History

Monday, 24 January 2022

දියුණු වීම හා සමාජවාදය

 

දියුණු වීම හා සමාජවාදය

 

අප දියුණු වෙන්න ඕන කියනවා. පෞද්ගලිකවත් රටක් හැටියටත් දියුණු වෙන්න ඕන කියල අපි හිතනවා. මෙතන දි අපි කියන්නෙ පොදුවේ ගත්කල රටේ ජනතාව. මේ දියුණුව කියන එක අපි බලන්නෙ එක්කො අසල්වැසියාට සාපේක්‍ෂ ව. එහෙම නැත්තන් ලෝකෙ අනිත් රටවලට සාපේක්‍ෂව. අපි කොහොමටත් කියනව දියුණු රටවල වැඩ කෙරෙන්නෙ මෙහෙමයි කියල. දියුණු රටවල අරක තියෙනව මේක තියෙනව අපටත් ඒව ඕන කියන තේරුමක් තමයි මේ සියල්ලෙන් කියැවෙන්නෙ.

 

අල්ලපු ගෙදර අයට මෝටර් කාර් දෙකක් තියෙනවා. අපිත් ගමු ද? අල්ලපු ගෙදර රූපවාහිණිය මෙච්චර ලොකුයි. අපි ඊට ලොකු එකක් ගමු ද? අල්ලපු ගෙදර ළමයි යන්නෙ අහවල් ඉස්කෝලවලට. අපේ ළමයි යවන්න බැරි ද? මන්ත්‍රිතුමාගෙන් ආධාරයක් ගන්න බැරි ද? අල්ලපු ගෙදර එක්කෙනා අර උත්සවයට ඇන්ද ඇඳුමට වැඩිය හොඳ ඇඳුමක් මම ඊළඟ උත්සවයට අඳින්න ඕන. අල්ලපු ගෙදර තට්ටු දෙක තට්ටු තුන කරනවා. අපිත් ගේ තට්ටු තුනක් හරමු ද? මේ වගේ ප්‍රශ්න, සංසන්දනය කිරීම්, කෙළවරක් නැහැ. 

 

දැන් මේ ටික කියවන පඬි නැට්ටකු කියයි අද ජනතාවට තියෙන්නෙ ඔය වගේ ප්‍රශ්න නොවෙයි. ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, විදුලිය කපයි ද කියන ප්‍රශ්නය, වැඩවර්ජන තියෙයි ද ආදී වශයෙන් ප්‍රශ්න කියල. තවදුරටත් කියයි නාකි මැන්ටලයට කිසි දෙයක් හිතා ගන්න බැහැ දන්නෙ රාජපක්‍ෂලාට කඩේ යන එක විතරයි කියල. මේ කරන්න හදන්නෙ ජනතාවගෙ සැබෑ ප්‍රශ්න අමතක කරලා රාජපක්‍ෂලා නිදහස් කරන්න කියලත් කියාවි. තවත් පඬි නැට්ටන් කියාවි මේ ලිපිවල කිසිම සංගතබවක් නැහැ ඒ නිසා ඔය පල්හෑලි කියවන්න ඕන නැහැ කියලත්. ඒත් ඔවුන් ඒ ලිපි කියවනවා. සංගත නොවන තැන් පෙන්නල දෙන්නෙත් නැහැ. මා ලිපි දසදාහකට ආසන්නව ලියා ඇති. ඒ ලිපිවල අදහස් වර්ධනයක් නිසා ඇතිවෙන වෙනස්කම් පෙන්නුම් කරන්න පුළුවන්. එහෙත් අසංගතබවක් පෙන්නුම් කරන්න බැරි වෙයි. සමහර විට පඬි නැට්ටන් දන්නෙ නැතිව ඇති සංගත වෙනවා කියන  එකේ තේරුමවත්.

 

ඔය කියන තෙල් ගෑස් ප්‍රශ්න ඇති වෙලා තියෙන්න ම දියුණු වෙන්න ගිහින්. අපේ තරමට වැඩිය ජීවත් වෙන්න ගිහින්. අද උගතුන් කතා කරන්නෙ නියමිත දිනට ණය ගෙවිම හරි ණය ගෙවීම කල්දාගන්නෙ කෙහොමද කියන එක හරි. ණය ලබා ගැනීම අඩු කර ගන්න විධියක් කල්පනා කරන්නෙ නැහැ. අපට අවශ්‍ය දියුණුව මොකක් ද එය ලබා ගන්නෙ කොහොම ද කියන එක ගැන කතාවක් නැහැ. දැන් පඬි නැට්ටකු කියයි නලින්ට දියුණුවක් අවශ්‍ය වෙලා කියලා. ඉස්සර බර කරත්තෙන් අනුරාධපුරයට යෑමට කතා කළ තැනැත්තා අද අධිවේග මාර්ග ඉල්ලනවා කියා.

 

පඬි නැට්ටන්ගෙන් අතිවිශාල බහුතරය මගේ ලෝකය කියවල නැහැ. කියෙව්වත් තේරුම් අරන් නැහැ. මගේ ලෝකය ලියල දැන් අවුරුදු තිස්පහකට වැඩියි. මා එහි ඇති සමහර අදහස් දැන් පිළිගන්නෙ නැහැ. ඒ මගේ අදහස් වර්ධනය වෙලා නිසා. මා බටහිර තියෙන අදහසක් අහුල ගෙන ඒක සිංහලෙන් කියන්නකු නො වෙයි. මගේ අදහස්වල වර්ධනය ඇත්තේ එක දිශාවකට. ඒ දිශාව සංගතයි. මගේ ලෝකය හා ජාතික චින්තනය වැරදි විධියට තේරුම් ගත් අය තමයි මා වෙනස් වෙලා කියන්නෙ. මා අමරසේකර වර්ගයේ ජාතික චින්තකයකු නො වෙයි. මා නැවතත් කියනවා මා වෙනස් වෙලා. වෙනස් වෙන්නෙ නැත්තෙ අනෙක් අයගෙ (බටහිරයන්ගෙ) අදහස් අතනින් මෙතනින් අහුල ගෙන කියවන අය පමණයි. ඔවුන්ට වෙනස් වෙන්න දෙයක් නැහැ. වෙනස් කරන්න ඔවුන්ගෙ කියල අදහසක් නැහැ. අනෙක් අයගෙ අදහස් කියවීම ගැන නම් ඔවුන් සංගතයි. එහෙත් ඒ කියවන අදහස් පරස්පරයි. මොකද ඔවුන් කියවන්නෙ එක් එක් අයගෙ අදහස් නිසා.

 

මගේ අදහස් වෙනස් වෙලා කියන එකේ තේරුම ඒ අදහස් වර්ධනය වෙලා කියන එක. ඒ වෙනස් වෙන්නෙ එක ම දිශාවකට. මා මගේ ලෝකයේ පසු මුද්‍රණවල ම කියා ඇති පළමු මුද්‍රණයෙන් වෙනස් වෙලා තියෙන තැන්. මගේ ලෝකයේ බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප වෙලා නැහැ. එහි සාකච්ඡා කෙරෙන එක් කරුණක් නම් ක්වොන්ටම් භෞතිකය අපේ සංස්කෘතියට අවශෝෂණය කරන්නෙ කෙසේ ද යන්න. අපට එය පසුව සාර්ථක ව කර ගන්න පුළුවන් වුණා. අප දැන් දන්නවා ක්වොන්ටම් භෞතිකය වෙනත් ම චින්තනයක් න්‍යායක් මත පදනම් වෙන බව. එහි න්‍යාය (logic)  නම් ඇරිස්ටෝටල්ගෙ න්‍යාය නො වෙයි. අප එය පදනම් වන න්‍යාය බෞද්ධ න්‍යාය කියා කියන්නෙ නැහැ. එහෙම බෞද්ධ න්‍යායක් නැහැ. ක්වොන්ටම් භෞතිකය පදනම් වෙන්නෙ චතුස්කෝටික න්‍යාය මත. එය ඊනියා බෞද්ධ න්‍යායක් නො වෙයි. බෞද්ධයන් නිවන් සම්මාබෝධයේ දී සියළු දෘෂ්ටිවාද අත්හරිනවා. බටහිර දැනුම් ආධිපත්‍යයට විරුද්ධවීම යන්න බටහිර දැනුම තොග පිටින් ප්‍රතික්‍ෂෙප කිරීම යැයි කියන අයට ඊනියා සමාජවාදය ගැනවත් දැනුමක් නැහැ.

 

සමාජවාදය පිළිබඳ අදහස් යුරෝපයේ පහළොස්වැනි සියවසේ පමණ සිට තියෙනවා. එහි දී තොමස් මුවර් නමැත්තකු ගැන මුලින් ම කියැවෙනවා. ඉන් පසු ෆූරියර්, සෙන්ට් සයිමන්, රොබට් ඕවන් ආදීන් ගැන කියැවෙනවා. ඒ අතර ප්‍රංශ දාර්ශනිකයකු වූ  පෘඩන් ගැනත් කියැවෙනවා. ඔහු අරාජිකවාදියකු ලෙස හැඳින්වෙනවා. මේ අය සමාජවාදයක් ගැන කතා කළා. එය මූලික වශයෙන් ආචාර ධර්ම මත පදනම් වූවක්. කරුණු කියා ඇති නැති පරතරය නැති කිරීම, පෞද්ගලික අයිතියට වඩා සාමූහික අයිතිය නිර්දේශ කිරීම ආදිය ගැන ඔවුන් කතා කළා. එහෙත් ඔවුන් විප්ලවයක් ගැන නිෂ්පාදන මාතවල අයිතිය ගැන කතා කෙළේ නැහැ.

 

දහනවවැනි සියවසේ දී සමාජවාදය පිළිබඳ ඒ අදහස් මාක්ස් හා එංගල්ස් අතින් දැඩි විවේචනයට ලක් වුණා. මාක්ස් හා එංගල්ස් එකී සමාජවාදය හැඳින්වූයේ මනෝරාජික සමාජවාදයක් ලෙස. මාක්ස් හා එංගල්ස් එයට එරෙහිව ඊනියා විද්‍යාත්මක සමාජවාදය ඉදිරිපත් කළා. ඔවුන් ඊනියා ඓතිහාසික ද්‍රව්‍යවාදය, අපෝහකය, පරාරෝපණය (alienation)  ආදිය මත පදනම් වුණා. ඔවුන්ගේ සමාජවාදය සඳහා විප්ලවය අවශ්‍ය වුණා. කම්කරු පංතිය (විජේවීරගේ නිර්ධන පංතිය නොවෙයි) බලයට පත්වීම, නැත්නම් කමකරු පංති ආඥාදායකත්වය පිහිටුවීම ආදිය අනිවාර්යයි. එංගල්ස් මේ සම්බන්ධයෙන් ලියා ඇති දේ ඩූරින්ට එරෙහිව  (Anti Duhring) කියවීමෙන් දැන ගන්න පුළුවන්. මාක්ස් හා එංගල්ස්ගේ ඊනියා විිද්‍යාත්මක සමාජවාදය කෙළවර වීමට තිබුණේ රාජ්‍යය වියැකි කොමියුනිස්ට් සමාජයක් ඇති වීමෙන්. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. පුටින්ගෙන් අහන්න රාජ්‍යය වියැකී යමින් පවතිනවා ද කියා. 

 

මෙරට වමාලා වමක් ඇති කලත් නැති කලත් පෙනී හිටියේ, පෙනී ඉන්නේ මනෝරාජික සමාජවාදය වෙනුවෙන් නොව ඊනියා විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන්. විිිද්‍යාත්මක ක්‍රමය දැන ගැනීමට චතුර අල්විස් හමුවෙන්න. අද ධනවාදය තමයි හැම රටක ම තියෙන්නෙ. කියුබාවෙ ඇත්තෙත් රාජ්‍ය ධනවාදයක්. ඔය කියන විිිද්‍යාත්මක සමාජවාදය කිසිම රටක ඇති වෙලා නැහැ. මනෝරාජික සමාජවාදයත් ඇති වෙලා නැහැ. එහෙත් මනෝරාජික සමාජවාදීන්ගෙ අදහස් යුරෝපයේ ඇතැම් ප්‍රදේශවලට බලපා තියෙනවා. අද ස්කැන්ඩිනේවියානු රටවල ඇත්තේ ධනවාදී සුභසාධක රාජ්‍ය මිස කිසිම ආකාරයක සමාජවාදී රාජ්‍ය නො වෙයි. වමාලා දැන් කියන්න බැරි නැහැ මා ධනවාදයට කඩේ යනවා කියලා.  ධනවාදයෙ කොහොමත් කඩ තියෙනවා. 

 

අප සරල දිවි පැවැත්මකට යන්න ඕන. ගන්නා ණය සරල දිවි පැවැත්මකට අවශ්‍ය සංවර්ධනයක් සඳහා යොදා ගන්න ඕන. අවශ්‍ය පරිදි අධිවේග මාර්හ හදන්න ඕන. දුම්රිය මාර්ග තවත් ඇති කරන්න ඕන. හෙළ ගොවිතෑනට හෙළ වෙදකමට පිළිගැනීමක් ලබා දෙන්න ඕන. හෙළ වෙදකම මගින් පමණක් වුවත් ඩොලර් අර්බුදය නැති කර ගන්න පුළුවන්.  ඒ කියන්නෙ බටහිර වෙදකම මුළුමනින් ම නැති කරනවා කියන එක නොවන බව පඬි නැට්ටන්ගේ දැනගැනීම සඳහා කියන්න ඕන.