History

Saturday, 2 April 2022

සමහරුන්ට හැම දා අප්‍රේල් පළමුවැනි දා

               සමහරුන්ට හැම දා අප්‍රේල් පළමුවැනි දා

 

ඊයේ අප්‍රේල් පළමුවැනි දා. සාමාන්‍යයෙන් ලංකාවේ කියන්නේ මෝඩයාගේ දවස කියා. එහෙත් ෆූල් කියන වචනයට විවිධ තේරුම් තියනවා. කවටයා, රැවටිලි කරුවා ආදිය ද ඒ අතර වෙනවා. මෙය අපේ සංස්කෘතියේ කියමනක් නො වෙයි. අප එය අනුකරණය කිරීමේ දී වැරදි තේරුමක් දී තියෙනවා. අර මානව ධර්මතා ඔබ නිර්වචනය කරනවා වගේ. අප්‍රේල් පළමුවැනි  දාට බටහිර කෙරෙන්නේ රැවටීමක් මුසාවක් කියා රැවටීමක්. එහි දී මෝඩයන් රැවටෙන්න ඉඩ තියෙනවා. ඊනියා උගතුන් ද රැවටෙනවා. අප්‍රේල් පළමුවැනිදා ට උගතුන්ගේ දිනය කිවුවත් වරදක් නැහැ.

 

රනිල්දාසලාට නම් හැමදාමත් අප්‍රේල් පළමුවැනි දා. බොහෝ දේශපාලනඥයන්ට අවුරුද්දේ හැමදාම අප්‍රේල් පළමුවැනි දා. හර්ෂ ද සිල්වාගෙන් අහන්න. නැහැ ඔහුගේ සාමාන්‍ය පෙළ සහතිකය ගැන නො වෙයි. එය නම් කිරිඇල්ල සජිත් ආදීන්ගෙනුත් අහන්න වෙනවා. අද වන විට ඊනියා සමාජවාදීන්ට කරන්න පුළුවන් ඔවුන්ගේ වචනවලින් ම ධනපති පංති පක්‍ෂයකට සේවය කිරීම පමණයි. ජ වි පෙ කෙකරගාමීන් පමණක් නොව කිසිම දේශපාලනයක් නොකර සකර්බර්ග් අනාථ කඳවුරේ අඳෝනා කියන පඬි නැටි වමාලටත් කරන්න පුළුවන් එපමණයි. මා නම් ඔය පංති විග්‍රහය පයිසෙකට මායිම් කරන්නෙ නැහැ. අද ඇත්තේ ජාතික හා විජාතික කඳවුරු අතර සටනක්.

 

රනිල් මංගල සජිත් හර්ෂ ආදීන් ද රනිල්දාසලා ද ක්වොන්ටම්ලා ද පඬි නැට්ටන් ද විජාතික කඳවුරේ. මේ ආණ්ඩුවට යම් ජාතිකත්වයක් තියෙනවා. විජාතික කඳවුරේ සියල්ලන් ආණ්ඩුව ගෙදර යවන්න හදනවා. ඒත් එක් අයකුටවත් ඩොලර් අර්බුදයට විසඳුමක් නැහැ. අද අවශ්‍ය ඩොලර් උපයා ගන්නේ කෙසේ ද යන්නට පිළිතුරක්. ඩොලර් උපයා ගැනීම පිළිබඳ ව යමක් කෙළේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවයි. එහෙත් බඩජාරි සිංහලයන් ඒ ආණ්ඩුවට විරුද්ධ වෙලා ජේ ආර්ගේ ඇට අට ලබා ගන්න ගියා. එදා හිටන් අප අර්බුදයෙන් අර්බුදයට යනවා. හර්ෂ ද සිල්වා බණ්ඩාරනායක ආණ්ඩුව ගැන බයිලා කියනවා. ඔහුගෙන් සහතික අහන්න යන්න එපා. ඒක හොඳ නැහැ.

 

මේ ආණ්ඩුවේ වරද වුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නො කිරීම. කාබනික පොහොර ප්‍රශ්නයට ද අත ගැසුවේ වැරදි කොණෙන්. එය පුංචි බණ්ඩාගේ අංක ගණිත වරදක්. අංක ගණිතයේ තියෙන්නේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම යන කර්ම හතරත් වරහන් ඉවත් කිරීමේ නීතියත් ඒකීය ක්‍රමයත් පමණයි. එය වැඩිම වුණොත් අවුරුදු දහයක ළමයකුට මාස දෙකකින් කියා දෙන්න පුළුවන්. අද අවුරුදු දහතුනක් පාසල් යන්නේ මොන එහෙකට ද කියා තේරෙන්නේ නැහැ. පුංචි බණ්ඩා ඊනියා ආචාර්ය උපාධියක් ද ලබා ගත්තෙත්. ඔහු අංක ගණිතය වරද්ද ගෙන. පුංචි බණ්ඩා නිකවැරටියේ උපන්නත් අධ්‍යාපනය නිසා ජාතිකත්වය නැති කර ගත්තෙක්.

 

ඊයේ රනිල්දාස ජනතාවට කියන්න තටමනවා මිරිහාන කැරැල්ල ආණ්ඩුවේ වැඩක් කියා. ලාල්කාන්ත ජුබිලි කණුව ළඟින් යන විට බහින්නත් හිතිලා. ආණ්ඩුවට සහාය දෙන්න වෙන්න ඇති. දැන් රනිල්දාසට ලාල්කාන්ත කියන්නෙ අර ඒප්‍රිල් ෆූල් ගෝ ටු ස්කූල් මෝඩ කතාව ද? එහෙම නැත්නම් රනිල්දාස ලාල්කාන්තට ඒක කියනවා ද? කවුරු කාට මොකක් කිවුවත් ආණ්ඩුවට අවශ්‍ය නම් පොලිස් ඇඳිරි නීතිය පනවන්නෙ නැතුව කැරැල්ලට තව ටිකක් වර්ධනය වෙන්න ඉඩ දෙන්න තිබුණා. සජිත් හරි රාජිත හරි රාජිත පුත් චතුර හරි ජුබිලි කණුව පැත්තෙ ගියෙ නැද්ද?

 

ඔය ජුබිලි කණුව එසේ මෙසේ එකක් නො වෙයි. වික්ටෝරියා මහා රාජිනියගේ රාජ්‍යප්‍රාප්තියෙන් හැටවැනි වර්ෂය සම්පූර්ණ වීම වෙනුවෙන් ඉදි කරන ලද කණුවක් ඒක ඔය මිරිහාන පැත්තෙ හිටෙවුවෙ අනාගතයේ දිනයක ගෝඨාභය රාජපක්‍ෂ නමැත්තෙක් මිරිහානෙ පදිංචි වෙන බව දැනගෙන ද දන්නෙ නැහැ. අපේ මාමත් පදිංචි වෙලා හිටියෙ අල්ලපු පාරෙ. මාත් නිවාඩුවලට එහෙ ගිහින් ඉඳලා තියෙනවා. මාම පරණ සමසමාජ කාරයෙක්. ඒත් පස්සෙ යූ ඇන් පී වෙලා. මට ඔහු නිතර මතක් වෙනවා. දෙවැනි පංතියෙ ඉඳලා උසස් පෙළ දක්වා මට පාසල් පොත් අරන් දුන්නෙ මාමා. වික්‍රමබාහු මාම අනුගමනය කරලා යු එන් පී ගිහින්.

 

මිරිහාන පැත්ත මට හොඳට පුරුදුයි. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගෙ තාත්තට අයිති ඉඩම් ඔය පැත්තෙ තිබුණා. හර්ෂ ද සිල්ව ඒ ගැන දන්නව ද? පස්සෙ කාලෙක සරච්චන්ද්‍ර උන්නැහෙ මට විරුද්ධ ව පැමිණිල්ලක් කෙළෙ මිරිහාන පොලීසියට. ඒ කතාව පස්සෙ කියන්න ඕන. නාට්‍යයක් හදන්න පුළුවන්. අපරාදෙ කියන්න බැහැ කට උත්තරයක් දෙන්න මිරිහාන පොලීසියට යන්න ජී එල් පීරිස් මට නිල රථයක් ලබා දුන්න. ඒක නිල කතාවක්.

 

ඔය මිරිහාන කැරැල්ල ඉබේ ඇති වෙච්ච දෙයක් එහෙම නො වෙයි. එතැන බෙල් බොටම් විහාර මහා දේවිලත් ඉඳලා තියෙනවා. ඔවුන් අහවල් දේකට ද ජුබිලි කණුවෙ ඉඳලා පැඟිරිවත්ත පාරට ගියෙ. මහජන උද්ඝෝෂණ නිකම් ඇති වන්නෙ නැහැ. පනස්තුනේ හර්තාලයත් සමසමාජ පක්‍ෂෙ  නායකත්වයෙන් ඇති වුණු එකක්. එයට අගෝස්තු දොළහ දින නියම කෙරුණෙත් බණ්ඩාරනායක මහතා ඔහුගෙ අකමැත්තෙන් එහි නිල නායකත්වයට පත් කර ගත්තෙත් සමසමාජ පක්‍ෂය විසින්. හර්තාලය කියන නමත් සමසමාජ පක්‍ෂය දුන් එකක්. හර්තාල් කියන්නෙ හින්දි වචනයක්. කඩසාප්පු වහල මිනිස්සු වැඩට නොගිහින් උද්ඝෝෂණය කිරීම තමයි එහි අරමුණ වුණෙ.  හර්තාලයෙ දි තමයි මෙරට මෑත ඉතිහාසයෙ පළමු වරට රාජ්‍ය දේපොළවලට අලාභ හානි කෙරුණෙ. පාණදුරේ බලපිටිය වගේ පැතිවල රේල් පීලි ගැලෙවුවා. දුම්රිය මැදිරිවලට ගිනි තිබ්බා. ගෘහණියන් පීලිණියන් වෙලා ආප්ප පුච්චන්න රේල් පීල්ලට ආවා. නැහැ සිරිසේන ආවෙ නැහැ.

 

ඒ සියල්ල සමසමාජ පක්‍ෂයෙ මෙහෙයවීමෙන් සිදු වුණා කියා මා කියන්නෙ  නැහැ. ඒත් හර්තාලෙට නායකත්වය දුන්නෙ සමසමාජ පක්‍ෂය. පස්සෙ පක්‍ෂයටත් එය පාලනය කර ගන්න බැරි වුණා. ජීවිත නවයක් අහිමි වෙලා හර්තාලය නවත්තන්න තීරණයක් ගත්තා. සමසමාජ පක්‍ෂයට එදා මෙදා බලය ගන්න බැරි වුණා. ඊට අවුරුදු දහඅටකට පස්සෙ ජ වි පෙ කැරැල්ල ආවා. ඒ අප්‍රේල් පස්වැනි දා දවසක. රාජ්‍ය දේපොළවලට හානි කළා. ජීවිත දහස් ගණනක් අහිමි වුණා. ඊටත් අවුරුදු දහඅටකට වීතර පස්සෙ දෙවැනි කැරැල්ල ඇති කළා. නැවතත් රාජ්‍ය දේපොළ විනාශ කළා. ජීවිත නැති කළා. ජ වි පෙටත් එදා මෙදා බලය ගන්න බැරි වුණා. දැන් කෙකරගාමින් කෙකර ගගා සමසමාජයත් ජ වි පෙත් පරාද කරන්න හදනවා. ඔය සියල්ලන් ම අවසානයේදි කරන්නෙ රාජ්‍ය බලය තියෙන එක් පක්‍ෂයක් වෙනුවට වෙනත් පක්‍ෂයක් බලයට පත් කරන්න උපකාර කරන එක පමණයි.

 

මහජනයා කරන්නෙ යම් දේශපාලන නායකත්වයක මෙහෙයවීමට එහෙමත් නැත්නම් දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් ජීවිත අහිමි කර ගැනීම පමණයි. අද රට පාලනය වන්නෙ හදිසි නීතිය යටතෙ. අනෙක් අය වෙනුවෙන් කරන උද්ඝෝෂණවලින් මහජනයාට අහිමි වීමට මිස හිමි වීමට දෙයක් නැහැ. මහජනයාට කිසි දා තමන්ගෙ නායකත්වයක් ඇති වෙන්නෙත් නැහැ. අප්‍රේල් තුන්වැනි දා ද තවත් අප්‍රේල් පළමුවැනි දාවක් පමණයි.

 

අර කාණුවක් කාණුවක් ගානෙ ඉන්න ආර්ථික විිද්‍යා උපාධිධාරීන්ට ආචාර්ය මහාචාර්යවරුන්ටත් දේශපාලනඥයන්ට වගේ ම ඩොලර් අර්බුදයට විසඳුමක් නැහැ. අද හැමෝ ම වගේ කතා කරන්නෙ සර්වපාක්‍ෂික ආණ්ඩු අන්තර්කාලීන ආණ්ඩු භාරකාර ආණ්ඩු ගැන මිසක් තමන්ගෙ ආණ්ඩුවක් ගැන නො වෙයි. ඔවුන් දන්නවා තමන්ට තනියම දෙන්න විසඳුමක් නැති බව. සජිත්ට ඒ බවවත් තේරෙන්නෙ නැහැ. ඔහු හිතනවා ඔහුට විසඳුමක් තියෙනවා කියා. ඔහුට ප්‍රශ්නයවත් තේරෙන්නෙ නැහැ. ඔහුට විවිධාර්ථවලින් හැම දවසක් ම අප්‍රේල් පළමුවැනි දා.