History

Tuesday 1 March 2022

ලෙනින්ගේ අනුප්‍රාප්තික පුටින් වැට්ටවීම

ලෙනින්ගේ අනුප්‍රාප්තික පුටින් වැට්ටවීම

 

කවුද පඬි නැට්ටකු කියා තිබුණා ජිජැක් (මේ උච්චාරණය ගැන මා සහතික වන්නේ නැහැ) යුක්රේන අර්බුදය ගැන දෙපැත්ත ම විවේචනය කරමින් හොඳ විග්‍රහයක් කරල තියෙනවා කියා. දෙපැත්තේ ම වැරදි කියන එක හොඳ විග්‍රහයක් විශ්ලේෂණයක්  නො වෙයි. අපට අවශ්‍ය වන්නේ සිදු වන්නේ කුමක් දැයි තේරුම් ගැනීම. එහෙමත් නැත්නම් ඒ ගැන කතාවක් ගොඩ නැගීම. ඔය විච්චූරණ කාරයන් නිකම් ම නිකම් සැරසිලිකාරයන් පමණයි. හරවත් දෙයක් කීමට ඔවුන්ට බැහැ. ඔවුන්ගේ විච්චූරණ අපට කියන්න එන පඬි නැට්ටන්ට අර සරුව පිත්තල කොල ටිකක් අරන් දෙන්න ඕන.

 

මා ඊයේත් සඳහන් කළා අප එකිනෙකා හිතන පතන ආකාරය වෙනස් කියා. පඬි නැට්ටන් ගැන එහෙම දෙයක් කියන්න බැහැ. ඔවුන් හිතන්නේ නැහැ. ඒ හිතන්න බැරි නිසා. විශේෂයෙන් ම වමක් නැති දකුණේ වමාලා කරන්නේ වමාරා කෑම පමණයි. ඔවුන් බටහිරයන් කියන දේ වමාරා කනවා. අද අපට පුවත් බෙදා දෙන්නන් ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂලා මෙන් ම පුවත් ඉදිරිපත් කරන්නන් ද උදේට ඊනියා විිද්‍යාත්මක විශ්ලේෂණ ඉදිරිපත් කරන්නන් ද බටහිර ප්‍රවෘත්ති ආයතන කියන දේ අපට සිංහලෙන් කියල දෙනවා. වරද්දන වෙලාවල් නැතුවා නො වෙයි.

 

අද යුද විරෝධීන් පුටින් විවේචනය කරනවා. එදා යුද විරෝධීන් මෙරට හමුදාව පට්ට ගැහුවා. මේ අය කරන්නේ බටහිරයන්ට අවශ්‍ය දේ. පඬි නැට්ටන් ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් විවේචනය කෙළේ නැහැ. දෙමළ ත්‍රස්තවාදීන් ළමුන් යුද්ධයට ගෙන යෑම වරදක් ලෙස දුටුවේ නැහැ. වැඩිම වුවොත් අර තොල් මැතිරීමක් පමණක් කරන්න ඇති. ඒ තෙල් බෙදීම සඳහා. පඬි නැට්ටන් කියාවි ප්‍රභාකරන් කෙළේ දෙමළ ජනතාවගේ විමුක්ති සටන කියා. විමුක්තිය වෙනුවෙන් ආයුධ අතට ගැනීම ප්‍රශ්නයක් නොවෙයි කියාවි. ඒත් නිකම් අහල බලන්න එකල ජ වි පෙ ආයුධ අතට ගත්තෙ විමුක්තිය වෙනුවෙන් ද කියා. අද නම් රනිල්දාසලා යටත්විජිතලා විප්ලවය අත්හැර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී මාවතට එළඹිලා නිසා පඬි නැට්ටන්ට කිසි ප්‍රශ්නයක් නැති වේවි.

 

පඬි නැට්ටන්ට පුටින් වැරදියි. ඔහු ආක්‍රමණිකයෙක්. බටහිරයන් විශේෂයෙන් ම ඇංග්ලො සැක්සන් අධිපතිවාදීන් පුටින්ට විරුද්ධ ව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්. ඔවුන් යුක්රේනයට ආයුධ සැපයීම නිවැරදියි. යුක්‍රේනය අවුරුදු දහයක් පමණ තම රටවැසියන්ට ම විරුද්ධ ව බෝම්බ දැමීම නිවැරදියි. යුද විරෝධීන් යුද්ධයට විරුද්ධ නැහැ. ඔවුන් විරුද්ධ එක් පාර්ශ්වයකට පමණයි. එක් පාර්ශ්වයකට පමණක් දක්වන විරෝධය ඔවුන් ඊනියා යුද විරෝධයක් ලෙස සරසන්න හදනවා.  අපි යන්නේ කොයි පාරේ. එදා නම් මාක්ස් ලෙනින් ගිය පාරේ. අද නම් බයිඩන් ජොන්සන් යන පාරේ. කාට හරි පාර වැරදිලා ද? විච්චූරණ කාරයන්ට කතාවක් නැති වුණත් අපට මේ ගැන කතාවක් තියෙනවා.           

 

අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තනය. එසේත් නැත්නම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය. එහි බල පුළුවන් කාරයන් ඇංග්ලො සැක්සන් රටවල්. ඔවුන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටවල්. මාක්ස්ට වුවමනා කෙළේ ආපසු කතෝලික චින්තනයේ සාමුහිකත්වයට යෑමට. ඔහු ඉදිරිපත් කෙළේ රාජ්‍ය ධනවාදයක්. රාජ්‍ය ධනවාදය ඇති කිරීමට ඊනියා කම්කරු පංති ආඥාදායකත්වයක් (ඩඉච) පිහිටුවන්න අවශ්‍ය ය, හැකි ය කියා ඔහු කිවුවා. මාක්ස් ද පසුව ට්‍රොට්ස්කි ද බලාපොරොත්තු වූයේ පළමුව ඊනියා දියුණු ධනපති රටවල අර ආඥාදායකත්වය පිහිටුවන්න.

 

එහෙත් එය නොකෙරෙන වැඩක් බව බටහිර රටවල ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ඉවෙන් මෙන් දැන ගත්තා. ඔවුන් විප්ලවය අත් හැරියා. විප්ලවය සම්බන්ධයෙන් මත තුනක් තිබුණා. බටහිර යුරෝපීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ධනවාදය සංශෝධනය කර හොඳ අතට ගැනීමට කටයුතු කළා. ට්‍රොට්ස්කි ජර්මනියේ රෝසා ලක්සම්බර්ග් වැන්නන් ඊනියා කම්කරු පංති ආඥාදායකත්වය වෙනුවෙන් පෙනී සිටියා. ලෙනින්ට තුන්වැනි මතයක් තිබුණා. ඔහු රුසියන් ජාතිකත්වය මත පදනම් වෙලා සාර් පැන්නීම සඳහා කටයුතු කළා.

 

මා හිතන්නේ ලෙනින් මාක්ස් කී දේ ඔහුට ම ආවේණික ආකාරයකට තේරුම් ගත්තා කියා. මාක්ස්ගේ කම්කරු පංතියට ඔහු ආදේශ වුණා. ඊනියා පංති විඥානයක් උපතින් නොලබන කම්කරු පංතියකට කම්කරු පංති විඥානය ගෙන යෑමට ලෙනින් ඉදිරිපත් වුණා. විඥානයක් නැති පංතියක් නැති බව ලෙනින්ට තේරුම් යන්න ඇති. ලෙනින් ඊනියා කම්කරු පංතියක නාමයෙන් තම බෝල්ෂෙවික් පක්‍ෂයට (ඊනියා විඥානයට) බලය අත්කර ගැනීමට කටයුතු කළා.

 

ලෙනින් කළ දේ තේරුම් ගැනීමට විවිධ අය විවිධ කතා කියා තියෙනවා. ලෙනින්ගේ විප්ලවයට පදනම් වූයේ මාක්ස්වාදය නොව රුසියන් ජාතික චින්තනය (national thought) බව අන්ද්‍රයෙප්ගෙන් කියැවුණා. ගුණදාස අමරසේකර මෙරටටත් ජාතික චින්තනයක් අවශ්‍ය යැයි කිවුවේ ඒ කතාව අහුලා ගෙන. අමරසේකරට විප්ලවයක් අවශ්‍ය වුණේ නැහැ. ඊනියා කම්කරු පංති ආඥාදායකත්වය ගැන අමරසේකරට කිසි ම අදහසක් නැහැ. විවිධ විසුරුණු අදහස් ලෙස ජාතික චින්තනය යන්න හරිශ්චන්ද්‍ර විජේතුංග කුලියාපිටියේ ප්‍රනන්ද ආදීන් ද යොදා ගෙන තියෙනවා. එහෙත් එය සමාජගත වූයේ අමරසේකර නිසයි.

 

ලෙනින්ගේ විප්ලවය තේරුම් ගැනීම සඳහා කලකට පෙර ජිලාස් ඊනියා තුන්වැනි පංතියක් පිළිබඳ කතාවක් ගොතා තිබුණා. ඔහු යුගෝස්ලේවියාවේ මාෂල් ටිටෝට ප්‍රවාද සැපයුවෙක්. එහෙත් පසුව ටිටෝ ඔහු සිරගත කළා. ජිලාස් හිතූ දේ සාධාරණයි. ලෙනින් නිසා බලයට පත් වූ ඊනියා කම්කරු පංතියක් නැහැ. එසේ නම් බලය අත්කර ගත්තේ කිනම් පංතියක් ද යන්න පංති ආකෘතිය පදනම් කර ගත් අයකුගේ හිතට නැගෙන ප්‍රශ්නයක්. එහෙත් ඊනියා තුන්වැනි පංතිය සමාජ නිෂ්පාදනය මත පදනම් ව හඳුනාගත හැක්කක් නො වෙයි. ජිලාස් නව පංතිය කොමියුනිස්ට් කතිපයාධිපත්‍යයක් (oligarchy) ලෙසයි හැඳින්වුයේ. 

 

ලෙනින් කර ඇත්තේ මාක්ස්ගේ සාමුහිකත්වය මත පදනම් ව සාර් පාලනය බිඳ දමා රුසියාවේ (සෝවියට් දේශයේ) රාජ්‍ය ධනවාදයක් බිහි කිරීමයි. ඒ ආකෘතිය පසුව මාඕටත් කස්ත්‍රෝටත් උපකාර වුණා. ඒ කිසිම තැනක ඊනියා කම්කරු පංතියක ආඥාදායකත්වයක් පිහිටුවා නැහැ. පක්‍ෂයක (දේශපාලන කණ්ඩායමක) ආඥාදායකත්වයක් නම් පිහිටුවා ගත්තා. ලෙනින්ගෙන් පසු ස්ටැලින් බෝල්ෂෙවික් පක්‍ෂයේ නායකයා වී ආඥාදායකත්වය ඉදිරියට ගෙන ගියා. ඔහු යකඩ මිනිසකු වුණා. ඔහු යටතේ සෝවියට් දේශය බලවත් රාජ්‍යයක් වුණා. එහෙත් ශක්තිමත් ආර්ථික පදනමක් තිබුණේ නැහැ.

 

1991 වන විට සෝවියට් දේශය දුර්වල වී කඩා වැටුණා. අද පුටින් නැවතත් රුසියාව ශක්තිමක් රටක් බවට පත් කරලා. පුටින් පදනම් වන්නෙත් රුසියන් ජාතිකත්වය මත. ඔහු තමයි ලෙනින්ගේ අනුප්‍රාප්තිකයා. ලෙනිනුත්  රුසියන් ජාතිකත්වය මත පදනම් වූවෙක්. බටහිරයන්ට අවශ්‍යයි පුටින් වැට්ටවීමට. බටහිරයන් ඒ සඳහා යුක්‍රේනය යොදා ගන්නවා. නේටෝව රූසියාව වටා බල මුළු ගන්වා පුටින් යුද්ධයට කැඳෙවුවේ බටහිරයන්.  

       

අවසාන වශයෙන් මෙය චින්තන ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. බටහිරයන්ට අවශ්‍ය රුසියාවේ ද (චීනයේ ද) තම ක්‍රිස්තියානි නූතනත්ව චින්තන ආධිපත්‍යය පිහිටුවීමට. පඬි නැට්ටන් කරන්නේ බටහිරයන්ට කඩේ යෑම පමණයි. එය වාසි සහගතයි.