History

Wednesday, 2 February 2022

ධර්මපාලතුමා හා සිංහල බෞද්ධයා

 

ධර්මපාලතුමා හා සිංහල බෞද්ධයා

 

මේ ලිපිය පෙරේදා (ජනවාරි 31) මහේශාක්‍ය කුණු බිත්තර සම්ප්‍රදාය මැයෙන් පළ වූ ලිපිය හා සම්බන්ධයි. එහි මේ කොටස සඳහන් වුණා "ඉංගිරිසින් තම පාසල් මගින් අනුකාරක නායකයන් පිරිසක් බිහි කෙරුවා. ධර්මපාලතුමාත් ඒ පාසල් දෙකේම ඉගෙන ගත් අයෙක්. එතුමා අර නායකයන් හැඳින්නුවෙ කළු සූද්දන් ලෙස. ඉංගිරිසින් ධර්මපාලතුමා හැර මේ නායකයන් කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවා. ඔවුන් අපට විශ්වවිද්‍යාලයක් දුන්නෙ නැහැ. එහෙත් කාටත් පෙර සර්වජන ඡන්දය දුන්නා. ඒ අතර සියල්ලන් ම එකතු වී ධර්මපාලතුමා ඉන්දියාවට යැවුවා.” මෙහි පාසල් දෙක යනු රාජකීය හා ශන්ත තෝමස් විදුහල්.

 

ධර්මපාලතුමා ගැන විවිධ මත පළවෙනවා. පඬිනැට්ටියක් කියා තිබුණා ධර්මපාලතුමා ජාතික නායකයකු නොව සිංහල බෞද්ධ නායකයෙක් පමණක් ය කියා. ඇය දන්නේ වලංගු නොවන බටහිර ජාතිය යන සංකල්පය වෙන්න ඕන.  පඬිනැට්ටියට අනුව 1915 සිංහල මුස්ලිම් කෝළාහල ඇති වී තිබෙන්නේත් ධර්මපාලතුමාගේ මත නිසා. පඬිනැට්ටන් නැට්ටියන් මත ප්‍රකාශ කරන්නේ වෛරයෙන් මිස කරුණු හදාරා නො වෙයි. ඔවුන්ට සමහරවිට එසේ හැදෑරීමට තරම් ශක්තියක් නැතිවා වෙන්නත් පුළුවන්. පහේ ශිෂ්‍යත්වය අසමත්ව විද්‍යාව හදාරන්නට බැරුව ශාස්ත්‍ර පීඨ විෂය හදාරා යම්තම් බෝට්ටුවේ විශ්වවිිද්‍යාලයට පැමිණ දෙවෑනි පංතියේ පහළ ශ්‍රේණියේ උපාධි ලබා ගෙන දැන හැඳුනුම්කම් මත විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් වූ අය ගැන මා දන්නවා. නව දැනුමක් නිර්මාණය කිරීම තබා ඇති දැනුම වටහා ගැනීමත් ඔවුන්ට ප්‍රශ්නයක්.

 

සමහරු නෙදර්ලන්ත සිංහල බෞද්ධ විරෝධි විශ්වවිද්‍යාල උපාධි කර්මාන්තශාලාවක (ෆැක්ටරියක) උපාධි ලැබූ අය. මොවන් සමහරකු අද තෝම්බු විකිණීමේ ව්‍යාපාරයක යෙදි ඉන්නවා. අවාසනාවකට ඔවුන් රැකීමට බෞද්ධ ලේකම්ලා ඉදිරිපත් වී සිටිනවා. ඔවුන්ගේ ඥාතීන් හිතනවා නම් අප මේ කිසිවක් නෙදැන කතා කරනවා කියා ලියකියවිලි සහිතව ලිපි බලාපොරොත්තු වන්න.  ශ්‍රී ල නි ප ප්‍රමුඛ ආණ්ඩුවලට හා දැන් පොහොට්ටුව ප්‍රධාන ආණ්ඩුවට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය ඔවුන්ට හිතවත් දක්‍ෂ පරිපාලන නිලධාරීන් නැති වීම. 1947 සිට ම පරිපාලන නිලධාරීන් වැඩිපුර පක්‍ෂපාති වූයේ එ ජා ප ප්‍රධාන ආණ්ඩුවලට. ශ්‍රී ල නි ප ආණ්ඩුවලට තමන්ට පක්‍ෂපාත නිලධාරීන් හඳුනාගැනීමේ නොහැකියාවක් ද තියෙනවා. ඒ පක්‍ෂපාත නිලධාරීන් මාරු කර යැවීම නිසාත් ප්‍රශ්න ඇති වෙනවා. අද පවතින අවුල් තත්වයට ඒ සියල්ල යම් ආකාරයකින් බලපානවා.   

 

ගම්පොළ මුස්ලිම් පල්ලිය අසලින් 1915 ගිය පෙරහැරකට මුස්ලිමුන් විරුද්ධ වූයේ ධර්මපාලතුමාගේ බස් අසා නො වෙයි. මෙරට පෙරහැරවලට තහංචි පැනවීමට මුස්ලිමුන් ඉදිරිපත් වූයේ ඉංගිරිසින් ගිවිසුම්වල මොනවා පොරොන්දු වුණත්, 1892 ආඥාපනතෙන් බෞද්ධ සිද්ධස්ථානවලට විශේෂයක් කළත්, ඔවුන් බුද්ධාගමට විරුද්ධ ව වැඩ කළ නිසාත් අන්‍යාගමිකයන් බෞද්ධයනට විරුද්ධ ව මෙහෙය වූ නිසාත්. පංච මහා වාද ඇති වීමට මුල් හේතුව වූයේ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත පූජකවරුන් හා දේශකයන් බුදුදහමට අපහාස කිරීම.

 

පංච මහා වාද ධර්මපාලතුමාගේ වැඩක් නොවෙයි. ධර්මපාලතුමා බිහි වූයේ ම ඒ වාදවල ප්‍රතිඵලයක් ලෙස. ඕල්කට්තුමා ද මෙරටට පැමිණියේ ඒ වාද නිසා. එහෙත් ඕල්කට්තුමා කිසි දිනෙක බෞද්ධයකු වුණේ නැහැ. එතුමා පරමවිඥානාර්ථවාදියකු මිස බෞද්ධයකු නො වෙයි. ඉන් කලකට පසු ව බිහි වූ ඊ ඩබ් අදිකාරම් මහතා ද බෞද්ධයකුට වඩා ක්‍රිෂ්ණමූර්තිවාදියකු වුණා. ආනන්ද විද්‍යාලයේ පළමු විිදුහල්පති ලෙඩ්බීටර් මහතා (පසුව දේවගැති) ද බෞද්ධයකු නො වෙයි. පසු කාලයක මෙත්තානන්ද මහතා යමක් කිරීමට උත්සාහ ගත් නමුත් එයට පසුබිමක් හා දර්ශනයක් තිබුණේ නැහැ. එකල ලේක්හවුසිය කාටුන් චිත්‍ර ඇන්දේ මෙත්තානන්ද මහතා වඳුරකු ලෙස දක්වමින්. එකල ප්‍රභූ පාසල්වල විදුහල්පතිවරු මෙත්තානන්ද මහතාට විරුද්ධ ව එක්සත් වුණා. ලේක්හවුසිය මෙරටට කර ඇති විනාශය අදත් දිගට ම කරනවා. එය රජයට ගැනීමෙන් වැඩක් වෙලා නැහැ. හැත්තෑවේ ආණ්ඩුව කඩා වැටීමට ලේක්හවුසිය මාක්ස්වාදීන්ගේ මුල් වීමෙන් රජයට ගැනීම නම් හේතුවක්  වුණා.

 

ලන්දේසින්ගෙ කාලයේ සිට ම මෙරට ප්‍රශ්නය සිංහල බෞද්ධයනට (එකල සිංහල බෞද්ධයන් කියා වර්ගීකරණයක් තිබුණේ නැහැ. එහෙත් අපි සිංහල බෞද්ධ යන්න යෙදා ගන්නවා. පසුව මෙය තවත් පැහැදිලි වේවි)  හිමි ව තිබූ තැන හා සිංහල බෞද්ධ සංස්කෘතියට තිබූ තැන අහිමි කිරීම. අදත් ඒ තැන අහිමි කෙරිලා. ලන්දේසීන් තමයි වෙල්ලාලයන් මෙරටට තොග වශයෙන් ගෙනැවිත් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය ආරම්භ කෙළේ. අද නෙදර්ලන්තය තෝම්බු ගැන උනන්දුවක් දැක්වීම පූුදුමයක් නො වෙයි. අවාසනාවකට ඇතැම් බෞද්ධ නිලධාරීන්ට සිංහලකම තේරෙන්නේ නැහැ.  පංච මහා වාදවලට මුල් වූ ගිහි නායකයන්ට ද සිංහලකම වැදගත් වුණේ නැහැ. ඔවුන්ට වැදගත් වූයේ බෞද්ධකම. එහෙත් මෙරට බෞද්ධකම රැකුණේ සිංහලකම නිසා.

 

ඕල්කට්තුමාට කිසිම සිංහලකමක් තිබුණේ නැහැ. ඔහු බෞද්ධයකු වුණේවත් නැහැ. ඕල්කට්තුමා එස් මහින්ද හිමි හෙවත් සීකිම් මහින්ද හිමි හෙවත් සිංහල මහින්ද හිමි සමග සංසන්දනය කිරීමේ දී මෙය වඩාත් පැහැදිලි වෙනවා. සංස්කෘතික ව සිංහල බෞද්ධයකු වූ මහින්ද හිමියන් ඕල්කට් බෞද්ධයන්ගෙන් වෙනස් වුණා. ධර්මපාලතුමා සංකල්පීය නොවුණත් ඕල්කට් බෞද්ධයන් තේරුම් ගත්තා. එතුමා සිංහල බෞද්ධකම අවධාරණය කෙළේ එබැවින් කියා හිතන්න පුළුවන්. පෘතුගීසින් ඒමට පෙර සිංහල බෞද්ධ සංකල්පයක් අවශ්‍ය වුණේ නැහැ. සිංහලයන් යම් පිරිසක් කතෝලික ක්‍රිස්තියානි ආගම් වැළඳ ගැනීමෙන් පසුවත් ඒ සංකල්පය අවශ්‍ය වුණේ නැහැ. සිංහලයන් එවැනි වෙනස් වූ සිංහලයන් හැඳින්වූයේ ආගම්කරයන් ලෙස. අප කුඩා කළ ගමේ කතෝලික පිිරිසක් සිටි ගෙදර හඳුන්වනු ලැබුයේ ආගම් ගෙදර කියා. සිංහල බෞද්ධයන් කලකට පෙර තමන් ආගමක් ඇදහූ පිරිසක් යැයි හිතා නැති බව පැහැදිලියි. මට හිතෙන විධියට සිංහල බෞද්ධ සංකල්පය ධර්මපාලතුමාට අවශ්‍ය වූයේ ඕල්කට් බෞද්ධයන්ගෙන් වෙන්වීමටයි. එතුමා ආරම්භ කළ පුවත්පතත් සිංහල බෞද්ධයා ලෙස නම් කළා.

 

ගුණදාස අමරසේකර මහතා ඉහත සඳහන් දේ කියා නැතත් ඔහු ධර්මපාලතුමා හුදු බෞද්ධ උපාසකයකු නොව දහනවවැනි සියවස අග නිදහස වෙනුවෙන් සටන් කළ නායකයා ලෙස හඳුනාගැනීම විශිෂ්ට කරුණක්. මා අමරසේකර මහතාට ගරු කරන්නේ ඔහුගේ කෙටිකතා,  නවකතා, කවි , ඊනියා ශාස්ත්‍රීය ලිපි තබා ජාතික චින්තනය නිසාවත් නොව ධර්මපාලතුමා නිදහස් සටනේ නායකයා ලෙස හඳුනාගත් නිසා. ඔහුගේ කතා (ස්වයංචරිතාපදාන කතා පෙළ හැරුණු විට) කවි හා අනෙක් අදහස් ජාතික විඥානය, සභ්‍යත්ව රාජ්‍යය ආදී සියල්ල බටහිර චින්තකයන්ගේ අදහස්. ජාතික චින්තනය ද බටහිර අදහසක්! අමරසේකර මහතා ධර්මපාලතුමාගේ මාක්ස්වාදයක් ගැන විවිධ අවස්ථාවල අසංගත කතා කියා තියෙනවා. ඒ එකක්වත් වැදගත් නැහැ. ධර්මපාලතුමා කළ ඊනියා පංති සටනක් නැහැ. එතුමා අඩු තරමෙන් බෞද්ධ සමාජවාදයක් ගැන කතා කෙළේ නැහැ. එතුමාට අවශ්‍ය වූයේ සිංහල බෞද්ධයන්ට රටේ හිමි තැන ලබා දීම. එහෙත් මෙරට ඕල්කට් බෞද්ධයන් හා ආගමිකයන් (අද ව්‍යවහාරය අනුව නම් අන්‍යාගමිකයන්) එතුමාට මෙරට ඉන්න ඉඩ දුන්නේ නැහැ.