සිංහල බෞද්ධත්වයට එරෙහිව ක්‍රිස්තියානි
නූතනත්වයට කඩේ යන බමුණු කේවට්ටයෝ
ඊයේ ලිපියේ පාණදුරේ ගැන සඳහන් වූ දේ මා දන්නා තරමින් පොතක පතක තියෙන දෙයක් නො වෙයි. ඒ මා අසා ඇතිි දෙයක්වත් නො වෙයි. එය මගේ සංස්කරණයක්. එය වැඩ කරනවා ද නැත් ද කියා මා කියන්නේ නැහැ. එය වත්මන් සිද්ධි (facts) නැත්නම් කරුණු සමග සංගතයි. කාලෝ ෆොන්සේකාට නම් සිද්ධි පූජනීයයි (facts are sacred). සිද්ධි යන්න බටහිර යොදා ගැනෙන්නේ සත්‍ය යන්න සමග සාම්‍යව . මෙරියම් වෙබ්ස්ටර් සිද්ධි නිර්වචනය කරන්නේ මෙසේයි. Something that has actual existence, an actual occurrence, a piece of information presented as having objective reality. එහෙත් අපට යථාර්ථය සත්‍යය ආදිය නැහැ. මිනිසුන් සංස්කරණය කර ඇති දේ යම් සම්භාවිතාවක් සහිත ව වැඩ කරනවා. සිද්ධිත් එසේමයි. ඒ ඒ සිද්ධිවලට ඇත්තේ ඒ ඒ සම්භාවිතා.
පාණදුරේ නමින් අද නගරයක් තියෙනවා. පාණදුරේට
දකුණෙන් පාණදුරේ නගර සභාවට අයත් නල්ලුරුව කියා නාගරිකයක් තියෙනවා. පාණදුරේ අද
නගරයක් වුවත් සියවස් ගණනකට පෙර තවත් ගමක් වෙන්න ඕන. වත්මන් පාණදුරේට නැගෙනහිරින්
අපේ ගම නැත්නම් වෑකඩ පිහිටා තියෙනවා. වැකඩ කියන්නේ සිංහල නමක්. එහි තේරුම වෑකන්ද
යන්නයි. වැකඩ අවට මෝදරවිල, එඵවිල, මහාවිල, කළුදෑවල, පිංවල නමින් ගම් තියෙනවා. ඒ හැම එකක් ම
වෙලක්. ඉන් එක් වෙලක්, එනම් පිංවල පිනට වැඩ කරපු එකක් බව
පේනවා. ඒ අතර සුදුවැල්ල කියා ගමකුත් තියෙනවා. මට හිතෙන විධියට එය සුදුවෙල යන්නෙහි
උච්චාරණයක් වෙන්න පුළුවන්. ඔය ප්‍රදේශයේ වැවක් තියෙන්න ඇති. වැවක් නැතුව වෑකඩක්
තියෙන්න බැහැ. වෙල් තිබුණෙත් වැව ආශ්‍රයෙන් වෙන්න ඕන. මා මේ සියල්ල කියන්නේ
වත්මනෙහි දක්නට ඇති ග්‍රාම නාම ඇසුරෙන්. එය වැඩ කරන්නත් පුළුවන් නොකරන්නත්
පුළුවන්. ඒ කෙසේ වුවත් එහි ග්‍රාම නාම සමග සංගත බවක් තියෙනවා.
පාණදුරේ හා නල්ලුරුව එවැනි තවත් ගම් දෙකක්.
නල්ලූරුව කියන්නේ දෙමළ නමක්. ඒ අසල ම ඇති පාණදුරෙත් දෙමළ වෙන්න ඕන කියා මා හිතන්නේ
පාණදුරේ නමට දෙන සිංහල නිරුක්ති අසාර්ථක නිසා. ඒ අනුව තමයි මා පාණ්තුරෙයි සංස්කරණය
කෙළේ. එය කන්කසන්තුරෙයි යන්න සමග එක ම ස්වරූපයක් ගන්නවා. අනෙක් අතට සිංහල තෙර තර
සමග තොට යන තේරුම දෙනවා. තුරෙයි යන්න සිංහල තෙර ඇසුරෙන් දෙමළ කතාකරන ජනයා තනා ගන්න
ඇති. එයින් කියැවෙන්නේ නල්ලූරුවට හා පාණදුරේට එක් කලෙක දෙමළ කතා කරන ජනයා පැමිණ
ඇති බවත් ඔවුන් එහි බහුතරයක් වී ඇති බවත්. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අවට සිංහල බහුතරය
හේතුවෙන් ඒ ජනයා සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා. කන්කසන්තුරෙයි ජනයා සිංහල
බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවුණේ ලන්දේසි සමයේ තොග පිටින් වෙල්ලාලයන් මෙරටට ආනයනය
කළ නිසා. උතුරේ සිංහල ග්‍රාම නාම පිළිබඳ
චන්ද්‍රසිරි ධර්මවර්ධන අධ්‍යයනයක් කර තියෙනවා. ඔහු මා මෙන් නොව විද්‍යාඥයෙක්. කලක් ජයවර්ධනපුර
මණ්ඩපාධිපති වෙලා හිටියා.
පවත්නා කරුණු සමග සංගත වන ලෙස දැනුම සංස්කරණය
කිරීම යන්න පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට නොතේරෙන දෙයක්. ඔවුන් ජීවිතේට
දැනුමක් සංස්කරණය කර නැහැ. සංස්කරණය කෙරෙන
දැනුම සංශෝධනය වීමටත් ඉඩ තියෙනවා. දැනුම කියන්නෙ වැඩ කරන කතාවක් මිසක් ඊනියා
වාස්තවික යථාර්ථයක්වත් සත්‍යයක්වත් නො වෙයි. ආසනය කියන සංකල්පය වුණත් සංශෝධනය වන
ආකාරය උඩැක්කි අසුන නිදර්ශනයට ගෙන මගේ ලෝකයේ විස්තර කර ඇති.
මෙරට වැව් බැන්දේ කවුද? විජය
හා පැමිණි පිරිසගේ දරු මුණුබුරන් ද? පණ්ඩුකාභය කුමරු කුඩා කළ සෙල්ලම් කළ
හැංගුණු වැව කාගේ වැඩක් ද? යක්‍ෂ ජනයා පර්සියාවෙන් (ඉරානයෙන්)
ඉන්දියාවට පැමිණ එතැනින් ලංකාවට සංක්‍රමණය වන්න ඇති කියා හිතන්න පුළුවන්. ඔවුන්
පර්සියාවෙන් ඉන්දියාවට පැමිණි බවට කතාවක් තියෙනවා. මගේ කතාව තමයි එසේ පැමිණි යක්‍ෂයන්ගේ
තාක්‍ෂණය හා මෙරට චින්තනය වැව් බැඳීමට හේතු වුණා කියා. එය වැඩ නොකරන්න පුළුවන්.
එසේ නම් වැව් බැඳීම ගැන වැඩ කරන කතාවක් සංස්කරණය කරන්න. එහි දී වෙනත් රටක මෙරට
වැව් තැනීමට පෙර වැව් නොතිබූ බවත් සැලකිල්ලට ගන්න.
පණ්ඩුකාභය කතාව අති සුන්දර එකක්. සෙනරත්
පරණවිතාන මහතාගේ ග්‍රීකයෝ හා මෞර්යයෝ කියවන විට පණ්ඩුකාභය රජුට තිබූ ග්‍රීක
සම්බන්ධකම් දැන ගන්න පුළුවන්. යවනයන් කියන්නේ අයෝනියාවෙන් ඉන්දියාවට පැමිණි ග්‍රීකයන්ට
මිසක් මුස්ලිමුන්ට නො වෙයි. එහෙත් පසු කලෙක දී යවනයන් යන වචනය ඉන්දියාවට බටහිරින්
පැමිණි සියල්ලන් සඳහා යොදාගත් බවක් පේනවා. මට හිතෙන්නේ පණ්ඩුකාභයලා දෙදෙනකු ඉන්න
ඇති කියා.
මහාවංසයේ දේවානම්පිය තිස්ස රජුට පෙර කාලය ගැන
කියන කතා සියල්ල සමග මා එකඟ වනනේ නැහැ. එහෙත් ඒ කතෝලික පූජකවරයකු වූ එස් ජී
මෙන්දිස්ගේ ඇසින් බලා නොවෙයි. මා බලන්නේ යක්‍ෂ ජනයාගේ ඇසින් මිස විජයගේ ඇසින් නො
වෙයි. පණ්ඩුකාභය රජු අනුරධපුරයේ එක් ප්‍රදේශයක් යවනයන්ට වෙන් කෙළේ ඇයි? මා
ථෙරවාදය දෙසත් මහාවංසය දෙසත් බලන්නේ නූතන ක්‍රිස්තියානි බමුණු ඇසකින් නො වෙයි. මා
ඒ බලන්නේ පැරණි බමුණු මතවලටත් වෙනස් ව.
අප මහාවංසයත් ථෙරවාදයත් බමුණු මතවලින් නිදහස්
කර ගන්න ඕන. එහෙත් එයින් කියන්නේ අප බටහිර ක්‍රිස්තියානි නූතනත්ව බමුණු මතවලට
යටවිය යුතු බව නො වෙයි. අද ලෝකයේ පාසල්වලත් විශ්වවිද්‍යාලවලත් උගන්වන්නේ බටහිර ක්‍රිස්තියානි
නූතනත්ව බමුණූ මත. එදා අප ඉන්දියාවේ බමුණු මතවලට යටවුණේ නැහැ. තුන්වැනි පස්වැනි
සියවස් අතර තෙළිඟු දැනුම් ආධිපත්‍යයකට ලංකාවත් බුරුමයත් ගොදුරු වූ නමුත් අප
මුළුමනින් ම යටත් වූයේ නැහැ. විටින් විට
බමුණු ආධිපත්‍යයට එරෙහි ව අප සටන් කර ජයගෙන තිබෙනවා. මා ඉතා ආශාවෙන් කියවන්නක් නම්
උම්මග්ග ජාතකයේ මහෞධ පඬිතුමන් කේවට්ටයාගේ හොම්බ බිම ඇතුල්ලූ කතාව. එසේ කෙළේ
බෝසතුන් බවත් අමතක කරන්න එපා. අද අපට බටහිර ක්‍රිස්තියානි කේවට්ට බමුණන්ගේ හොම්බ
බිම අතුල්ලන්න සිදු වී තියෙනවා. මා කලින් කියා ඇති පරිදි එකල බමුණන් ප්‍රකාශ කෙළේ
තම මත. එහෙත් අද මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල බමුණන්
කියවන්නේ තමන් බටහිර ක්‍රිස්තියානි නූතන බමුණන්ගෙන් අහුලා ගත් මත. ඔවුන්ට තමන්ගේ
මතයක් නැහැ.