History

Tuesday, 18 January 2022

ජනාධිපතිතුමාගේ කතාව හා දේශීය දැනුම

 ජනාධිපතිතුමාගේ කතාව හා දේශීය දැනුම

 

අප ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්කර ගත යුතුයැයි කීවේ ඔහුගේ යම් ජාතිකත්වයක් ඇති නිසාත් ඔහු රාජ්‍යාරක්‍ෂාව ලබා දීමට සමත් නිසාත්. ඒ මිසක් ඔහුට දේශීය දැනුමක් ගැන එතරම් විශ්වාසයක් ඇති නිසා නො වෙයි. අද පාර්ලිමේන්තුවේ දේශීය දැනුමක් ගැන විශ්වාස කරන මැති ඇමතිවරුන් සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනට වඩා අඩුයි. මැති ඇමතිවරුන් කිසිවකු දේශීය දැනුමක් ගැන අප සමග සාකච්ඡාවක් කිරීමටවත් කැමති නැහැ.

 

මේ පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සුදුසු තත්වයක නැති බව අප කියා සිටියේ පසුගිය පාර්ලිමේ න්තු මැතිවරණයට නොව ජනාධිපතිවරණයටත් කලින්. ඔවුන් දන්නේ බටහිරයන් විධියට හිතන්න නොව බටහිරයන් අනුකරණය කිරීම පමණයි. ඔවුන්ට තබා බටහිර දැනුම මෙරට බෙදා හරින විශ්වවිිද්‍යාලයීය හා පාඨශාලීය ගුරුවරුන්ටවත් හිතන්න බැහැ. අපේ පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුඵව සමස්ත අධ්‍යාපනය ම සකස් කෙරී ඇත්තේ දත්ත ගබඩා කරන්නන් හා ඊනියා ඉදිරිපත් කරන්නන් බිහි කිරීමටයි. ප්‍රස්තාර, වගු මූලාශ්‍ර තමයි ඔවුන්ගේ ආයුධ. ඔවුන් කරන්නේ තොරතුරු ඉදිරිපත් කිරීම පමණයි.

 

අද පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිතුමා කළ කතාවේ රාජ්‍යාරක්‍ෂාව හා ජාතිකත්වය තිබුණා. එය එක්තරා ආකාරයකට ජාතික චින්තනයේ කතාවක්. බටහිර දැනුම ගැන  විශ්වාසයක් සහිත ව එමගින් රට දියුණ කළ හැකිය යන ස්ථාවරයේ පිහිටා කරන ලද කතාවක්. ජනාධිපතිතුමාට  අනවශ්‍ය වියදම් කපා දැමීමට ඇති වුවමනාව රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන ඇති ගෞරවය හා විශ්වාසය කතාවෙන් හා චර්යාවෙන් කැපී පෙනුණා. රටේ කෘෂිකාර්මික වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළා. එතුමා කී ප්‍රධාන කරුණක් තමයි හරිත කෘෂිකර්මය කාබනික ගොවිතැන බවට වරදවා වටහා ගත් බව. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මය මිස කාබනික ගොවිතැන නො වෙයි. එහෙත් ආරම්භයක් ලෙස කාබනික ගොවිතැන අවධාරණය කෙරී තියෙනවා.

 

ඊනියා රසායනික කෘෂිකර්මය අප රටට ඔබින එකක් නොවෙයි. එය ක්‍රමානුකූල ව අත්නොහැරීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අද බටහිර කෘෂිකර්මය අපට බීජ සකස් කර ඒ බීජවලට සරිලන පොහොර හා පලිබෝධනාශක ද නියම කරනවා. ඒ බීජවලට වෙනත් පොහොරක් දැමීමෙන් ඇතැම් විට හොඳ අස්වැන්නක් ලබා ගන්න බැහැ. මෙහි දී අපට ඇති ප්‍රධාන ම බාධාව ඊනියා කෘෂිවිශේෂඥයන්. චීන කාබනික පොහොර ප්‍රශ්නයේ දී ඒ බව පැහැදිලි වුණා. ලංකාවේ කෙරුණු අදාළ ඊනියා පර්යේෂණය කාගේ වුවමනාවට කළ එකක් ද යන්න ප්‍රශ්නයක්. අපට පොහොරත් මුදලුත් නැතිවුණා. චීනය සමග  වූ මිත්‍රත්වයත් පළුදු වුණා.

 

දේශීය දැනුම හා බටහිර දැනුම අතර වෙනස පැහැදිලි කිරීමට හොඳ උදාහරණයක් තමයි පොහොර. පොහොර යන්න අප නිර්වචනය කරන්නේ කෙසේ ද? කෙටියෙන් කියනවා නම් පොහොර යනු මොනවා ද? පොහොර ගසට මෙන් ම පසට ද දෙන්න පුළුවන්. හෙළ ගොවිතැනේ දී ප්‍රධාන වශයෙන්ම පොහොර දෙන්නේ පසට. එයින් කියන්නේ ගසට ආධාරයක් නොකරන බව නො වෙයි.

 

බොහෝ බටහිර කෘෂිවිද්‍යාඥයන්ගේ පොහොරවලින් පස නිසරු වෙනවා. අද කුඹුරු ගොවිතැනට යොදන රසායනික පොහොරවලින් පස නිසරු වෙලා. ඒ පස නැවත හදන්නත් කන්න තුනක් පමණ යාවි කියා හිතනවා. බටහිර කෘෂිවිද්‍යාඥයන් පොහොර යනුවෙන් හඳුන්වන්නේ නයිට්රේට් ෆොස්ෆේට් ආදිය අඩංගු සංයෝජනවලට. එහෙත් හෙළ ගොවිතැනේ පොහොරවල ඒ තිබීම අනිවාර්ය නැහැ. මා දන්නා හෙළ ගොවිතැන ගැන උනන්දුවක් දක්වන පිරිසක් කෘෂිකාර්මික අමාත්‍යාංශයට ලබා දී ඇති පොහොර බටහිර කෘෂිවිිද්‍යාව අනුව පොහොර නොවේ යැයි කියමින් ඔවුන්ට මුදල් ගෙවීම අමාත්‍යාංශයෙන් ප්‍රතික්‍ෂප කෙරිලා. දේශීය දැනුමට ඇති සැලකිල්ල එයින් පැහැදිලි වෙනවා. අමාත්‍යාංශය දේශීය පොහොර ලබා ගෙන මුදල් නොගෙවන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයට යටවීමෙන්.

 

වෙදකම ගැනත් කිව යුත්තේ එවැනි දෙයක්. අද අප එන්නත දීම ගැන ආඩම්බරයෙන් කතා කරනවා. එහෙත් මා දන්නවා එන්නත නොගෙන දේශීය දැනුම හා ප්‍රතිකාර පමණක් යොදා ගෙන සුව වූ අය.  දේශීය වෛද්‍ය ආයතනවලට යොමු  වූ රෝගීන් අතිවිශාල ප්‍රතිශතයක් සුව වී තියෙනවා. අප ඔවුන් ගැන කතා කරන්නේ නැහැ. බටහිර රටවල අපේ රටේ තරම් එන්නත සාර්ථක වී නැත්තේ ඇයි ද යන්නට වෙනත් පිළිතුරු තියෙනවා ද කියා සෞඛ්‍ය බලධාරීන් හිතල තියෙනවා ද? ඔවුන්ට හිතන්න බැහැ.

 

අප කියන්නේ බටහිර දැනුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරන්න නො වෙයි. බටහිර දැනුම එක ම දැනුම බවට ඇති අධිපතිවාදී මතය හා බටහිර දැනුම් ආධිපත්‍යය අපි ප්‍රතික්‍ෂෙප කරනවා. අපට බටහිර දැනුම සංස්කරණය (නිර්මාණය)  කරන්න බැහැ. අප ඉන්නේ ඔවුන්ගේ චින්තනයේ නො වෙයි. අපට කළ හැක්කේ බටහිරයන්ගේ නිවේදන කියවීම පමණයි. අප එවැනි නිවේදන කියවන්නන් විශේෂඥයන් ලෙස සලකනවා. මා විද්‍යාඥයකු නම් නො වෙයි. එහෙත් මා ඉගෙන ගත්තෙත් ඉගැන්නුවෙත් ඊනියා පර්යේෂණ කෙළෙත් පත්‍රිකා ලිවුවෙත්  බටහිර විද්‍යාවෙ රැජන වූ බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවේ ඉහළින් ම ඇති සාධාරණ සාපේක්‍ෂතාවාදය (General Relativity) හා ක්වොන්ටම් භෞතිකය යන ක්‍ෂෙත්‍ර සම්බන්ධව. ඒ ක්‍ෂෙත්‍ර  අද කඩා වැටිලා. විශ්වයේ ශක්තියෙන් සියයට හැත්තැවක් පමණ වෙතැයි කියන අඳුරු ශක්තිය (Dark Energy) ගැන බටහිර භෞතික විද්‍යාඥයන් කිසිවක් දන්නේ නැහැ. ඒ සඳහා විමර්ෂණ කෙරෙන්නේ බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය ගැන මෙන් දින කිහිපයක සිට නො වෙයි. දශක ගණනාවක් තිස්සේ විමර්ෂණ කෙරෙනවා. කාදිනල්තුමා බටහිර භෞතික විද්‍යාව හදාරලා නැතුව වගෙයි.

 

අපට දක්‍ෂකම් ඇත්තේ ප්‍රවාදාත්මක විෂයයක් නොවූ පරිගණක විද්‍යාවෙහි හා ඒ ආශ්‍රිත ඊනියා කෘත්‍රිම බුද්ධියෙහි. එමගින් අපට ඩොලර් උපයන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒ ගැන අවධානය යොමු කරන එක නම් හොඳයි. ඒ විෂය අපේ විෂයක් බවට පත් කර ගනිමු. එය අපේ චින්තනය මත පදනම් වෙනවා. එහෙත් එයින් ක්‍ෂණික ව ඩොලර් උපයන්න බැහැ. එයට තරමක් කල් ගතවෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ඉක්මණින් ගමු.

 

ක්‍ෂණික ව අපට ඩොලර් උපයා ගන්නට අපට පිටරටවල ඉන්න ශ්‍රමිකයන් ගැන කල්පනා කරන්න වෙනවා. ඔවුන් බැංකු මගින් මුදල් එවීම ප්‍රතික්‍ෂෙප කරලා. අපි ඔවුන් අතර බැංකු ක්‍රමය ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන. ඩොලරයකට වැඩිපුර රුපියල් දහයක් පමණක් ගෙවා එය කරන්න බැහැ.