History

Friday, 21 January 2022

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ද?

 

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ද?

 

අප මුහුණ දෙන්නේ විශාල ආර්ථික අර්බුදයකට බව ඇත්ත. එයට ඇත්තේ එක ම එක හේතුවක් පමණයි. ඒ අප රට ගැන නොව තමන් ගැන හිතීමයි. තම දරුවන් ගැන පමණක් හිතීමයි. ඇතැම් අය කියන කතාවකින් මෙය පැහැදිලි වෙනවා. ඔවුන් කියන්නේ රට සුද්දට තිබුණ නම් මෙයට වඩා හොඳයි කියන එක.  ඔවුන් කැමතියි පරාධීන රටක වුවත් තමන්ට හොඳය කියන තත්වයකින් ජීවත්වීමට ඇත්නම්. එහෙත් ඔවුන් නොදන්න දෙයක් තියෙනවා. අප අදත් සංස්කෘතික වශයෙන් පරාධීන බව. අප පරාධීන දැනුමක් මත පදනම් වෙලා ජීවත් වන බව. අපේ සංකල්ප හා ඒ මත ගොඩ නැගී ඇති ආකල්ප පරාධීන බව.

 

මෙය මූලික වශයෙන් ම අධ්‍යාපනය මත රඳා පවතින්නක්. කෝල්බෘක් කැමරන් යෝජනාවල පදනම ම වූයේ මේ යටත්විජිත අධ්‍යාපනය අප මත පැටවීමයි. මෙරටට පැමිණි මෙතෝදිස්ත මිෂනාරීන්ට අවශ්‍ය වූයේ තම ආගම පැතිරවීමයි. ඔවුන් රිච්මන්ඩ් විදුහල ආරම්භ කෙළේ ඒ අදහසින්. ඔවුන් කුල ක්‍රමය මත පදනම් වෙලා ගාල්ලේ හා තවත් ප්‍රදේශවල පාසල් ආරම්භ කළා. එහෙත් යාපනයේ එසේ කෙළේ නැහැ. මා හිතන්නේ එයට ප්‍රධාන හේතුව අධ්‍යාපනය දෙමළ කතා කරන ජනයා අතරින් වෙල්ලාලයන්ට පමණක් සීමා වීම කියා.

 

කෝල්බෘක් කැමරන් යෝජනාවලට අදත් අනුකාරකයන් කියන්නේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ කියා. ඒත් අනුකාරකයන් කියන්නේ නැහැ කුමක් ප්‍රතිසංස්කරණය කළා ද කියා. යෝජනාවලින් සිදු වූයේ මෙරට අර්ථ ක්‍රමය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය මුළුමනින් ම උදුරා දමා බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට අප යටත් කිරීමට පදනම දැමීමයි. ඔවුන් සිංහලයන් අතර තිබූ කුල ක්‍රමය අහෝසි කර අලුත් කුල ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කළා. මා කියන්නේ පැරණි කුල ක්‍රමය කුලශේදයක් ලෙස පවත්වාගෙන යා යුතුව තිබූ බව නො වෙයි. පැරණි කුල ක්‍රමය කුල භේදයක් බවට පත් වුණේ නුවර යුගයේ දී. එහි බීජ බමුණන් මෙරටට පැමිණි මුල් කාලයේත් නොතිබුණා නොවෙයි. එහෙත් බෞද්ධයනට හැකියාව තිබුණා ඒ ඒ කාලවල බමුණන් පරාජය කරන්න. මේ ගැටුම කියන හොඳ ම කෘතිය උමමග්ග ජාතකය කියා මා හිතනවා. 

 

පසුගිය දා අභාවප්‍රාප්ත වුණු ආනන්ද ජයසිංහ මහතා ලියා ඇති රිච්මන්ඩ් විදුහලේ ඉතිහාසය පොතේ එන එක් කරුණක් මතක් කරන්න ඕන. රාජකීය විදුහල ඇරඹි මුල් කාලයේ දී කුල භේදය තවදුරටත් පවත්වාගෙන යා යුතු ය කියූ කණ්ඩායමක් තම පුතුන් වෙනත් කුලවල දරුවන් සමග එකට ඉගෙනීමට විරුද්ධ ව සටන් කරල තියෙනවා. එහෙත් ඉංගිරිසින් එයට කන් දී නැහැ. ඒ වෙනුවට ඉංගිරිසින් අධ්‍යාපනය මගින් වෙනත් කුල ක්‍රමයක් හා කුල භේදයක් මෙරට ඇති කළා. ඒ බටහිර වෛද්‍ය නීතිඥ ඉංජිනේරු වෘත්තියික කුලයක්. ඒ සඳහා අවශ්‍ය විිද්‍යාල තුනක්, කාර්මික විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය හා නීති විද්‍යාලය දහනවවැනි සියවසේ ආරම්භ කළා. 

 

අද මෙරට ප්‍රධාන වශයෙන් ම ඇත්තේ ඉංගිරිසින් මෙරට ඇති කළ කුල ක්‍රමයයි. එයට ප්‍රභූ පාසල්වල ආදි ශිෂ්‍ය කුලය ද යම් දුරකට එකතු වෙලා තියෙනවා. පහේ ශිෂ්‍යත්වය මේ කුල ක්‍රමය හා ආකල්ප තව දුරටත් ගෙන යෑම සඳහායි. නිදහස් අධ්‍යාපනයෙන් ද සිදු වුණේ පෞද්ගලික ව වත්මන් ඉහළ කුලවලට පැන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අදත් එය එලෙස ම ක්‍රියාත්මක වෙනවා.

 

වත්මන් ප්‍රභූ කුලවල ආකල්ප සමාජයේ අනෙක් කොටස්වලටත් ගලා යනවා. එයත් සිදු වන්නේ අධ්‍යාපනය මගින්. ඒ ආකෘතික මෙන් ම අනාකෘතික අධ්‍යාපනයෙන්. ආකෘතික අධ්‍යාපනය පාසල්වල හා විශ්වවිිද්‍යාලවල ලබා දෙනවා. අනාකෘතික අධ්‍යාපනය ජනමාධ්‍ය මෙන් ම සමාජයීය මාධ්‍ය මගින් ලබා දෙනවා. ටියුෂන් කඩ නැත්නම් උපකාරක පංති ඉහත කී ආකෘතික අනාකෘතික අධ්‍යාපන අතර ක්‍රමයක් අනුගමනය කරනවා. එයට අනනාකෘති කිවුවත් වරදක් නැහැ කියා හිතෙනවා.

 

අද පවතින ආර්ථික අර්බුදයට හේතුව අධ්‍යාපනයෙන් බිහි වී ඇති හිතන්න බැරි අනුකාරකයන් පිරිසක් රට ගැන නොසිතා තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රභූ ආකල්ප පිටුපස යෑම. මේ ආකල්ප ප්‍රභූන්ට ලබා දුන්නේ බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින්. අපට අද ඇත්තේ සමාජ ඉණිමගේ ඉහළට යෑමට ඇති අවශ්‍යතාවයි. ඉහළ නිලතල දෑරීමේ සිට ඉහළ ගසා කෑම් දක්වා මේ ආකල්ප දිව යනවා. රටේ මුදල් තම මුදල්, රටේ ධනය තම ධනය බවට පත්කර ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ අතළොස්සක් පමණයි.

 

ප්‍රභූ ආකල්ප මධ්‍යම පංතියේ ආකල්ප බවට පත් වෙලා. මූලික වශයෙන් අධ්‍යාපනය හේතුවෙන් අද මධ්‍යම පංතිය ප්‍රසාරණය වෙලා. එය නිෂ්පාදන ආර්ථිකයක් සමග බැඳුණු මධ්‍යම පංතියක් නො වෙයි. වැඩිම වුවහොත් සේවා ආර්ථිකයක් සමග බැඳුණු මධ්‍යම පංතියක්. මධ්‍යම පංතියේ අවශ්‍යතා පිරිමසා ගැනීමට අපට ණය ගන්න සිදුවෙලා. ණය ගැනීමේදීත් කොමිස් ගන්නේ රටේ මුදලින් කොටසක් තම මුදල් බවට පත්කර ගනිමින්.

 

මධ්‍යම පංතියේ ආකල්ප අද ගොවීන්ටත් ගිහින්. මධ්‍යම පංතියට බටහිර විද්‍යාව නැතිව වැසිකිළියට යෑමටවත් බැරුවා වගෙයි. අද ගොවීන් රසායනික පොහොර ගැන මෙතරම් කියවන්නේ බටහිර විද්‍යාවක් ගැන දැන ගෙන නො වෙයි. අද ඇතැම් බෞද්ධයන් කර්මය නිවුටන්ගේ තුන්වැනි නියමයෙන් තහවුරු කරන්න හදනවා. සෑම ක්‍රියාවකට ම ප්‍රතික්‍රියාවක් තියෙනවලු. නිවුටන් එහෙම කියල නැති බව ඒ අය දන්නේ නැහැ. මා හිතන්නේ මෙරට පාසල්වල නිවුටන්ගේ නියම ගැන නියම අවබෝධයක් ලබා නොදෙන බවයි. නිවුටන්ගේ තුන්වැනි නියමය එකිනෙක ස්පර්ශවන වස්තු දෙකක් සඳහා පමණයි. අඩු තරමෙන් පොළොවයි හඳයි අතරවත් එය ක්‍රියාත්මක වන්නේ නැහැ.

 

මධ්‍යම පංතිය ප්‍රසාරණය වී ඇති ආකාරය ඊනියා සුපිරි වෙළෙඳසල් මගින් පේන්න තියෙනවා. අප කුඩා කළ කාගිල්ස් මිලර්ස් නමින් සාප්පු දෙකක් කොළඹ කොටුවේ තිබුණා. අද කාගිල්ස් හැම නගරයක ම පාහේ දකින්න පුළුවන්. එදා කොටුවේ කාගිල්ස් සාප්පවට ගියේ ඉහළ ම ප්‍රභූන්. අනෙක් අය ගියේ කඩවලට. එකල පෙරේරා ඇන්ඩ් සන්ස් තිබුණේ කොල්ලුපිටිය හන්දියේ පමණයි. එදා රාජකීය විදුහලේ ඉගෙන ගත්තේ හයසීයක් පමණ. අද හයදාහක් පමණ.

 

පඬි නැට්ටකු අහන්න පුළුවන් මට අවශ්‍ය කිහිප දෙනකුට පමණක්  සීමා වූ සුපිරි වෙළෙඳසල් ප්‍රභූ පාසල් තියෙන්න ද කියා. නැහැ ප්‍රශ්නය ආකල්පවල. අද බෞද්ධ කියන පාසල්වලත් මධ්‍ය මහා විද්‍යාලවලත් තියෙන්නෙ රාජකීය විද්‍යාලෙ ආකල්ප. පඬි නැට්ටන් තවත් අහයි  අපි බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යා යුතු ද කියා. මේ අපේ අදහස් එදත් අදත් අවබෝධකර නොගත් අය කියන දෙයක් පමණයි. අප අපේ ආකල්ප වෙනස්කර ගත්තෙ නැත්නම් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැහැ.