරුම ක්‍රිස්තියානි භක්තිකයෙක්. නිවුටන්ට වුවමනා කෙළේ දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය තේරුම් ගැනීමට. 

 

නිවුටන් බටහිර විිද්‍යාවට වියුක්ත ප්‍රවාද නැත්නම් කතන්දර හඳුන්වා දුන්නා. දත්ත නැත්නම් විස්තර රාශියක් එක් කතන්දරයකින් පමණක් ප්‍රකාශ කරන්නේ කෙසේ ද යන්න ඔහු කියා දුන්නා. විවිධ ගෙඩි පොළොවට වැටෙන්නේ ඇයි ද යන්න කීමට ඔහු තම සුප්‍රසිද්ධ ගුරුත්වාකර්ෂණ කතාව කිවුවා. මේ කතාව යොදා ගෙන නටුවෙන් ගිළිහුණු පොල් ගෙඩි හා ඇපල් ගෙඩි පමණක් නොව බෙල්ලෙන් වෙන් කෙරුණු ඔළු ගෙඩි ද පොළොවට වැටෙන්නේ කෙසේ දැයි විස්තර කිරීමට ඔහුට හැකි වුණා. එහෙත් එහි පොඩි වෙනසක් තියෙනවා. පොල් ගෙඩියක් වැටුණු පමණින් පොල් ගහ ඇද වැටෙන්නේ නැහැ. එහෙත් ඔළු ගෙඩිය වැටුණොත් කඳ ද වැටෙනවා. ශ්‍රී ල නි ප කවන්ධයක් නො වෙයි. එයට හිසක් තිබුණා. මෛත්‍රිපාල හිස වෙන් කළා. කඳ ද කඩා වැටුණා. එය කඩන් වැටුණෙ මෛත්‍රිපාලගෙ කඳ මත. ඔහුටත් දැන් නැගිටින්න බැහැ. නැගිටින්න බැරුව ඔහු කෑ ගහනවා.

 

නිවුටන්ගෙ කතාව කොතරම් සාර්ථක වුණා ද කියනවා නම් බටහිරයන්ට එය කතාවක් බව අමතක වුණා. එය ඊනියා වාස්තවික යථාර්ථයක් බවට පත් වෙලා. දැන් බලන් යනකොට ඊනියා වාස්තවික  යථාර්ථයේ පියා අයිසැක් නිවුටන්. නිවුටන් කෙළේ ගෙඩි වැටීමට ඊනියා හේතුවක් නිර්මාණය කිරීමයි. එහෙමත් නැත්නම් සිද්ධි ගණනාවක් එක් දෙයකට ඌනනය කිරීමයි. මෙයට බටහිරයන් ඌනිතවාදය කියනවා. චම්පක රණවක එකල ඌනිතවාදය ගැන උනන්දුවක් දැක්වුවා. අද ඔහුගේ කීර්ති කදම්බය හරි මොකක් හරි තදබල රෝගයකට ඌනනය වෙලා.

 

බටහිර විිද්‍යාවෙ ඔය කතන්දර වැඩේ යම් ප්‍රමාණයකට හරි හොඳින් වැඩ කරන්නෙ භෞතික විද්‍යාවෙදි. රසායන විද්‍යාවෙදි තරමක් වැඩ කරනවා. ඉන් පස්සෙ කෘත්‍රිම ව වැඩ කරවනවා. ඊනියා සම්පරීක්‍ෂණ ක්‍රමය තමයි එහි දී යොදා ගැනෙන්නෙ. අහවල් සංසිද්ධියට හේතුව අහවල් දේ කියල කියන්න ජෛවීය විද්‍යාවන්හි සම්පරීක්‍ෂණ  ක්‍රමය යොදා ගන්නවා. එහෙත් එය සාර්ථක නැහැ. සංසිද්ධියකට හේතු ගණනාවක් තියෙනවා. භෞතික විද්‍යාවෙත් තියෙනවා. ඒත් එහි දී එක් හේතුවක් බලවත් වෙනවා. එවිට යම් ප්‍රමාණයකට සාර්ථක වියුක්ත කතා ගොතන්න පුළුවන්.

 

පොල් ගෙඩියයි පිහාටුවයි එක ම විධියට නො වෙයි වැටෙන්නෙ. පිහාටුව තරමක් හුළඟෙ පාවෙනවා. රුපියල පා කරන්නෙ කොහෙද දන්නෙ නැහැ. රුපියලට නොයෙකුත් හුළං බලපානවා. පොල් ගෙඩියටත් හොඳ සැඩ සුළඟක් ආවොත් ටිකක් ඈතට ගහගෙන යන්න පුළුවන්. එතකොට නිවුටන් කියනවා පොල් ගෙඩි තමා කියන විධියට වැටෙන්නෙ රික්තයක කියලා. ඒ කියන්නෙ ඔහු අනෙක් හේතු සියල්ල නැති කරනවා කියන එක.

 

ඔය අනෙක් හේතුවල බලපෑම ජෛවීය විද්‍යාවන්හි නැති කරන්න ක්‍රමයක් දැන් හදාගෙන. එහි ප්‍රතිඵලයක් තමයි රසායනික පොහොර හා බීජ නිර්මාණය කිරීම. බීජ නිර්මාණය කරනවා යම් පොහොරවලට පමණක් සංවේදී වෙන. වෙනත් පොහොරක් දැම්මොත් ගහ මැරෙනවා. ඒක කෘත්‍රීම ව ඒක හේතුවාදයක් නිර්මාණය කරල ස්වභාව ධර්මයෙන් ඈත්වීම. ගහ හැදිලා අස්වැන්නක් ගන්න නම් අහවල් පොහොර දාන්න ඕන. පිහාටුව නිවුටන් කියන විධියට වැටෙන්න නම් රික්තයක අතහරින්න ඕන. නැත්නම් පිහාටුවත් ඒ සමග රුපියලත් පාවෙනචා. රුපියල් පා කරන්නෙ බටහිරයන්ගෙ කතන්දර අනුව බව අමතක කරන්න එපා.

 

මා ඊයේ ප්‍රවාදවල වටිනාකම යනුවෙන් ලියූ ලිපියෙහි ප්‍රවාදවලට නැත්නම් කතන්දරවලට තිබූ වැදගත්කම නැතිවෙමින් පවතින බව කියන ලිපියකට යොමු කර තියෙනවා. එහි කියනවා නිවුටන්ගෙ  සිට සකර්බර්ග් දක්වා බටහිර දැනුම වෙනස්වෙලා තියෙනවා කියලා. ඊනියා කෘත්‍රිම බුද්ධිය සමග මිනිසුන් නැවතත් ප්‍රකෘති බුද්ධියට යනවා ද? කෘත්‍රිම බුද්ධිය ඇති කෙළේ නිවුටන් ද? ඉංජිනේරු හා වෛද්‍ය තාක්‍ෂණවල එයට බලපාන පසුබිම් විද්‍යාවන් තියෙනවා. ඉංජිනේරු ශිල්පයෙහි භෞතික විද්‍යාව හා යම් ප්‍රමාණයකට රසායන විද්‍යාව. වෛද්‍ය තාක්‍ෂණයෙහි ජෛවීය විද්‍යා, රසායන විද්‍යා හා දැන් දැන් භෞතික විද්‍යාව පදනම් කරගත් ඉංජිනේරු ශිල්පය.   

 

පරිගණක විිද්‍යාවට පසුබිම් වූ විද්‍යාව කුමක් ද? එහි ප්‍රවාද මොනවා ද? මා බොහෝ කලකට පෙර සිසුන්ට, විශේෂයෙන් ම මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට පරිගණක විද්‍යාවට තාප ගතික විද්‍යාවක්  විිද්‍යුත් චුම්බක විද්‍යාවක් වැනි විිද්‍යාවක් නැති බව කිවුවා. ඉතා ඉක්මණින් දත්ත තොරතුරු සමස්තය දැන ගැනීමට හැකි බැවින් දැන් ඊනියා කෘත්‍රිම බුද්ධිය වෙනත් ම මගකට යොමු වෙලා තියෙනවා. නිවුටන්ට වියුක්ත ප්‍රවාද අවශ්‍ය වුණෙ සමස්තය කෘත්‍රීම ව දැකීමට. සමස්තය දකින්න පුළුවන් නම් වියුක්ත ප්‍රවාද අවශ්‍ය නැහැ. ඒ සමස්තය දකින ක්‍රමයටත් කතන්දර අවශ්‍ය නැහැ. පරිගණක විද්‍යාවට වියුක්ත ප්‍රවාද අවශ්‍ය නැහැ.

 

අපට වියුක්ත ප්‍රවාද දිරවන්නෙ නැහැ. ඒත් මා හිතන්නෙ බටහිරයන්ගෙ දැනුම ගැන දැනගන්න වියුක්තය යම් ප්‍රමාණයකට හරි අවශ්‍යයයි.  අපේ සිසුන්ට පරිගණක විද්‍යාව තරමක් අල්ලල යන්නෙ එහි වියුක්ත ප්‍රවාද නැති නිසා. ඒ කුමක් වුණත් කිව යුතු තවත් කරුණු දෙකක් තියෙනවා. ඊනියා සමාජයීය විද්‍යාවන්හි කිසිම ප්‍රවාදයක් වැඩ කරන්නෙ නැහැ. එහි ඌනිතවාදය හරියන්නෙ නැහැ. සම්පරීක්‍ෂණ වෙනුවට සමීක්‍ෂණ කරනවා. නියැදි තෝරා ගැනීම, නියැදියකින් ගහණයට කතන්දර හැදීම ආදී ප්‍රශ්න රාශියක් එහි තියෙනවා. අද ඩොලර් අර්බුදයට ඊනියා ආර්ථික විද්‍යාඥයන්ට විසඳුම් නැහැ. රසායන විද්‍යාවෙන් ඇතට යත්ම කතන්දර වැඩ කරන්නෙ නැහැ.

 

දෙවැන්න සමස්තය දැකීමට (සංස්කරණය කිරීමට) ආධ්‍යාත්මික බුද්ධිය යොදා ගැනීම. තමන්ට ම ආධ්‍යාත්මක බුද්ධිය වැඩි දියුණු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවියන් සමග සන්නිවේදනය කරන්නත් පුළුවන්. ආධ්‍යාත්මික බුද්ධිය ඊනියා කෘත්‍රිම බුද්ධියට වඩා වැදගත් බව රාමනුජන්ගෙන් ඇහුව නම් කියන්න තිබුණා. ඒත් පඬි නැට්ටන්ගෙන් අහල වැඩක් නැහැ. ඔවුන්ට මේ ලිපිය තේරුම් ගන්න කිසිම බුද්ධියක් නැහැ.