History

Sunday, 20 February 2022

එදා වේල ටුවර්ස්

 එදා වේල ටුවර්ස් 


පෝරු මස්තකයේ දෑඟිලි පැටලීම ගැන අප කවුරුත් දන්නවා. එය බමුණු චාරිත්‍රයක් බවයි මගේ වැටහීම. එය එසේ වුණත් නැතත් අප බමුණන්ට බනිමින් බමුණු කතා කියන අය. ද්වංගුල පඤ්ඤා කියන්නෙත් බමුණු කතාවක්. ඒ පාලි යෙදුම බමුණන්ගෙ නො වෙයි. ඔවුන් එය කියන්න ඇත්තෙ සංස්කෘතෙන්. එය සිංහලට දෑඟිලි නුවණ කියා කියන්න පුළුවන්. දෑඟිලි නුවණ කියන එක හැඳිමිටේ දිග කියල සිංහලයන්ගෙ බමුණු ව්‍යවහාරෙ යෙදෙන්නෙ. 


අද දිනය 220220 කියා ලියන්න පුළුවන්. එය 220 220 කියා කියන්නත් පුළුවන්. මියන්මා වැසියන් 2 ඉලක්කම වැඩියෙන් යෙදෙන දවස් සුබ දවස් කියල හිතනවා. අද සුබ දවසක්. විදුලිය කැපෙන එකක් නැද්ද? මියන්මාහි ලංකා තානාපති නිවසට නම් විදුලිය කැපීම ප්‍රශ්නයක් නො වෙයි. එහි ජනකයක් හෙවත් ජෙනරේටරයක් තියෙනවා. මියන්මාහි ලංකා තානාපති නිවසට නම් හැම දවසක් ම සුබ දවසක්!  ලංකාවට ජනකයක් නැති වුණත් ජනක රත්නයක් තියෙනවා. ඒ ජනක රත්නායක.  ඔහුට අනුව විදුලිය කපන්නෙ නැහැ. ඒත් කැපෙන්න පුළුවන්. 


ජනක රත්නායක මගින් පිළිබිඹු වන්නෙ අපේ රටේ දෑඟිලි නුවණ. එය ඔහුගෙ ප්‍රශ්නයක් නො වෙයි. එය සමස්තයක් ලෙස ගත්ත ම සිංහලයන්ගෙ ප්‍රශ්නයක්. බමුණන් ස්ත්‍රීන්ට පරිභව කිරීමටයි ඔවුන්ගෙ දෑඟිලි නුවණ ගැන කිවුවෙ. සිංහල සංස්කෘතියෙ හැඳි මිටේ නුවණ කියන්නෙත් දුරට කල්පනා කිරීමට නොහැකි වීම සැලැස්මක් නැති වීම ආදිය. ස්ත්‍රිවාදීන් මොන කතා කීවත් පුරුෂාධිපත්‍යයට ප්‍රධාන හේතුව පිරිමින්ට ගැහැණුන්ට වඩා ටිකක් හරි දුර පෙනීම. ඒ මිසක් පුළුල් උර සහ දේහ ශක්තිය නො වෙයි.  එහෙත් සිංහල පිරිමින්ටත් එතරම් දුරක් පේන්නෙ නැහැ. ඇඟිලි දෙකට වඩා දුර පෙනුණත් ඔවුන්ට වියතකට අඩුවෙන් පේන්නෙ.  වියත්මගටත් වියතක්වත් පේන්නෙ නැහැ. 


අප අවුරුදු සිය ගණනක් තිස්සෙ ක්‍රියා කරන්නෙ සැලැස්මක් ඇතුව නො වෙයි. සැලැස්මක් ඇතුව ක්‍රියා කරන්න දුර පේන්න ඕන. දුර පේන්නෙ තරමක් හරි වියුක්ත ව හිතන අයට. සිංහලයන් කොතරම් පුරසාරම් දෙඩුවත් ඔවුන්ට වියුක්ත ව හිතන්න බැහැ. මා හැමදාමත් සිංහලයන්ට බටහිර ගණිතය බටහිර විද්‍යාව, විශේෂයෙන් ම ප්‍රවාදාත්මක (Theoretical) විද්‍යා බැහැ කියන්නෙ ඒ සඳහා වියුක්ත ව හිතන්න ඕන නිසා.  මට ප්‍රවාදාත්ම භෞතික විද්‍යාඥයකු වෙන්න බැරි වුණෙ ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට වියුක්ත ව හිතන්න බැරි නිසා. 


අප සීමිත නිදහසක් ලබා ගන්න පෙර සිට ම සැලැස්මක් ඇතුව වැඩ කළෙ නැහැ. අපේ ඊනියා නිදහස් සටන් සැලැස්මක් ඇතුව කළ දේ නො වෙයි. ඉන්දියාවෙ නිදහස් සටනට යම් සැලැස්මක් තිබුණ. එය බමුණු සම්ප්‍රදායෙන් එන්නක්. ඉන්දියාවෙ තවමත් බමුණු සම්ප්‍රදාය තියෙනවා. ලෝකයෙ ප්‍රධාන බමුණු සම්ප්‍රදාය දෙකක් තියෙනවා. එකක් ඉන්දීය සම්ප්‍රදාය. අනෙක ඉංගිරිසි බමුණු සම්ප්‍රදාය. 


ඔවුන් දෙකොටස ම සැලැසුම් කාරයො. ඉංගිරිසින් ලෝකයක් පාලනය කෙළෙ මහා පිරිසක් ඇතුව නො වෙයි. ඔවුන්ගෙ සැලසුම් කළමනාකරණය ඉතා ඉහළයි. ලංකාව ගැන කල්පනා කරන්න. පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට අවුරුදු තුන්සීයක් තිස්සෙ ලංකාව යටත් කරන්න බැරි වුණා. 1798 සිට ගණන් බැලුවත් ඉංගිරිසින් අවුරුදු විස්සක් යන්න කලින් ලංකාව යටත් කර ගත්තා. ඔවුන් එහි දී ඉතා සැලසුම් සහගත ව සිංහලයන් අතරත් බෙදීම් ඇති කළා. විශේෂයෙන් ම කුලය පදනම් කර ගෙන අප බෙදුව. සිංහලයන්ට යුද්ධ ශක්තිය තිබුණත් ඉංගිරිසින්ගෙ සැලසුම් හමුවෙ ඔවුන් පරාද වුණා.  


1815 දි බ්‍රවුන්රිග් සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් බුද්ධාගම ආරක්‍ෂා කරන බවටත් පෝෂණය කරන බවටත් ඉන්දියාවෙන් පැමිණි බ්‍රාහ්මණ වංශයෙ නිළමෙලාට පොරොන්දු වුණා. ඩොයිලි ඒ සම්බන්ධයෙන් විශාල දෙයක් සැලසුම් කළෙ බුලත් විට කමින්. ඒත් බ්‍රවුන්රිග්ට හරි ඉංගිරිසින්ට හරි බුද්ධාගම ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. 1845 වන විට ඔවුන් ඒ වග කීමෙන් මිදුණෙ දියවඩන නිළමෙට හා මල්වතු අස්ගිරි විහාරවලට දන්ත ධාතුන්වහන්සේ භාර දීමෙන්. ඉංගිරිසින් එහි දී කුලය යොදා ගත්තා. ගොවිගම කුලය හා ඉනුත් ඊනියා උඩරට ගොවි රදළ කුලය ප්‍රධාන කුලය බවට පත්කෙරුණෙ ඉංගිරිසින් විසින්. මෙහි බ්‍රාහ්මණ කතාවක් තියෙනවා. මේ ඉතිහාසය පස්සෙ කියන්නම්. එතෙක් ඉවසන්න බැරි නම් තිස්ස කාරියවසම් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ  ආචාර්ය උපාධි නිබන්ධනයෙ තියෙන තොරතුරු හොයා ගෙන කියවන්න. 


අපේ නිදහස් සටනත් නිදහස ලැබීමෙන් පසු අපේ වැඩත් අද කියන විධියට එදා වේල ටුවර්ස් වැඩ. අපට වියුක්තව හිතන්න බැහැ. වියුක්ත ව හිතන සියල්ලන්ට සැලසුම් කරන්න පුළුවන් කියන එක නොවෙයි මා කියන්නෙ. යුදෙව්වන් තමයි ඉහළ ම වියුක්ත චින්තකයො. ඒත් ඔවුන්ට සැලසුම් කරන්න බැහැ. ඉංගිරිසින් යුදෙවු වියුක්ත චින්තනය ආධාරයෙන් සැලසුම් කරන්න දැන ගත්තා. ඔවුන් අදත් ලෝකය පාලනය කරනවා. 


අපේ එදා වේල ටුවර්ස් දර්ශනයෙ ප්‍රතිඵලයක් හැටියට අවුරුදු හැත්තැවක් ඇතුළත අප ආර්ථික අර්බුදයේ ප්‍රපාතයට ම වැටිලා. දැනුත් අප සැලසුමක් ඇතුව ක්‍රියා කරන්නෙ නැහැ. පොහොර ප්‍රශ්නය අවුල් වුණෙ සැලසුමක් නැති කමට. අපේ අවශ්‍යතා මොනව ද කියලවත් අප හඳුනාගෙන නැහැ. පුළුවන් පුළුවන් අය හැකි ඉක්මණින් ධනය උපය ගන්න හදනවා. ඩොලර් අර්බුදයත් ඔවුන් ප්‍රයෝජනයට ගන්නවා. ඒත් සැලසුමක් ඇතුව නො වෙයි. පට් පට් ගාලා සම්තින් එකක් ලබා ගන්න. 


අප දෑඟිලි පටලවා ගත්තට කමක් නැහැ. ඒත් දෑඟිලිවලට එහා හිතන්න ඕන. අප අද සති දෙකකට වඩා දුර බලන්නෙ නැහැ. අද අප සියල්ල පටලවා ගෙන. එහෙමත් නැත්නම් අනා ගෙන. එය මේ ආණ්ඩුවෙ ප්‍රශ්නයක් නො වෙයි. කලක සිට අපේ සම්ප්‍රදාය අනාගැනීම හා එදා වේල ටුවර්ස්. එය අපට පුරුදු වුණෙ කොහොම ද කියන එක ප්‍රශ්නයක්.