History

Tuesday, 15 March 2022

ඉල්ලන් කෑම වෙනුවට නැවත මඩට

 

ඉල්ලන් කෑම වෙනුවට නැවත මඩට

 

දෙරණේ සංඛ අමර්ජිත් චන්ද්‍රසේන ඇමතිගෙන් අහල තෙල් මිල කීය ද ගෑස් කීය ද ආදී වශයෙන්. ඇමති දැනන් හිටල නැහැ. සංඛ මගෙන් ඇහුව නම් මා දන්නෙත් නැහැ. දළ වශයෙන් මා දන්නවා පෙට්‍රල් රුපියල් 250ට වැඩිය කියා. ඒත් මා දන්නවා අවම බස් ගාස්තුව රුපියල් විස්සක් කියා. මට එය මතක හිටියෙ මොකද කියල මා තවමත් කල්පනා කරනවා. සමහර විට බස් ගාස්තුව මා කුඩා කල සිට ගෙවන නිසා වෙන්න ඇති. අවුරුදු හැත්තෑවකට පමණ පෙර මාත් මල්ලිත් බම්බලපිටියෙ සිට තර්ස්ටන් විද්‍යාලය දක්වා බස් ගාස්තුව හැටියට ගෙවුවෙ සත පහයි. අප එය ගෙවුවෙ දෙන්නට පහයි කියමින්. එකල අවම බස් ගාස්තුව සත පහයි. අප එක් කෙනකුට ඉන් බාගයයි ගෙවුවෙ. දෙන්නට පහයි මට අමතක වන්නෙ නැහැ. ඒ කාලෙ ලංගම නැහැ. දැනුත් නැති ගාණයි.

 

කවුරු හරි කියන්න පුළුවන් ඇමතිවරයකු හැටියට චන්ද්‍රසේන ඒ මිල දැන ගෙන ඉන්න ඕන කියලා. මා නම් එහෙම හිතන්නෙ නැහැ. ඔහුට දළ අදහසක් තිබුණ ම ඒ ප්‍රමාණවත්. කතාවක් තියෙනවා දවසක් අයින්ස්ටයින්ගෙන් අහල තියෙනවා ශබ්දයේ වේගය කීය ද කියල. අයින්ස්ටයින් කිවුවලු ඒක පොතකින් බලා ගන්න කියල. චන්ද්‍රසේනටත් කියන්න තිබුණෙ දෙරණ ප්‍රවෘත්ති  බලන්න  කියල. සංඛ කියන එකක් නැහැ මිනිසුන් දෙරණ බලන්නෙ නැහැ කියල. 

 

කවුද ඇමති කෙනෙක් කියල ඉතාලියෙ තෙල් මිල ලංකාවෙ තෙල් මිලට වැඩියි කියල. ඒ ගමන පඬි නැට්ටෙක් කියල ඉතාලියෙ වැටුප් මෙච්චරයි කියල. ප්‍රශ්නය ඇත්තෙත් එතැනමයි. අපි ඊනියා දියුණු රටවල කෙරෙන දේ මෙහෙ ඒ ඊනියා දියුණුව නැතුව ම කරන්න හදනවා. අපි හැම තිස්සෙම කියන්නෙ අර රටේ එහෙමයි, මේ රටේ එහෙමයි කෝ අපේ රටේ කියල. අවුරුදු හැත්තෑවක් හැත්තැපහක් පමණ අපි කරල තියෙන්නෙ ඊනියා දියුණු රටවල කරන විධියට දියුණු නොවීම කරන්න. එහි ප්‍රතිඵලය හැටියට අපි අද ආර්ථික අර්බුදයක. අපි ණයට කාල, සැලසුමක් නැතුව කාල. නිෂ්පාදනයක් නැතුව කාල. යුතුකම් නැතුව අයිතිවාසිකම් ඉල්ලල. කෙටියෙන් කියනව නම් ඉල්ලන් කාල.

 

අලි හෙම්බිරිස්සා වසංගතය අර්බුදය දරුණු කළා පමණයි. ඒ දවස්වල රට වහන්න කියපු වෙද හාමිනේල අද දකින්න නැහැ. රවි කුමුදේශ් වැඩිය ඒ ගැන මතක් කරන්නෙ නැහැ. මා කියන්නෙ නැහැ ඔහු දෙමළ කොටි එක්ක සම්බන්ධකම් පැවැත්වුවා ය කියා. වෙද හාමිනේලට අමතක වෙන්න ඇති ඊනියා දියුණු රටවල් වැහුවට ප්‍රතිඵලයක් ලැබුණෙ නැහැ කියල. අපි රට වහල අපනයන අඩු කර ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වාහන ආනයනය නොනවත්වන්න අප තෙලෙන් බැදෙන්න තිබුණ. මා කියන්නෙ මේ ආණ්ඩුවෙ කළමනාකරණය හොඳය කියල නොවෙයි. එ ජා ප ආණ්ඩුවල කළමනාකරණයක් තිබුණ. ඒ බටහිර කළමනාකරණය. අපි ණය ගත්ත. ඒත් නිෂ්පාදනයක් කෙළෙ නැහැ. ජේ ආර්ල බණ්ඩාරනායක ආණ්ඩුවලට සෝවියට් දේශයෙන් ලැබුණු කර්මාන්ත ශාලා ටික වැහුව විකුණුව.  

 

1977 දි ජේ ආර් විවෘත ආර්ථිකය හඳුන්නල දුන්න. අපි ජමුලෙ (IMF) ගියා. අපේ ප්‍රශ්න එකක්වත් විසඳුනෙ නැහැ. අපට අවශ්‍ය දියුණුව මොකක් ද කියල අපි දන්නෙ නැහැ. දන්න එක ම දේ ඊනියා දියුණු රටවල් අනුකරණය කිරීම පමණයි. ඒ සඳහා ණය ගැනීමයි. අසුගණන්වල අපි ජාතික චින්තනයක් ගැන කතා කරන විට බයියොයි ටොයියොයි ඔක්කොම කිවුවෙ අපි බරකරත්තයෙන් ආපහු අනුරාධපුරයට යන්න හදනව කියල. එහෙම කිවුවෙ අවශෝෂණය කියන එක බයියන්ට ටොයියන්ට තේරුණෙ නැති නිසා. ඔවුන් මගේ ලෝකය තේරුම් ගන්නව තියා හරියට කියවලවත් නැහැ. දැනුම අනුකරණය ආරෝපණය අවශෝෂණය  ගැන එහි කතා කරනවා. ඒ 1986 දි. අවුරුදු තිස්පහකට පෙර.

 

බටහිර ආර්ථික විද්‍යාවෙ එක මතයක් නැහැ. එ ජා පක්‍ෂයට එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් කාලීන ව බටහිර ඊනියා දැනුමැත්තන් කියන දේ කරණවා. කරල වැඩ වරද්ද ගන්නවා. ශ්‍රී ල නි ප ආණ්ඩු කොයි එක කරන්න ද කියල කතා කර කර ඉන්නවා. එහෙම ඉඳල වැඩ වරද්ද ගන්නවා. ඒත් ශ්‍රී ල නි ප ආණ්ඩු යම් නිෂ්පාදන ආර්ථිකයක් ගැන විශ්වාස කළා. එ ජා ප ආණ්ඩු ඒ සියල්ල මකා දැම්මා.

 

අද පළමුවෙන් කළ යුත්තේ අපනයන වැඩි කරන අතර ආනයන අඩු කිරීමයි. අපනයන වැඩි කිරීම එක රැයකින් කරන්න බැහැ. ඔය මොන කතා කිවුවත් විදේශීය ආයෝජකයන් ලංකාවට එන්න හොරයි. අපේ නිෂ්පාදන වියදම් ආසියා අප්‍රිකා රටවලට වඩා වැඩියි. අපේ හෝටල් ගාස්තුත් සාපේක්‍ෂව වැඩියි. හික්කඩුවට ඇල්ලට යන දෙකයි පනහෙ සුද්දන්ගෙන් සංචාරක ව්‍යාපාරය මනින්න හදන්න එපා. මා දන්නා කිහිප දෙනකු ලංකාවට එන්නෙ නැතුව වෙන රටවලට යනවා.

 

අපේ අධ්‍යාපනය ඉන්දියාවට වඩා දියුණුයි. ඒ නිසා ම අපේ ජාතිකත්වයත් පිරිහිල. අපට කිසි දා භාරතීය ජනතා පක්‍ෂය වැනි පක්‍ෂයක් හදන්න බැහැ. මහා සම්මත භූමි පුත්‍ර පක්‍ෂය මිය ගිහින්. 1994 දි අප ම එ පෙ ලෙස වෙන ම තරග කළ විට සිංහල ජනතාව ඉතා උද්‍යොගිමත් ව අප පරාජය කළා. දිනේෂ් ගුණවර්ධනත් පැරදුණා. මගේ නම් ඇපෙත් නැති වුණා. පාණදුරේ අවට ජනතාව මට සැලකුවෙ එහෙමයි. අද කියල වෙනසක් නැහැ. චම්පකත් ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ හදන්න ගිහින් පාඩමක් ඉගෙන ගත්ත. විමල් වීරවංශ ඌව පළාත් සභාවෙ බදුල්ලට තනිය ම  තරග කරල පරාජය වුණා. සිංහලයන් වඩා කැමති යම් ජාතිකත්වයක් ඇති ශ්‍රී ල නි පක්‍ෂයට.  නැහැ දැන් තියෙන යහපාලන ශ්‍රී ල නි පක්‍ෂයට නො වෙයි.

 

ඒ කුමක් වුණත් අද අප බිත්තියට ම හේත්තු කරල. මා දන්නවා ජනතාවට මා කියන කිසිවක් වැඩක් නැති බව. ඔවුන් ද්වයංගුල පඤ්ඤා අනුව මේ ආර්ථික අර්බුදය රාජපක්‍ෂ කළමනාකරණයට ලඝු කරනවා. එත් 2005 -2015 දක්වාත් තිබුණෙ රාජපක්‍ෂ ආණ්ඩු. ඒ කාලෙ පෝලින් තිබුණෙ නැහැ. තෙල් තිබුණ. ඒත් 2009 වන තුරු පවුලෙ අය එකට බසයක ගියෙ නැහැ. තෙල් තිබුණ නිසා ද කොහෙ ද බස් දෙක තුනක ගියේ.  ආණ්ඩුව 2009 දි අර අනභිබවනීය යැයි කියු දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරල පවුලේ සියලු දෙනාට එක ම බසයෙ යන්න සැලැස්සුව. ජනතාවට ඒ අමතකයි. විවෘත ආර්ථිකයත් අමතකයි.

 

සිරිමා බණ්ඩාරනායකගෙ 1970 ආණ්ඩුව කාලෙත් ඊට පෙරත් ආර්ථික අර්බුදයක් තිබුණ. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙ එන් එම්ලත් හිටිය. ජ වි පෙ හිටියෙ නැහැ. ඔවුන් ආර්ථික අර්බුදය වැඩි කරන්න රජයේ දේපොළ විනාශ කෙරුවා. ඔවුන් තමයි පළමු ආර්ථික ඝාතකයො. ඒ ආණ්ඩුවෙන් වගා සංග්‍රාමයක් පටන් ගත්තා. අපත් වැවුවා. ඒ දවස්වල අපි හිටියෙ මහනුවර වටපුළුවෙ මහවැලි ගඟ අසබඩ. රමණීය පෙදෙසක්.

 

අවුරුදු පනහකට පස්සෙ අප නැවත වගාවට යන්න ඕන. අපේ ප්‍රශ්නය වුණෙ අපි වගාව අත්හැරපු එක. එදා ගොවිතැනට තැනක් තිබුණ. මට මතකයි වගා සංග්‍රාමයෙ දි පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයෙත් කුඹුරක් කෙරුවා. ශිෂ්‍යයන් පීඨාධිපති  ඊ ඕ ඊ පෙරෙයිරාට (ඔහු බරගර් ජනවර්ගයට අයත් වූවෙක්) ගොවි රජා කියා නමක් පට බැන්දා. එදා ඉංජිනේරුවන්ටත් ගොවිතැනට බහින්න පුළුවන් කමක් තිබුණ. මට තියෙන ප්‍රශ්නය අද ගොවියා පුතුන්වත් ගොවිතැනට නොබැහීම. අද ඔවුන් සියල්ලන්ම කොහොම වුණත් වැඩි දෙනකු මඩෙන් ගොඩ ඇවිල්ල. ඒ ගොඩ එන්නෙ අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. 1970 කාලයෙ නිදහස් අධ්‍යාපනයට අවුරුදු තිහක් පමණයි. අද වන විට අවුරුදු අසුවක් වෙනවා. අද අධ්‍යාපනය නිසා ගොඩ ආ කිහිප දෙනෙක් කොළඹ ඇවිල්ල. ටික දෙනෙක් පිටරට ගිහිල්ල. වැඩි පිරිසක් ආරක්‍ෂක සේවයේ (සෙක්‍යුරිටි) තවත් අය කම්කරු තවත් පිරිසක් ත්‍රිරෝද රියැදුරන්. සජිත් අධ්‍යාපනයක් නැතුව ම ගොඩ ඇවිල්ල. 

 

පඬි නැට්ටකු කියයි මට අවශ්‍ය ඊනිය වැඩවසම් ක්‍රමය දිගට ම පවත්වාගෙන යෑමට කියා. නැහැ මට අවශ්‍ය නැවත මඩට යන්න. අප ගොඩ ගියා හොඳට ම ඇති. බිත්තියට හේත්තු වෙනකම් ම ගොඩ ගිහින්. ආණ්ඩුව කර්මාන්ත ඇති කරන අතර ගොවිතැනට අත හිත දෙන්න ඕන. කාබනික පොහොර වැඩේ හොඳයි කියා අද හමෝම වගේ කියනවා. ඒත් අවුරුදු දෙකකට පෙර කිසිවකු ඒ බව කීවේ නැහැ. මා අවුරුදු දහයකට පමණ පෙර කැලණිය විද්‍යා පීඨාධිපති ව ඉන්න කාලෙ මහර කිට්ටුව ශිෂ්‍යයන් සමග කුඹුරක් කළා. කන්න තුනක් පමණ එය කළා. අප එය කෙළෙ හෙළ සුවය කණ්ඩායමේ උපදෙස් මත. රසායනික පොහොර කිසිවක් යෙදා ගත්තෙ නැහැ. හොඳ අස්වැන්නක් තිබුණ. හෙළ සුවය නාථ දේව මණ්ඩලයෙන් තමයි මෙහෙයවනු ලැබුයෙ. කිසිවකු මට ගොවි රජා කිවුවෙ නැහැ. ඒ වෙනුවට මා මිථ්‍යා මතධාරියකු ලෙස හඳුන්වනු ලැබුව. ඒ තමයි එකල අවුරුදු හැත්තෑවක නිදහස් අධ්‍යාපනය මට දුන් අස්වීමේ සහතිකය. ඔවුන් හරි උගත්තු විද්‍යාඥයන්. 2011 මා සේවය අත්හැරීමෙන් පසු කුමුරත් පුරං වුණා.

 

බටහිර බංකොළොත් ආර්ථික විද්‍යාව විසින් අද අප ජමුලෙට යවනවා. අප බිත්තියට හේත්තු කිරීමෙන් පසු අපට විකල්පයක් නැහැ. මා නම් ජමුලෙට යනවාට එදත් අදත් විරුද්ධයි. මා හිතන්නෙ වාසු සහෝදරයත් විරුද්ධයි. එහෙත් අද අපට යන්න වෙන තැනක් නැහැ. චීනය අපට යුවාන් දෙන්නෙ නැහැ. නේටෝව රුසියාව යුද්කෙට ඇද දමලා. අපි ජමුලෙන් ණය ගමු. එහෙත් ණයට නොකමු. ණය සංවර්ධන ආර්ථිකයකට යොමු කරමු. තෙලුත් ගන්න වෙනවා. ගෑසුත් ගන්න වෙනවා. ඒ අතර ඉක්මණින් පුනර්ජනනීය ශක්ති සඳහා යොමු වෙමු. ඒ ශක්තිය ගබඩා කිරීම පිළිබඳ දැනුම ලබා ගනිමු. බැහැ බැහැ කියා නොඉඳ වැඩේට බහිමු. ආණ්ඩුව හැම පැත්තකට ම සවන් දෙන්න ඕන නැහැ. කරන්න පුළුවන් අය එක්ක වැඩේ පටන් ගමු.

 

එහෙත් මූලික ව ගොවිතැනට බහිමු. ඉක්මණින් ඩොලර් ඉපයීමට හැකි කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය කර අපනයනය කරමු. කාබනික ආහාරවලට බටහිර හා ජපානයේ හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් ගොඩ ආවා හොඳට ම ඇති.