History

Sunday, 2 January 2022

පුංචි බණ්ඩ ගෙදර යන්නෙ නැහැ

 

පුංචි බණ්ඩ ගෙදර යන්නෙ නැහැ

 

මට ඊනියා මහජන නියෝජිතකමක් නැති වීම ගැන මා කණගාටුවෙනවා. එහෙම තිබුණ නම් මටත් කියන්න තිබුණ මා තනතුරු බලාගෙන ඉන්න අයකු නොවෙයි මහජන අපේක්‍ෂා ඉටු වෙන්නෙ නැත්නම් මා තනතුරු බල්ලට දාල ගෙදර යනව කියලා. සංස්ථා සභාපතිල ආණ්ඩුකාරවරු විදේශ අමාත්‍යාංශයෙ නිලධාරීන් නොවන  තානාපතිවරු ආදීන් කරන්නෙත් මහජන සේවයක්. ඔවුනුත් ඇමතිවරු වගේ ම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න සූදානමෙන් ඉන්නෙ. සමහරු හිතන්නෙ මා මියන්මා තානාපතිකම අත්හැරලා ගෙදර ඇවිල්ල කියලා. අපොයි නැහැ මා ගෙදර ආවෙ අසනීප වෙලා මරණයේ එළිපත්ත පාගන්න වුණ නිසා.

 

මට එක් වෙලාවක තානපතිකමෙන් අස්වෙන්න වුවමනාවක් තිබුණ. ඒ අර ධීවරයන් අත්අඩංගුවට ගත් වෙලාවෙ. මා ඒ කාලෙ නිදාගෙන හිටියෙ. ජඩමාධ්‍යවලින් ඇහුව තානාපති නිදි ද කියල. වැඩියෙන් ම ඇහුවෙ ඉංගිරිසියෙන් වැඩ කරන්නියන්.  ජඩමාධ්‍යවේදීන් කියන්නෙ ඔවුන්ට මහජනයා වෙනුවෙන් කරුණු අහන්න වරමක් තියෙනවා කියල. මා ඔවුන්ගෙන් ඇහුව මහජනයා ඔය වරම දීල තියෙන්නෙ කොහොම ද කියල. ජඩමාධ්‍යවේදීන් යම් ආයතනයක වැටුපට සේවය කරන්නන්. ඔවුන්ට වරමක් තියෙනව නම් ඒ ආයතනයේ අයිතිකාරයන්ගෙන් පමණයි.

 

ජඩමාධ්‍යවලට අවශ්‍ය ග්‍රාහක සංඛ්‍යාව වැඩිකර ගැනීම මිස ඊනියා මහජන සේවයක් නො වෙයි. මා ජඩමාධ්‍යවේදීන්ට උත්තර දෙන්න ගියේ නැහැ. මා නිදා ගත්තා. නින්දෙන් ඇහැරිලා බලන විට ධීවරයන් නිදහස් කෙරිලා. ජඩමාධ්‍යවේදීන් තානාපති නැගිටල ද කියල ප්‍රශ්න කෙළේ නැහැ. ඒ වෙලාවෙ නම් මට අස්වෙන්න වුමනාවක් තිබුණා. ජඩමාධවේදියකුට හරි වේදිනියකට හරි තානාපතිකම කරන්න ඉඩ දෙන්න. ඒත් ජනාධිපතිතුමා කිවුව එහෙම කරන්න බැහැ කියල.  මේ දිනවලත් ධීවරයන් පිරිසක් මියන්මාහි අත්අඩංගුවට පත්වෙලා. ජඩමාධ්‍යවේදීන් නිදි ද කොහේ ද?

 

දැන් නම් මට අස්වෙන්න තනතුරක් නැහැ. නැහැ මට වැරදුණා. අර ඉංගිරිසින් දීපු තනතුරක් තියෙනවා ගෘහමූලික කියලා. ඒකෙන් අස්වෙලා කොහේ යන්න ද? ඒත් ඒ තනතුර ජනතා සේවය සඳහා නොවෙයි. ග්‍රාමනිලධාරිතුමාත් ඒ තනතුර ගණන් ගන්නෙ නැහැ. කාලෙකින් ඡන්ද ලැයිස්තුවක් පුරවල ගෘහමූලික කියල අත්සන් කරන්න බැරි වුණා. ඒකට කමක් නැහැ. නියම මහජන සේවකයන් අස්වෙන්න බලන් ඉන්නෙ. අලුතෙන් ම බලන් ඉන්නෙ ලන්සා. ලන්සගෙ ලන්සුව කීය ද? ජීවිතේට ලේන්සුවක් පාවිච්චි කරල නැති මට ලන්සගෙ ලන්සු ගැනවත් ලේන්සු ගැනවත් අවබෝධයක් නැහැ.  

 

ලන්ස හදිසියෙන් ම කලබල වුණෙ මොකද? මීගමු කලපුවෙ වතුර අඩු කරල ද? ඔය මුතුරාජවෙල අද ඊයෙ ප්‍රශ්නයක් නොවෙයි නෙ. ප්‍රශ්නෙ ගෑස් ද පුංචි බණ්ඩ ද ලොකු බණ්ඩ ද? ලන්ස දන්නව ද දන්නෙ නැහැ බෞද්ධ කතාවකට අනුව ඉස්සර කාලෙ චූලෝදරයි මහෝදරයි අතර මැණික් පුටුවකට අරගලයක් තිබුණා. ඒ කාලෙ මැණික් පුටු ජනතාවටත් තිබුණ ද කියල පඬි නැට්ටකු අහන්න පුළුවන්. එදත් අදත් මතුවටත් හැමෝට ම මැණික් පුටුත් නැහැ ජෙට් යානාත් නැහැ. බොරු සමානත්ව ගැන කියවන්න ඕන නැහැ. ඒ වගේ ම හැමෝටම මාළිගා වගේ පක්‍ෂ කාර්යාලත් නැහැ. පක්‍ෂ කාර්යාල තියා පක්‍ෂවත් නැහැ.

 

චූලෝදර මහෝදර කියන්නෙ පොඩි බඩා ලොකු බඩා කියලත් කියනවා. සමහරුන්ට අනුව ඒ පුංචි බණ්ඩා හා ලොකු බණ්ඩා. කොහොම හරි බුදුහාමුදුරුවො නාගදීපයට  වැඩම කරල බණ්ඩලගෙ ප්‍රශ්නෙ විසඳුවා ඒ වැඩම කෙළෙ අමාවක කියලයි මහාවංසෙ කියන්නෙ. ඒත් අප එය සිහි කරන්නෙ පසළොස්වක පොහොයට. බුදුහාමුදුරුවො දේශනා කරන්නෙ එළඹ සිටි සිහියෙන් ඉන්න කියල. සිංහල බෞද්ධයන් පසළොස්වකයි අමාවකයි වරද්ද ගන්නෙ මොන සිහියෙන් ද කියල හිතා ගන්න බැහැ. ඔවුන්ට බණ්ඩලත් වරදිනවා. ඒ කොහොම වෙතත් සිංහලයන්ගෙ අවුරුද්ද, ජනේරුව නො වෙයි,  බුදුහාමුදුරුවො වැඩිය දිනයත් එක්ක සම්බන්ධයි කියල රොබෙයිරො කියන පෘතුගීසි හමුදා භටයකු කියල තියෙනවා. ඒ සිංහල අවුරුද්ද හින්දු අවුරුද්දත් එක්ක සම්බන්ධ කරල අවුලක් ඇති කෙළෙ ඉංගිරිසින්. සිංහල අවුරුද්ද අවුරුදු හැත්තෑවකට දිනයක් ඉදිරියට යනවා. ඒ ගැන මා අවුරුදු හැත්තෑවක් කෙසේ වෙතත් තිස්පහක් කියල තියෙනවා. හින්දු අවුරුද්ද එහෙම නොවෙයි.

 

මේ කතාවෙ ප්‍රශ්න දෙකක් ඉතුරු වෙලා තියෙනවා. වත්මන් පුංචි බණ්ඩ ලොකු බණ්ඩ කවුද කියන එක. ජාතක කතාවල වගේ අතීතයි වර්තමානයයි ගලප්පන්න ඕන. එදා පුංචි බණ්ඩයි ලොකු බණ්ඩයි රණ්ඩු කර ගත්තට අද ඒ දෙන්න හොඳට ම මිතුරුයි. පුංචි බණ්ඩ ලොකු බණ්ඩගෙ නියෝජිතයා. පුංචි බණ්ඩ තමයි පොහොර ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් ම වග කියන්න ඕන. ඒ මිසක් දෙණියවත් මහින්දානවත් නාථ දෙවියන්වත් නො වෙයි. ලන්ස ගෙදර ගියත් පුංචි බණ්ඩ ගෙදර යන්නෙ නැහැ. ලොකු බණ්ඩ පුංචි බණ්ඩ ව ගෙදර යවන්නෙ නැහැ. පුංචි බණ්ඩව ලොකු තනතුරකට පත් කරනවා. ලොකු බණ්ඩ හරි බලවත්. මට ඊයෙ කියන්න බැරි වුණා අපට තවත් හතවල් රාශියක් තියෙනවා කියන්න. සත් සතිය හත්ගවුවට අමතර ව හත්තිලවුව, හත්දෙයියන්, හත්මාළුව, හත්අවුරුද්ද, හත්දා මගුල්, සත් සමුදුර, හත්සීය ආදිය වැදගත්. විජයත් ආවෙ හත්සීයක් එක්ක කියනවා. ඒ මදිවට දැන් හත්මොළත් තියෙනවා. අපි හත්පොළේ ගා ගන්නව ද?

 

දෙවැනුව අපට පක්‍ෂ කාර්යාලයක් නැති කම. අප කිවුවෙ ජාතිකවාදීන්ට. අපට පක්‍ෂයක් නැහැ. ඒකට කමක් නැහැ. පක්‍ෂයක් නැතුවට පක්‍ෂ කාර්යාලයක් තියා ගන්න බැහැ කියල මැතිවරණ කොමසාරිස් කියල නැහැ. මුදල් නැති වුණත් මුදල් පසුම්බි තියා ගන්න පුළුවන්. මට ජීවිතේට ලේන්සුවක් වගේ ම මුදල් පසුම්බියකුත් තිබිල නැහැ. මට අවශ්‍ය මුදල් ටික සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ ණයපත (ක්‍රෙඩිට් කාඩ්) ගෙනියනවා ද කියල. නැහැ මගෙ අවශ්‍යතා ඉතා සීමිතයි. කොහොමටත් ණයපත්වලට ලොකු අතීීතයක් නැහැ.  ජනාධිපතිතුමාටත් පක්‍ෂයක් නැහැ. ඒත් පක්‍ෂ කාර්යාලයක්, ජාතික ආණ්ඩුවක් හදා ගන්න පුළුවන්.

 

දැන් ලොකු බණ්ඩල වෙනත් ජාතික ආණ්ඩුවක් හදන්න කතා කරනවා. අර මුස්ලිම් මන්ත්‍රීවරු එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්නයි කතාව. ඒ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පක්‍ෂයක් නැහැ. ඔවුන් එක්ක ජාතික ආණ්ඩු හදන්න බැහැ. ලොකු බණ්ඩ හදන්නෙ තව තවත් බලය අත්කර ගන්න. ලොකු බණ්ඩට සම්ම ජාතියෙ මහජන ඡන්දයකින් ජනාධිපති වෙන්න බැහැ. ඔහු ජාතික ආණ්ඩුවක් හදල ව්‍යවස්ථාව වෙනස් කරල මුස්ලිම් මන්ත්‍රීන් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන ක්‍රමයක් සකස්කරන්න හදනවා. ජනාධිපතිතුමාට පක්‍ෂ කාර්යාලයක් අවශ්‍යයි. ඒත් ලොකු බණ්ඩලගෙ ජාතික ආණ්ඩුවක් නොවෙයි.