History

Monday, 21 March 2022

ජෙප්පන් හා සෙප්පන් හරිණි සමග ෂෝටීස් අත්හරිමු කියල

 


ජෙප්පන් හා සෙප්පන් හරිණි සමග ෂෝටීස් අත්හරිමු කියල

 

සර්ව පාක්‍ෂික සම්මේලනයට කණකොකා හඬලලා. මා කියන්නේ කණකොකා ගැනයි. හරීණිත් හඬලල. ඒකත් සැලකිල්ලට ගන්න ඕන. ඒත් වඩා වැදගත් වෙන්නෙ අනුර දිසානායක කියන කතාව. ජෙප්පන් පමණක් නොව සෙප්පන් ද පක්‍ෂ එකොළහෙ පක්‍ෂ අටක් ද සර්ව පාක්‍ෂික සම්මේලනයට යන්නෙ නැතිලු. ගියයි කියල කරන්න දේකුත් නැහැ. අද තියෙන ඩොලර් අර්බුදයට කා ගාව ද තිරසර විසඳුමක් තියෙන්නෙ. සර්ව පාක්‍ෂිකෙට ගිහිල්ල කරන්න යෝජනාවක් ජෙප්පන්ට හරි සෙප්පන්ට හරි තියෙනවා ද? එතැනට ගිහින් විසඳුමක් නැති බව රටට ම පේන්න සලස්වනවට වැඩිය හොඳයි නුගේගොඩ දි රැඩිකල් කතාවක් කරල 3% රඳවගන්න පුළුවන් ද කියල බලන එක.

 

මට මතක් වෙනව කලකට ඉහත තිබුණු සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවක්. ඒ අර ඊනියා දෙමළ ප්‍රශ්නය පිළිබඳ ව. දිනේෂ් ගුණවර්ධන මගෙන් ඇහුව ඒ කමිටුවෙ  මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන්න කැමති ද කියල. මා ඒ පක්‍ෂයේ සාමාජිකයකු නොවුණත් මා එයට කැමති වුණා. මට වෙනත් අදහස් තිබුණ. දිනේෂ් ඒ ගැන දැන ඉන්න ඇති. උතුරට පමණක් සීමා වූ ඊනියා දෙමළ ප්‍රශ්නයට යුද මෙහෙයුම් හැර වෙනත් දෙයක් නැති බව මා දැන සිටියා. මට අවශ්‍ය වූණේ හමුදා මෙහෙයුම් සාර්ථක භාවයක් පෙන්වන තුරු කමිටුව ඉදිරියට හරි පස්සට හරි ගෙන යෑම පමණයි.

 

එහි ආරම්භක රැස්වීමෙ ජ වි පෙ නියෝජනය කෙළෙ අනුර දිසානායක. ඔහු අපේ ගෙදර ඇවිත් මාත් කැටුව රැස්වීමට ගියා. ඔහු නරක පුද්ගලයෙක් නො වෙයි. සුපුරුදු පරිදි අර ෂෝටීස් ද මොනව ද කාල තේ බී අප ගෙවල්වලට ගියා. පසුව ජ වි පෙ නියෝජනය කෙළෙ වසන්ත බණ්ඩාර. එහෙත් ටික දවසකින් ජ වි පෙ රැඩිකල් ප්‍රකාශයක් කරල සර්ව පාක්‍ෂික කමිටුවෙන් අස්වුණා. ඉන් පසු මාත් එකල ජාතික හෙළ උරුමය නියෝජනය කළ උදය ගම්මන්පිලත් විවිධ කතා කියමින් ෂෝටීස් කෑව. විමලුත් ඒ දවස්වල ජ වි පෙරමුණෙ.

 

හමුදාව කිලිනොච්චිය අල්ල ගත්තට පස්සෙ මා දැන ගත්ත හමුදා මෙහෙයුම් සාර්ථක බව. කිලිනොච්චිය කියන්නෙ දෙමළ වෙන්ඩ ඊළමෙ වෙන්ඩ අගනුවර. අගනුවර වැටුනට පස්සෙ ඊළමක් කොහෙන් ද? කිලිනොච්චි ජයග්‍රහණයෙන් පසු මා සර්වපාක්‍ෂික සම්මේලනයට යෑම නැවැත්තුව. ඒ සම්මේලනයෙ ඊනියා සභාපති වුණෙ තිස්ස විතාරණ. ඊනියා කිවුවෙ එහි සභාපති තනතුරක් තිබුණෙ නැති නිසා. ඔහු රැස්වීම්වල මූලාසනය දැරුව පමණයි. ඒ කමිටුවෙන් අවසාන වාර්තාවක් ඉදිරිපත් කරන්න ඉඩක් දුන්නෙ නැහැ. ඒ ගැන දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් කළකිරීමෙන් හිටියෙ. තොණ්ඩමන්ගෙ පක්‍ෂය නියෝජනය කළ යෝගරාජන් හා හකීම්ගෙ පක්‍ෂය නියෝජනය කළ කාරියප්පර් එකතු වෙලා කමිටුවෙ අවසාන වාර්තාව කියා හොර ලියවිල්ලක් ඉදිරිපත් කළා. එය කමිටුවෙන් අනුමත වෙච්ච දෙයක් නො වෙයි.  ඒත් අපේ සමහරු ඒ ගැන කලබල වුණා.

 

ඒ කමිටුවෙන් ෂෝටීස් කෑමට අමතර ව මට කාරියප්පර්ගෙන් වැදගත් කරුණක් දැන ගන්න ලැබුණ. ඔහු මා සමග පැවසුව කාරියප්පර් කියන නම කාරියකරවන යන්නෙන් බිඳුණු එකක් කියා. ඔවුන්ගෙ මුතුන් මිත්තන් නැගෙනහිර පළාතෙ එනම් රුහුණෙ පදිංචි කරනු ලැබුයෙ සිංහල රජවරුන් විසින්. කාරියප්පර්ගෙ මුත්තා සිංහල රජුගෙ කාරියකරවූ අය වෙන්න ඇති. අද කාරියප්පර් හකීම්ගෙ කාරියකරවන්නා වෙලා. සිංහල ජනයා අතර කරාව කුලයෙ මහමරක්කලගෙ වාසගම සහිත අය ඉන්නවා. ඒ ගැන පසුවට.

 

වත්මන් සර්වපාක්‍ෂික සම්මේලනය නියෝජිත කමිටුවක් නො වෙයි. එයට පක්‍ෂ නායකයන් ම සහභාගි වනු ඇති. ඔවුන් ෂෝටීස් කාවි. මෙය මට නම් පේන්නෙ ජාතික ආණ්ඩුවක් ඇති වීම වැළැක්වීමට ශ්‍රී ල නි ප ගහපු ගැටයක් ලෙස පමණයි. ඔය යන නොයන කිසිවකුට ඩොලර් අර්බුදයට තිරසර විසඳුමක් නැහැ. ඒත් හැම පක්‍ෂයක් ම අර්බුදයෙ දායක සභාවෙ ඉන්නවා. ජ වි පෙ ඇතුළු පක්‍ෂ සම්මේලනයට නොයන එකෙන් ෂෝටීස් ටිකක් ඉතුරු වේවි.  විසඳුම් නැතුව හරිණි  ෂෝටීස් අත්හරිමි කියල. ජ වි පෙට කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැහැ. ඇත්තෙ රැඩිකල් කතා පමණයි.

 

ජ වි පෙට පමණක් නොවෙයි අර ආර්ථික විශේෂඥයන්ටත් විසඳුම් නැහැ. ඒ විශේෂඥයන් පත් කෙරුවෙ දේශපාලන කමිටුවට උපදෙස් දෙන්න. දැන් එක් විශේෂඥයකු  වූ ධම්මික පෙරේරා අපෙන් උපදෙස් ඉල්ලනවා. මේ ඩොලර් අර්බුදය කියන්නෙ පෝලිම් නො වෙයි. පෝලිම් ඇති වෙලා තියෙන්නෙ ඩොලර් නැති නිසා. අඩු ඩොලර් වැඩි පෝලිම්. ධම්මික පෙරේරා වැඩි පෝලිම්වලට විසඳුමක් හොයා ගෙන. ඔහු කියනවා තෙල්වලින් ඩොලර් ටිකක් ගෑස්වලට දීල ගෑස් පෝලිම නැති කරන්නලු. එතකොට තෙල් පෝලිම ටිකක් දික් වුණත් එක පෝලිමක් නැති වෙනවලු.

 

මට එයට වඩා හොඳ විසඳුමක් තියෙනවා. තෙල් ගෑස් කිරිපිටි ඔක්කොම එක ම තැනකින් බෙදා හරින්න. දැනටත් සමහර ඉන්ධන පිරවුම්හල්වල ගෑස් තියෙනවා. එක තැනකින් සියල්ල බෙදා හැරියම තියෙන්නෙ එක පෝලිමයි. කොහොමද ටිකිරි මොළේ. අවශ්‍ය නම් ගෑස් සිලින්ඩරයක් මිල දී ගත්ත ම කිරිපිකට් පැකට් දෙකක් හරි තෙල් ලීටරයක් හරි නොමිලෙ ලබා දෙන්නත් පුළුවන්. ධම්මික පෙරේරා දින කිහිපයකට ඉහත දී කිවුවා හොඳ අධ්‍යාපනයක් දීල හොඳ ව්‍යාපාරිකයන් ඇති කරන්න කියල. ඔහු අධ්‍යාපනය මනින්නෙ කොහොමද කියල මා දන්නෙ නැහැ. උපාධි ඩිප්ලෝමා සහතිකවලින් ද? මා අහන්නෙ නැහැ ධම්මික පෙරෙරා ඩිප්ලෝමාව ලබා ගත්ත ද කියල. ඔහු අද ලංකාවෙ සාර්ථක ම ව්‍යාපාරිකයා කියා පිළිගැනීමක් තියෙනවා. කොහොමත් A මගින් B ගම්‍ය වෙනවා කියන එකෙන් කියැවෙන්නෙ නැහැ B මගින් A ගම්‍ය වෙනවා කියල.

 

ඩොලර් අර්බුදයට අද කතා කරන්නෙ තව තවත් ණය ගැනීම, ජා මූ ලට යෑම, ණය ගෙවීම කල් දා ගැනීම. දෙවැන්න රනිල් භාර ගනීවි. තුන්වැන්නට පඬියන් කියන්නෙ ප්‍රතිව්‍යුහගත කිරීම කියල. එ අතර අපනයන වැඩි කිරීම ආනයන අඩු කිරීම ආදියත් කියැවෙනවා. එ කුමක් වුණත් අප අපේ ආකල්ප වෙනස් කිරීම සරල වීම අවශ්‍යතා අඩු කර ගැනීම ආදිය ගැන කතා වෙන්නෙ නැහැ.  ණයට කාල ඉල්ලන් කන්න තමයි කතාව. අප ලෝකයේ අසතුටින් ම ජීවත්වන රටවල් විස්සට අයත් වෙනවා කියල බටහිරයන් කියනවා. මා ඔය බටහිර මිනුම් දඬු සත පහකට මායිම් කරන්නෙ නැහැ. සතුට කියා වාස්තවික නිරපේක්‍ෂ දෙයක් නැහැ. සතුට සාපේක්‍ෂයි. අර බමුණන්ගෙ සතුට පරම ධනය කියන තැන සතුට කුමක් ද?

 

අප අපේ සතුටක් බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙලා තෝරා ගනිමු. පෝලිම්වල ඉන්න එක නම් සතුටක් නො වෙයි. අපේ අවශ්‍යතා ගැන අපට නැවත හිතන්න වෙනවා. අපේ ගොවිතැනක් අපේ වෙදකමක් ගැන අප තවමත් කල්පනා කරන්නෙ නැහැ. මිනිසුන් කොළඹින් පිටත් කර නගර සංවර්ධනය (අලංකාර කිරීම නොව) වෙනුවට ගම් සංවර්ධනය කරන්න කල්පනා කරමු. ඉස්සර ග්‍රාම සංවර්ධන සභා කියා සංවිධාන තිබුණා. ගම් සභා තිබුණ.

 

2019 දි අප වරද්ද ගත්තෙ නැහැ. බැරි වෙලාවත් සජිත් ජනාධිපති වුණා නම් මෙලහකට මොනව වෙන්න තිබුණ ද?