History

Tuesday, 4 January 2022

ආර්ථිකයට සහනයක්

                                ආර්ථිකයට සහනයක්

 

ටික කාලෙකට පෙර මහා බැංකුවේ හිටපු ප්‍රධානියකු වූ ඩබ් ඩී ලක්‍ෂමන් ආර්ථික විද්‍යාව ගැන මා සමග කී කතාවක් මට මතක් වෙනවා. ඔහු ඒ බව කීවේ ජී එල් පීරිස්ලා ඈපාසිංහලා සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට පෙර. ඔහු මට කිවුවේ යම් ප්‍රශ්නයක් ගැන ආර්ථික විිද්‍යාඥයකුගෙන් විමසූ විට ඒ තැනැත්තා යම් මතයක් ප්‍රකාශ කර නොනවතින බවත් අනෙක් අතට කියා තවත් මතයක් ප්‍රකාශ කරන බවත්. ආර්ථික විද්‍යාව භෞතික විද්‍යාව වගේ නො වෙයි. පට්ටපල් බොරු වුවත් භෞතික විද්‍යාව තරමක් දත් අයකුට වුවත් පරිපථයක විලයනය නැතිවීමක්  (fuse) හදාගන්න හැටි කියන්න පුළුවන්. ඒ කියන්නෙ ඔහුට ඒ සංසිද්ධිය පිළිබඳ හරියන කතන්දරයක් තියෙනවා කියන එක. අද රටේ ආර්ථිකය විලයනය නැතිවීමකට ලක් වෙලා. ආර්ථික විද්‍යාඥයන්ට ඒ සම්බන්ධ හරියන වැඩ කරන කතන්දරයක් නැහැ. ඔවුන් බොහෝ විට  ඒත් අතට මේත් අතට අඟර දඟර පානවා. ඒ අතට එහෙමයි. මේ අතට මෙහෙමයි. හරියන අතක් නැහැ.

 

ආර්ථිකය ගැන තව සිද්ධි දෙකක් කියන්න ඕන. මා ඊනියා සතියේ දිනවල (ඉංගිරිසින්ට අනුව සති අන්තය කියන එක සතියට අයිති නැද්ද?) දිනපතා දෙරණේ නාට්‍ය තුනක් නරඹනවා. පළමුව සිඳු ඊළඟට ප්‍රවෘත්ති අන්තිමට ඉස්කෝලෙ. කවුද පඬි නැට්ටකු අහල තිබුණ මා සිඳුත් බලනවා ද කියලා. පඬි නැට්ටාට අනුව සිඳු උසස් නාට්‍යයක් නො වෙයි. මට පඬි නැට්ටන්ගෙ  උසස් රුචිකත්වය නැහැ. මට අශෝක හඳගම විමුක්ති ජයසුන්දර වැන්නන් පහත් කලාකරුවන්. මේ සියල්ල සාපේක්‍ෂයි. එක් එක් අයට එක් එක් මිනුම් දඬු. ඒ විතරක් නොවෙයි ඒ ඒ මඤ්ඤොක්කා දඬු. තමන්ගෙ මට්ටම් තම්මැට්ටන් කිවුවලු.

 

ඒ මොකක් වුණත් ඊයෙ ඉස්කෝලෙ නාට්‍යයෙ අර රන්දිකයි චූලයි චෙතියයි යනවා ආරොන් සීය මුණ ගැහෙන්න. ඔවුන්ට අනුව ආරොන් සීයා දුක් විඳිනවා. ඒත් ආරොන් සීය තමා ගැන එහෙම හිතන්නෙ නැහැ. ඔහු මඤ්ඤොක්කා ටිකක් වවා ගෙන සතුටින් ඉන්නවා. රන්දිකගෙ සතුට ආරොන් සීයගෙ සතුට නො වෙයි. ආරොන් සීයට මේ කාලෙත් රුපියල් විසිදාහක් කියන්නෙ ලොකු මුදලක්. මා හිතන්නෙ නැහැ ඔහු බැසිල්ගෙන් සහන බලපොරොත්තු වෙනවා කියලා. අපත් බලාපොරොත්තු වන්නෙ නැහැ. අපි කිරිපිටි බොන්නෙ නැහැ. සීනි නිතුව නිකම් තේ හෙවත් ප්ලේන් ටී තමයි බොන්නෙ. හැබැයි බොහෝ විට කොළ කැඳත් බොනවා. ඒ වත්ත පිටියෙන් ලබා ගන්න දේ. අප කළමනාකරණය දන්නවා. මට රැකියාවක් නැති කාලෙත් පුතාලා දෙන්න පිටරට ඇරලා ඉගැන්නුව නොවැ. ඒ යවපු රට මොකක් ද කියල දන්නෙ නැති එක තමයි එකල දෙරණෙ ඩිල්කාටත් තිබුණු ප්‍රශ්නය. මාත් තවම දන්නෙ නැහැ.

 

දෙවැනි සිද්ධියත් මඤ්ඤොක්කවලට සම්බන්ධයි. අප මාස හයක් පමණ බටහිර මිම්මෙන් අප්‍රිකාවෙ ඉතාමත් දුප්පත් රටක් වූ මලාවියෙ හිටියා. මා ඒ කාලයෙ මලාවි විශ්වවිිද්‍යාලෙ භෞතික විද්‍යාව ඉගැන්නුව. ඒ සිසුන් සහ අනෙක් අය මඤ්ඤොක්කා කනවා තම්බන්නෙ නැතුව. ඔවුන්ගෙ භාෂාවෙන් මඤ්ඤොක්කාවලට කියන්නෙ කසාවා කියල. අපිට පුදුමයි. කසාවා වස නැද්ද කියල ඇහුවම ඔවුන් හිනහ වෙනවා.

 

අපට මඤ්ඤොක්කා ලැබුණෙ පෘතුගීසීන්ගෙන් වෙන්න ඕන. මඤ්ඤොක්කා ඇමරිකානූ මායා වැසියන්ගෙ ප්‍රධාන ආහාරය. දකුණු ඇමරිකාවෙ මඤ්ඤොක්කා තියෙනවා. බ්‍රසීලයෙත් තියෙනවා. පෘතුගීසීන් එහෙන් මඤ්ඤොක්කා දැන ගෙන ලෝකෙට ම දීලා.  මඤ්ඤොක්කා සිංහලෙන් ලියන්නෙ කොහොමද කියල ඇහුවත් ඒක දකුණු අමෙරිකාවෙන් පෘතුගීසීන් මගින් අප ලබා ගෙන සිංහල කර ගත්ත වචනයක්. අමතක කරන්න එපා බ්‍රසීලයෙ සිල්වලත් ඉන්නවා. ලූලා ඩා සිල්ව ගැන අහල ඇති නොවැ.  

 

අප්‍රිකාවෙ එක් ගොවියෙක් මඤ්ඤොක්කා වගා කරන තැනට බටහිර ආර්ථික විද්‍යාඥයෙක් ගිහින්. විද්‍යාඥයා ගොවියට කියල මඤ්ඤොක්කා ආර්ථික වශයෙන් වැදගත් වගාවක් නොවන බවත් ආර්ථික වශයෙන් ඵලදායි භෝගයක් වගා කරන ලෙසත්. ගොවියා අහල ඒ මොකට ද කියල. විද්‍යාඥයා කියල ඒ භෝග පිටරට යවලා ඩොලර් උපයන්න පුළුවන් කියල. ගොවිය අහල ඩොලර් මොනවට ද කියල. විද්‍යාඥයා කියල ඩොලර්වලින් අපට අවශ්‍ය කෑම බීම ගෙන්න ගන්න පුළුවන් කියල. එවිට ගොවිය කියල ඉතින් තමා කරන්නෙ අවශ්‍ය කෑම වගා කර ගන්න එක කියලා.

 

මලාවියෙ තියෙනවා මහා විශාල විලක් මලාවි විල කියල. ඒ සිසුන්ට කියල දීල තියෙන්නෙ මලාවි විල රෝඩ්ස් හොයා ගත්ත කියලා. අර සුප්‍රසිද්ධ රෝඩ්ස් තමයි. රොඩේෂියාව නම් කරල තිබුණෙත් ඔහුගෙ නමින්. දැන් ඒ රටට කියන්නෙ සිම්බාබ්වෙ කියල. සිම්බාබ්වෙ මලාවියට එක් පැත්තකින් සම්බන්ධ වෙනවා. කොයිකටත් මා සිසුන්ගෙන් ඇහුව රෝඩ්ස් එන්න කලින් විල තිබුණෙ නැද්ද කියලා. ඔවුන්ගෙ ආච්චිල සීයල ඒ විල ගැන දැන හිටියෙ නැද්ද කියල. සිසුන් හිනහ වුණා. ඔවුන්ගෙ හම කළුයි. දත් සුදුම සුදුයි. කසාවා කාලද කොහෙ ද?

 

මලාවියට සුද්දන් කිවුවෙ න්‍යාසාලන්තය කියල. ඒක ගණිතයෙ න්‍යාසවලට සම්බන්ධ නැහැ. මලාවියට නැගෙනහිරෙන් තියෙන්න මොසැම්බික්. ඒක පෘතුගිසි යටත්විජිතයක්. ඒ රටට නම දීල තියෙන්නෙත් පෘතුගීසීන්. එහි ගුවන්විදුලිය මලාවියටත් ඇහෙනවා. අපි ඒ ගුවන්විදුලියට සවන් දුන්න. පෘතුගීසි බයිල අහන්න. සිල්වල නොවැ. අර කියනව වගේ ඔරිජිනල් බයිලා. ආසියාවෙ අප්‍රිකාවෙ දකුණු ඇමරිකාවෙ කතන්දර ඔහොම තමයි.

 

ඊයෙ බැසිල් සහන දුන්න. අපට නම් කිසිම සහනයක් දුන්නෙ නැහැ. ඒකට කමක් නැහැ. අපි සහන බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මා ගමනක් බිමනක් යන විට දාන්නෙ සෙරෙප්පු දෙකක්. දවසක්  මගේ සරසවි මිත්‍රයකු (බැචකු) වූ ඩී එස් අයි සමාගමේ ප්‍රධානියකු මට වවුචරයක් එවල තිබුණ අලුත් සෙරෙප්පු කුට්ටමක් ගන්න කියල. ඔහුට පින්. ඒත් ඔහු දන්නෙ නැහැ මා ගෙදර ඇවිල්ල සෙරෙප්පු ගලවන්නෙ සෙරෙප්පුවලින් ගැලවුණා කියා හිතාගෙන බව.  අපට ඕන නැති වුනත් සහන අවශ්‍ය අය ඉන්නවා. බැසිල් මට වවුචර එවන එකක් නැහැ. ඔහුගෙ අමාත්‍යංශෙ ලේකම්ට මා ගණිතමය භෞතික විද්‍යාව උගන්නල තියෙනවා. ලේකම් ඇමතිට ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙයි ද?

 

බැසිල් මේ සහන දෙන්නෙ ආර්ථික විද්‍යාඥයන්ගෙන් අහල කියා මා හිතන්නෙ නැහැ. ඇහුවත් ඔවුන් ඒත් අතට මේත් අතට ඇඹරේවි. මෙරට විශ්වවිද්‍යාලවලින් ආර්ථික විද්‍යාව ඉගෙන ගත් කී දෙනක් ඇත් ද? අද ආර්ථිකය විලයනය නැතිවෙලා. ඒකට දේශපාලනඥයන් යම් ප්‍රමාණයකට වග කියන්න ඕන.  ඒත් මූලික වශයෙන් වග කියන්න ඕන ඊනියා ආර්ථික විද්‍යාඥයන්. මගේ පාසල් මිතුරකු (පංති සගයකු) චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ කලක් මහා බැංකුවේ අධිපති වෙලා හිටියා. ඔහු ආර්ථික විද්‍යාඥයෙක් නො වෙයි. ඔහු උපදෙස් ගත්තෙ අද වැල් බයිලා කියන මහා ආර්ථික විද්‍යාඥයකුගෙන්. ආර්ථික විලයනය හරි ගස්සන්නෙ කොහොමද කියල ආර්ථික විද්‍යාඥයන්ට උපදෙස් දෙන්න බැහැ. ජාමුලෙට (IMF) යන එක ඊනියා ආර්ථික ප්‍රසාරණය ආදිය තමයී ඔවුන් කියවන්නෙ. 1977න් පස්සෙ කරල තියෙන ඒවමයි.

 

බැසිල්ගෙ සහනවලින් වියලයනය හරිගස්සන්න පුළුවන් ද කියන එක මා දන්නෙ නැහැ. ඒ වුණත් මේ ආර්ථික විද්‍යාඥයන්ගෙන් වැඩක් නැහැ කියන එක නම් පැහැදිලියි. ආර්ථිකයට පොඩි සහනයක් දෙන්න පුළුවන් වේවි ඔය ආර්ථික විද්‍යාඥයන් බිහි කිරීමට යන වියදම කපා හැරීමෙන්.