History

Thursday, 3 March 2022

ඩොලර් අර්බුදය හෙවත් ඉල්ලන් කෑම හා දේශපාලනය

 

ඩොලර් අර්බුදය හෙවත් ඉල්ලන් කෑම හා දේශපාලනය

 

ඩොලර් අර්බුදයට හේතුව මේ ආණ්ඩුවේ කළමනාකාරීත්ව දුර්වලකමක් නොවෙයි. එහි මූලික ම හේතුව ආදායමට වඩා වියදම් කිරීමයි. 1953 පමණ සිට මේ ප්‍රශ්නය අප හමුවේ වෙනවා. 1970ත් ප්‍රශ්නය තරමක් උග්‍ර වුණා. එවිට සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව වගා ව්‍යාපරයක් ඇරඹුවා. යම් යම් තහංචි පැනෙවුවා. පාන් පෝලීම් හාල් පොලු එකල දකින්න ලැබුණා. එයට බොහෝ දෙනකු විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලය වුණෙ 1977 දී ජේ ආර් ජයවර්ධන හෙවත් යැංකි ඩිකී හයෙන් පහක ඡන්දයක් සහිත ව බලයට පත් වීමයි.

 

අප සෑම දෙයක් ම අනුන්ගෙන් බලාපොරොත්තු වන ජාතියක්. අනුන් යන්නට ආණ්ඩුවත් ඇතුළත් වෙනවා. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවා ලෝකයේ ම ඇත්තේ රටවල් කිහිපයක පමණයි. නිදහස් අධ්‍යාපනය නිසා අධ්‍යාපනය ආයෝජනයක් ලෙස දැකීම තව තවත් වැඩි වුණා. එය ආයෝජනයක් කිවුවත් පෞද්ගලික ආයෝජනයකට වඩා රාජ්‍ය ආයෝජනයක්. එහෙත් ආයෝජනයේ ප්‍රතිපල ලැබෙන්නේ සමස්තයක් ලෙස රාජ්‍යයට වඩා පෞද්ගලිකවයි. අධ්‍යාපනය වෑඩි ආදායමක් ලබා ගැනීමට ඇති ඉණිමගක් ලෙස අප දුටුවා. අද ඇති වර්ජන රැල්ලට මූලික හේතුව සේවයට නොව අධ්‍යාපන සහතිකවලට වැටුප් ලබා දිම හා ගැනීමයි.

 

පනස්තුනේ හාල් සේරුවක් සත විසිපහේ සිට හැත්තෑව දක්වා වැඩි කෙරුණා. වමේ පක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂය ද සහභාගි කරගෙන හර්තාලයක් දියත් කළා. රජයේ දේපළවලට ගිනි තිබ්බා. ඔවුන්ගේ දරුවන් ඒ පාඩම ඉගෙන ගත්තා. ජ වි පෙ පසු කලෙක රජයේ දේපළ විනාශ කළා. පියා හිට ගෙන කරන දේ පුතා දුව දුව කළා. සමස්තයක් ලෙස සුබසාධනය හොඳයි. එහෙත් අප සුබසාධනය ද ගසා කනවා.

 

අද සැවො ම මෙන් ගසා කැමට පුරුදු වෙලා. දේශපාලනඥයන් නිලධාරීන් බලධාරීන් පමණක් නොව ජනතාව ද සේවකයන් ද ගසා කනවා. අප ගසා කන්නේ රාජ්‍ය දේපළයි. රාජ්‍යය සතු දේ අප පෞද්ගලිකකරණය කරලා. පෞද්ගලිකකරණය විවිධ තලවල ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය දේපළ පෞද්ගලික සමාගම් සතු කිරීම පමණක් නොව ඒ ඒ අය පෞද්ගලික ව පරිහරණය කිරීමත් පෞද්ගලිකකරණ.

 

නිදහස් අධ්‍යාපනයත් සමග මධ්‍යම පංතිය ප්‍රසාරණය වුණා. අපට ඇත්තේ පෞද්ගලික ව ගොඩ යෑමේ මානසිකත්ව හා ආකල්ප. අපට ජාතියක් ලෙස සමූහයක් ලෙස සිතන්න බැහැ. ඊනියා දියුණු රටවල ඇති සියලු පහසුකම් අපට නිෂ්පාදනයක් නොකර ලබා ගැනීමට  අවශ්‍යයි. අපේ ආකල්පවල විශාල වැරැද්දක් තියෙනවා.

 

1977 දී බලයට පැමිණි ජේ ආර් ජමූලෙට (IMF)  යන්න පටන් ගත්තා. රොනී ද මෙල් ඇතුළත්මුදලි නිෂ්පාදන ආර්ථිකයට වැට බැන්දා. සිරිමාවෝ ආණ්ඩුවෙන් ඇති කර තිබූ නිෂ්පාදන මාර්ග (කර්මාන්ත ශාලා)  ජේ ආර් ආණ්ඩුව විසින් නැති කෙරුණා. ජමූලෙත් නිෂ්පාදනවලට අත හිත දුන්නෙ නැහැ. අප අපනයනවලට වඩා ආනයනය කළා. ලෝකෙට ණය වුණා. අද අප බිත්තියට හේත්තු කරලා.

 

හර්ෂ ද සිල්වා ඉරාන් වික්‍රමරත්න ඉදිරිපත් කරන විසඳුමක් නැහැ. එ ජා ප ආණ්ඩු තමයි මේ සියල්ලට මුල. පාස්කු ප්‍රහාරය ඇති වුණේ එ ජා ප ආණ්ඩු කාලෙ. යහපාලනය කියන්නෙ මෛත්‍රිපාල යොදා ගත්ත එ ජා ප ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවෙ ප්‍රධානියා රනිල් මිස මෛත්‍රිපාල නො වෙයි. එහෙත් කතෝලික සභාව ඇඟිල්ල දික් කරන්නෙ මෛත්‍රිපාලට. සිරිල් ගාමිණී දේවගැතිවරයා කියනවා මෛත්‍රිපාල තම නිර්දෝෂි බව ඔප්පු කළ යුතු ය. යමකු නිර්දෝෂි බව ඔප්පු කරන්න ඕන යම් චෝදනාවක් සම්බන්ධයෙන්. මෛත්‍රිපාලට එරෙහි ව ඇති චෝදනාව මොකක් ද? ඔහු පාස්කු ප්‍රහාරය සැලසුම් කරල මිනිසුන් මැරුව ද? එහෙමත් නැත්නම් ගෝඨාභයට ජනාධිපති වීමට සහරාන් ලවා මිනිසුන් මැරෙවුව ද? කතෝලික සභාව කරන චෝදනාව මොකක් ද? චෝදනාවක් නැතුව කුරුසියේ ඇන ගහන්න බැහැ.   හර්ෂ ද සිල්වා හා ඉරාන් වික්‍රමරත්නත් මේ ආණ්ඩුවට විරුද්ධ ව කරන චෝදනාව මොකක් ද? නිෂ්පාදන ආර්ථිකයකින් මිල දී ගෙන විකුණන (බයින් ඇන්ඩ් සෙලින්) ආර්ථිකයකට රට ඇද දැමුවේ හර්ෂලාගේ හා ඉරාන්ලාගේ පියවරුන්.

 

අද ඩොලර් අර්බුදයට ඇත්තේ දිර්ඝකාලීන විසඳුමක්. අපේ අපනයන ආනයනවලට වඩා වැඩි කරන්න ඕනෙ. ඒත් හැම රටකට ම එය කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. හැම රටක් ම ආනයනවලට වඩා අපනයන කළොත් කවුද අවසානයේ දී භාණ්ඩ මිල දී ගන්නේ. ඊනියා ජාත්‍යන්තර වෙළෙඳපොල සංකල්පීය ව බංකොළොත්. ඒ කුමක් වුණත් ආර්ථිකය විලයන නැති වුණාම (ෆියුස් ගියාම) බටහිර ආර්ථික විද්‍යාවට විසඳුම් නැහැ. මෙය බටහිර සමාජයීය විද්‍යා හා භෞතික විද්‍යාවත් ඒ ආශ්‍රීත ඉංජිනේරු විද්‍යාත් අතර ඇති වෙනසක්. භෞතික විද්‍යාවට ඒක හේතුවාදයක ටික කලක් ඉන්න පුළුවන්. පොල් පොළවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියන පට්ටපල් බොරුවේ ටික කලක් රැඳෙන්න පුළුවන්. එහෙත් ආර්ථිකය කඩා වැටෙන්නේ අහවල් (ඒක) හේතුව නිසා කියන්න ආර්ථික විිද්‍යාවට බැහැ. මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට ජීව විද්‍යාවන්ට හා ඒ ආශ්‍රිත බටහිර වෛද්‍ය විද්‍යාවටත් තියෙනවා. ඊනියා සම්පරීක්‍ෂණ සමීක්‍ෂණ ආදිය ඒක හේතුවාදය හා සම්බන්ධයි.  අලි හෙම්බිරිස්සාව ගැන හිතන්න. ජීවය මනස ආදිය සම්බන්ධයෙන් සිත් පිත් නැති පොල් ඇපල්වලට මෙන් භෞතික කතා කියන්න බැහැ. මනස කිසි දිනෙක මොළයට ඌනනය කරන්න බැහැ. මනස ඇත්තේ මොළයේ කියන්නන්ට මොළයක් තියෙනවා ද කියා අහන්න පුළුවන්.

 

අද රටේ ආර්ථිකය කඩා වැටිලා. එයට විවිධ අය විවිධ හේතු දක්වනවා. ඒ හැම හේතුවක ම දේශපාලන බල තණ්හාව දකින්න පුළුවන්. බලය රැක ගැනීම හරි බලය ඩැහැ ගැනීම හරි ඒ ඊනියා හේතුවලට හේතු වෙලා තියෙනවා. අද මෙරට තනිකර ම කළුකඩයක් බවට පත්වෙලා. ඒ 1970 සිට ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිවල ඵලයක්. ඩොලර් අරබුදයට රාජ්‍යය ඩොලර් හොයා ගන්න ඕන. එහෙත් රාජ්‍යයට ඩොලර් ලැබෙන්නේ නැහැ. ඒ රාජ්‍යයට වඩා වෙන අය ඩොලර්වලට රුපියල්වලින් ගෙවන නිසා.  මේ තත්වය මත කළු කඩය තවත් තර වෙනවා.

 

අපට අපනයන වැඩි කරගන්න පුළුවන්. එහෙත් එයට කලක් ගත වෙනවා. කෙටි කාලීනව අපනයන  වැඩි කරගන්න පුළුවන් එක් මගක් තමයි බටහිරට හා ජපානයට කාබනික ආහාර අපනයනය කිරීම. එයට කාබනික පොහොර අවශ්‍යයි. බටහිරයන් මේ ආණ්ඩුවට ආධාර කරන්න සූදානම් නැහැ. ඒ මේ ආණ්ඩුවේ යම් ජාතිකත්වයක් තිබෙන නිසා. බටහිරයන් පුටින් එලවන්න හදන්නෙත් ඔහුගෙ ජාතිකත්වය නිසා. එහෙත් අවාසනාවකට මෙරට ඊනියා විද්‍යාඥයන්ගේ බටහිර ගැති කම නිසා අප චීනය තරහ කරගෙන. ඊනියා අශූචි පරීක්‍ෂණයක් ඒ සඳහා ඊනියා විද්‍යාඥයන් යොදා ගත්තා. රනිල්දාසත් චීන අශූචි ගැන කතා කරන්නේ චීන මතවාද අමතක කරමින්.

 

ඒ කුමක් වුණත් ආනයන අඩු කරගන්න ඕන. මා හිතන්නෙ හැම අවුරුද්දක ම අපේ ආනයන අපනයනවලට වැඩියි. එය කෙසේ හෝ අනෙක් පැත්ත කර ගන්න ඕන. ආනයන අපනයනවලට අඩු කර ගන්න ඕන. ඒ සඳහා විවිධ මාර්ග අනුගමනය කරන්න පුළුවන්. ඩොලරයට ස්ථාවර වැඩි මිලක් ගෙවීම, රටවිරුවන් එවන ඩොලර්වලට වැඩි මිලක් (රුපියල් දහයක් වැනි සොච්චමක් නො වෙයි) ගෙවීම, අපනයන කරුවන්ට විශේෂ ආධාරයක් කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමුඛතාව අනුව ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම, ප්‍රමුඛතා ලැයිස්තුව සම්පාදනය කීිරීමේ දී ජනතා අවශ්‍යතා මිස ආනයනකරුවන්ගේ හා ඔවුන් වෙනුවෙන් කතාකරන විජේවර්ධනලාගේ හා දේශපාලනඥයන්ගේ අවශ්‍යතා නොසැලකීම, විදේශ විනිමය ඉපයීමේ සහතික ක්‍රමයක් හඳුන්වා දීම සහ තවත් මාර්ග ඇති. මෙය එක හේතුවකට ඌනනය කරන්න බැහැ. ඒ සියල්ලට ම වඩා ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙනවා.