History

Sunday, 27 March 2022

භික්‍ෂූන් වහන්සේ නැවත නායකත්වයට

 

භික්‍ෂූන් වහන්සේ නැවත නායකත්වයට

 

තවමත් දේශපාලනඥයන් ඩොලර් අර්බුදයට විසඳුමක් යෝජනා කරන්නේ නැහැ. හැම දෙයක් ම දන්නා ජනමාධ්‍යවේදීනුත් විසඳුමක් යෝජනා කරන්නේ නැහැ. අටපිරිකර උස්සා ගෙන මහානායක හාමුදුරුවරු බැහැ දකින්න යන කිසිවකු හාමුදුරුවරුන්ගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහානායක හාමුදුරුවන් බැහැ දකින්නෙ හුදු චාරිත්‍රයක් ලෙස පමණයි. එය පැරණි කතාවක නෂ්ඨාවශේෂයක් පමණයි. පැරණි කතාව අනුව හාමුුදුරුවන් රජුන්ටත් සෙසු අයටත් ධර්මයෙන් පමණක් නොව අර්ථයෙන් ද අනුශාසනා කළා. දැන් ගිහියන් හාමුදුරුවරුන්ට අර්ථය පමණක් නොව ධර්මය ද කියා දෙනවා. මේ වෙනස සිදුවීම තරමක් විස්තරාත්මක ව පසුව කතා කරන්න ඕන.

 

දේශපාලනඥයන් කරන්නේ ඩොලර් හිඟා කන හොඳ විධියක් සලකා බැලීමයි. ඩොලර් හිඟය මකාගන්න හදන්නේ හිඟා කෑමෙන් තව තවත් ණය වීමෙන්. ඩොලර් හිඟයට හේතුව කුමක් ද? මේ ආණ්ඩුවේ වැරදි කළමනාකරණය කියා හර්ෂ ද සිල්වාට ගැලවෙන්න බැහැ. සජබ ආර්ථික ගුරු වීම සඳහා හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න අතර තරගයක් තියෙනවා. දැන් කබිර් හෂීම් ඒ තරගයෙන් ඉවත් වෙලා. මේ තිදෙනා ම රනිල්ගේ පාසලේ  ආදි සිසුන්. ඒ පාසලේ පමණක් නොව සෑම පාසලක ම අධ්‍යාපනය අපට අධ්‍යාප ණයක් වෙලා.  හර්ෂ හා එරාන් ආණ්ඩුවට විරුද්ධ ව අභූත චෝදනා ඉදිරිපත් කරනවා. රනිල් ඒ අනුමත කරනවා ද? සජිත්ට ඒවා ප්‍රශ්න නො වෙයි. ඔහුට තෙල් දීමට අරාබි රටවල් තුනක් බලා ඉන්නවා. මා වැනි බිලින්දා වර වර ළඟට කැන්දා තෙල් නැව් ඕනදා අසන නිරිඳෝ වෙන කොයින්දා.

 

ඩොලර් හිඟයට අප සියල්ලන් ම වැරදිකරුවන්. ඒ පාලකයන් පමණක් නො වෙයි. මෙරට වාමාංශික පක්‍ෂ ද එයට වග කියන්න ඕන. යුතුකම් ඉටුකිරීම වෙනුවට දියවු දියවු කියා ඉල්ලීම් ගැන කතා කිරීමෙන් රටට වී ඇති හානිය කියා නිම කරන්න බැහැ. වෘත්තීය සමිති වාමාංශික පක්‍ෂවලට පමණක් සීමා නොකර ජේ ආර් ජාතික සේවක සංගමයක් නිර්මාණය කළා. අදත් වෘත්තීය සමිති දියවු දියවු කියනවා. දේශපාලනඥයන් පමණක් නොව ඇතැම් නිලධාරීන් ද ගසාකන්නන්, කොමිස් කාක්කන්. රජයේ ආයතන පාඩුවට පත්වාගෙන යනවා. එයට වග කියන අයකු නැහැ. අධ්‍යාපනය නිසා ප්‍රසාරණය වූ මධ්‍යම පංතිය රටට හිසරදයක්. රටට හෙණ ගැහුවත් අපේ වැඩේ කෙරෙනවා නම් ඒ ඇති. සාමූහිකත්වය වෙනුව පෞද්ගලිකත්වය ඉදිරියට ඇවිත්. මේ සියල්ලන්ට ම ඇත්තේ අනුකාරක මනසක්. අප ඊනියා  දියුණුවක් අත්කර ගන්නෙ නැතුව දියුණු රටවල ජීවන තත්වය ඉල්ලා සිටියා. ඒ ජීවිතය ගත කළා. අප දණ ගාන්න කලින් දිවුවා. අප හතර ගාතයෙන් ඇද වැටුන එක පුදුමයක් නො වෙයි.

 

අපේ ජීවන රටාව වෙනස් නොකර ඩොලර් හිඟයට විසඳුම් හොයන්න බැහැ. ණය තව තවත් ණය, ජාමුලට යටවීම ඔවුන්ගේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම ඉන්දියාවට යට වීම, දෙමළ ජාතිවාදී විසුරුණු ජනයාගෙන් ඩොලර් (ඔවුන්ගේ ඩොලර් නොව එංගලන්තයේ හා උතුරු යුරෝපීය රටවල ඩොලර්) ලබා ගැනීමට ඉන්දියාවට රට සින්න කිරීම හැරෙන්න දේශපාලනඥයන් දන්නා විසඳුම කුමක් ද? මෙතරම් වින්නැහියක් වෙලා තියෙද්දිත් අපේ අනවශ්‍ය වියදම් කපා හරින්න කිසිවකු යෝජනා කරන්නේ නැහැ. ආනයන අඩු කිරීම යනු ඩොලර් හිඟය අඩු කර ගන්න කරන දෙයක් මිස ඩොලර් හිඟයට පිළියමක් නො වෙයි.

 

බණ්ඩාරනායක මහත්මිය අගමැතිණිය ව සිටි එන් එම් පෙරේරා සහෝදරයා මුදල් ඇමති ව සිටි කාලයේ වගා සංග්‍රාමයක් පටන් ගත්තා. අපත් වෑවුවා. අද මෛත්‍රිපාල වගා සංග්‍රාමයක් සුපුරුදු පරිදි කටින් පටන් අරන්. ඔහු කටින් බතල කොළ හිටවනවා. අප වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න ඕන. තම තමන්ට හැකි පමණින් වවන්න ඕන. එහෙත් රනිල්-බැසිල් ඒ සඳහා ජනතාව උනන්දු කරන්නේ නැහැ. ඔවුන් දන්නේ වවන්න නොව යදින්න. ත්‍රිරෝද රිය පදවන ගොවියා පුතුන් කුඹුරට යැවීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් ඕන. හෙළ ගොවිතැන දන්න අය රට පුරා ඉන්නවා. ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්න ඕන. උපදෙස් ගන්න කෘෂිකර්ම පීඨවලට නම් යන්න එපා. ඔවුන් තවත් ණය වෙන හැටි කියා දේවි. කාබනික ගොවිතැන නරක් වුණේ නැහැ. එය නරක් කළා. 

 

අපි අනුරාධපුරයට යන්න ඕන. බර කරත්තයෙන් නො වෙයි. අප සරල වෙන්න ඕන. අනුරාධපුරය සරල පෞඪ සංස්කෘතිකාගාරයක්. එහෙත් එහි යෑම සඳහා හාමුදුරුවන් මූලිකත්වය ගන්න ඕන. සිංහල භාෂාවෙ ගෞරවාර්ථයෙන් බහුවචන යෙදෙන තැන් කිහිපයක් තියෙනවා. ඒ අපට සංස්කෘතියෙන් ලැබුණු දායාද. හාමුදුරුවො රජ්ජුරුවො මෑණියො පියාණො. පඬි නැට්ටකු කෑ ගහන්න බැරි නැහැ වැඩවසම් කතා කියල. අපි පඬිනැට්ටට පඬි නෑට්ටාණො කියමුද?

 

අද රජ්ජුරුවො නැහැ. ඒත් හාමුදුරුවො වැඩ ඉන්නවා. ඔය අටපිරිකර උස්සන් එන අයට හොඳවයින් දෙකක් කියන්න හාමුදුරුවන්ට පුළුවන් වෙන්න ඕන. ඒත් අද එය කරන්න බැහැ. මා මේ දවස්වල තිස්ස කාරියවසම් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධය කියවනවා. එය සිංහලට පරිවර්තනය කර කඩදාසි ලැබුණු දිනයක ප්‍රසිද්ධ කරන්න කියා යෝජනා කරනවා. කඩදාසි හිඟය කියන විට මතක් වෙන්න ඕන වාලච්චෙන හා වෙනත් කම්හල් නැති කරපු අය. ඔවුනුත් නිසයි අද අපි හිඟා කන්නෙ. අපට කඩදාසි නැත්තෙ. හර්ෂට හා එරාන්ට වාලච්චෙන මතක ද? වාලප්පලම් නම් මතක ඇති.

 

තිස්ස කාරියවසම් හුඟක් දේ කියනවා. ඔහු මහන්සිවෙලා තියෙන බව පේනවා. ඔහු නිකාය ඇති වීම කුල භේදය වර්ධනය කිරීම හාමුදුරුවන් ඉවත් කර ගිහියන් බෞද්ධ නායකත්වයට පැමිණීම සාහිත්‍ය (කාව්‍ය) සම්ප්‍රදායන් ඇති වීම ආදී කරුණු රාශියක් සාකච්ඡා කරනවා. සියම් නිකායෙ මුල් කාලයෙ විවිධ කුලවල උපත ලබා පැවිදි වූ හාමුදුරුවරු උපසම්පදාව ලබා තිබූ බව පැහැදිලියි. අසරණසරණ සරණංකර හාමුදුරුවන් සමග සියම් උපසම්පදාව ලත් උන්වහන්ස්ගේ සමීප හිතවත් දුරාව කුලයෙ සිටිනාමළුවෙ ධම්මජෝති හිමියන් ගැන සිටිනාමළුවේ හාමුදුරුවන්ගෙ ශිෂ්‍ය නමක් වූ බෙරව කුලයේ වේහැල්ලෙ ධම්මදින්න හාමුදුරුවන්  ගැන සඳහන් වෙනවා. කරාව සලාගම කුලවල උපත ලත් හාමුදුරුවරු මුල් කාලයෙ සියම් උපසම්පදාව ලබා තියෙනවා. පසුව විවිධ නිකාය ඇති වී තිබෙන්නේ කුල ප්‍රශ්න නිසා නොව උපසම්පදා සීමාව සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න නිසා බව නිබන්ධයෙන් පැහැදිලි වෙනවා.  කුල මල ප්‍රශ්න බෞද්ධ සංස්කෘතියක තියෙන්න බැහැ. කුල මල ප්‍රශ්න තියෙනව නම් එතැන බුදුදහමක් නැහැ.

 

හාමුදුරුවරුන් අත පැවති  අනුශාසකත්වය ගිහියන් අතට යෑමට කරුණු දෙකක් ඉවහල් වී ඇති බව පේනවා. එකක් මේ නිකාය භේදය. දෙවැන්න ඉංගිරිසින් ඇති කළ ඉංගිරිසි උගතුන් හා හාමුදුරුවන් බටහිර අධ්‍යාපනය (එය ශක්තිමත් පදනමක නැති වීම වෙන ම කරුණක්) නොලැබීම. ඕල්කට්තුමා ගිහියන් අතට නායකත්වය ලබා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කර තියෙනවා. ඊනියා පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ නායකත්වය හැම විට ම තිබුණේ ගිහියන් අත. ඉන් පසුව තරුණ බෞද්ධ සංගමය ආදී විවිධ සංගම් මගින් නායකත්වය ගිහියන් අතට පත්වුණා. ඩී බී ජයතිලක මහතාත් මේ නායකත්වය ගිහියන් අතට ගැනීමේ දී යම් ආකාරයකින් ආධාර කර තියෙනවා.

 

මේ තත්වය වෙනස් කළ යුතුයි. සඟ වෙද ගුරු ගොවි කතාවේ මුල නමට පමණක් භික්‍ෂූන් වහන්සේට හිමි විය යුතු නැහැ. මා හිතන විධියට දේශපාලනඥයන් ඇති නොකරණ වගා සංග්‍රාමය භික්‍ෂුන් වහන්සේගේ නායකත්වයෙන් පටන් ගන්න ඕන කියා. අද ගුරු ගැන කතා කරල වැඩක් නැහැ. සංඝයා වහන්ස්ට ආරාධන කරන්න ඕන ගොවි වෙද ක්‍ෂෙත්‍රවලට නායකත්වය දෙන්න කියා. බටහිර විද්‍යාවට බය වෙන්න දෙයක් නැහැ. එය පට්ටපල් බොරුවක්. අනෙක් බටහිර දැනුම් ගැන කියනුම කවරේ ද? ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන් ම අසමත්. භික්‍ෂූන් වහන්සේ නායකත්වයට පත් වීම යන්නෙන් රතන මන්ත්‍රී හාමුදුරුවන් ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් අදහස් කරන්නේ නැහැ. උන්වහන්සේලාට වෙන ම නායකත්ව තියෙනවා.