History

Tuesday, 26 April 2022

හාමුදුරුවෝ හා කපුවෝ

හාමුදුරුවෝ හා කපුවෝ 

 

ඊයේ ලිපිය සමග පළ වූ ඡායාරූපය සකස් කරන ලද්දක් බව කීම ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙලා. එය එසේ නොවන බවට කැමරා ශිල්පියාත් ඒ ගැන දැන සිටියා යැයි සිතිය හැකි තවත් අයකුත් කියා ඇති බව මට දැන ගන්න ලැබුණා. මා එය සකස් කරන ලද්දක් බව පැහැදිලි යැයි කීවේ ඇයි ද යන්න කීම මේ ලිපියේ හා තවත් ලිපිවල  අරමුණයි.

 

මා සිංහල බෞද්ධයෙක්. ආගම් කාරයෙක් නො වෙයි. මට ආගමක් නැහැ. සිංහල බෞද්ධයනට ආගමක් නැහැ. අප සාමාන්‍ය පෙළට කිය වූ නාරද හාමුදුරුවන්ගෙ පොතේ බුදුදහම ආගමක් ද දර්ශනයක් ද කියල පාඩමක් තිබුණ මතකයි. එහි අන්තර්ගතය නම් මතක නැහැ. එය සමාජයේ අදත් කතාවෙන මාතෘකාවක්. මට එයට දෙන්න පුළුවන් එක ම පිළිතුරයි. බුදුදහම ආගමක්වත් දර්ශනයක්වත් නො වෙයි.

 

බුදුදහම කියන්නෙ නිවන් සම්මාබෝධයට මග කියා දෙන දහමක්. සිංහලයන් ඒ දහම මත පදනම් ව සංස්කෘතියක් ගොඩ නගා ගෙන තියෙනවා. අපට එය ඉන්දියාවෙන් ලැබුණු ආගමක් නම් නො වෙයි. ඒ දහම නම් ලැබුණෙ ඉන්දියාවෙන්. එහෙත් ඉන්දියාව ඒ දහම ඉවත දැම්මා. අප එය රැක ගත්තා. බුදුදහම ආගමක් නොවන නිසා ඒ ඒ බෞද්ධ රටවල සංස්කෘතීන් ඒ දහම අවශෝෂණය කර ගෙන ඇත්තේ ඒ ඒ සංස්කෘතීන්ට සාපේක්‍ෂව. මට මියන්මාහි දී එය හොඳින් වැටහුණා. අප දෙරට ම ථෙරවාදී වුණත් අපේ සංස්කෘතීන්වල අදාළ පැරණි සංස්කෘතික ලක්‍ෂණත් තියෙනවා. සිංහල බෞද්ධයන් බෝධි වන්දනාව කළත් මියන්මා බෞද්ධයන් ඒ කරන්නෙ නැහැ. අපේ සංස්කෘතියෙ ගස්වලට මහත් ගෞරවයක් දැක් වූවා. ඒ නිසා තමයි මිහිඳු මහා රහතන් වහන්සේ අපේ සංස්කෘතියට ගරු කරමින් අපට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව වඩම්මල දුන්නෙ.

 

සිංහල බෞද්ධයන් ලෙස අප උත්සාහ කරන්නෙ නිවන් සම්මාබෝධය ලබා ගන්න. එහෙත් අපට සාමාන්‍ය ජීවිතයෙ තවත් නොයෙකුත් දේ කරන්න තියෙනවා. අපට නිවන් සම්මාබෝධය ලබන්න වෙන්නෙ තනියම. එහෙත් අනෙක් බොහෝ දේට අපට දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් හා වෙනත් අයගෙන් උදවු උපකාර ගන්න වෙනවා. බුදුහාමුදුරුවන් ලෞකික ජීවිතය ගැන උපදෙස් දී තිබුණත් අප පැරණි සංස්කෘතියෙන් ලබා ගත් සමහර දේ අත්හැර නැහැ.

 

අප සමහර වෙලාවට දෙවියන්ගෙන් ආධාර බලාපෙරොත්තු වෙනවා. මළවුන් යැදීම යක්‍ෂ සංස්කෘතියේ ලක්‍ෂණයක්. අපේ දෙවියන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් මෙරට ජීවත් වී මියගොස් දේවත්වයට පත් වූ අය. මහසෙන් සමන් ආදී දෙවිවරු ඒ ගණයට අයත්. එයට අමතර ව අපට විෂ්ණු වැනි වෛදිකයන්ගෙන් ලැබුණු දෙවිවරු ඉන්නවා. අප ඒ දෙවිවරුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගෙන තියෙනවා. එහෙත් වෙනස්කම් සහිතව. අපේ විෂ්ණු දෙවියන් බ්‍රහ්මන්ගෙ අවතාරයක් නො වෙයි. අපේ විෂ්ණු දෙවියන් මතු බුදුවෙනවා.

 

සිංහල බෞද්ධ සංස්කෘතියෙ ලෝකය මැවූ දෙවියන් වහනසේ කෙනකුවත් බ්‍රහ්මන් කෙනකුවත් නැහැ. මා හිතන්නෙ යක්‍ෂ නාග දේව අදී සංස්කෘතිවලත් මැවුම්කාරයකු හිටියෙ නැහැ කියල. ඉන්දියාව බුදුදහම අත්හැරීමටත් අප එය රැක ගැනීමටත් මැවුම්කරු ඇති නැති වීම හේතුවක් වෙන්න ඇති. අපට ආරම්භයක් නැහැ. අප රේඛීය ව ඇරිස්ට (ඇරිස්ටෝටල්ට)  අනුව හිතන්නෙ නැහැ. අප චක්‍රිය ව හිතන්නෙ.

 

ඒ කෙසේ වෙතත් නිවන හා ඇතැම් ලෞකික බලාපොරොත්තු සම්බන්ධයෙන් අපට දෙවිධියක චර්යාවන් තියෙනවා. එහෙත් ඒවා එකට පවත්වාගෙන යෑමට අපට හැකි වී තියෙනවා. අපට නිවන සම්බන්ධයෙන් හාමුදුරුවරු ඉන්නවා. උන්වහන්සේ ගිහිගෙය අත්හැර බුද්ධ චීවරය දරා ඉන්නෙ නිවන් සම්මාබෝධය සඳහා ගිහි අපට වඩා හොඳින් කටයුතු කිරීමට. ඒ ඒ හාමුදුරුවන්ගෙ වැරදි කියනවාට වඩා අපි සමස්තය සලකමු. හාමුදුරුවන් වැඩ වසන්නෙ පන්සලේ. උන්වහන්සේ අපට වඩා උසස්. ඒ නිවනට සාපේක්‍ෂව. නිවන තැනක් නොවන බවත් අමතක කරන්න එපා. අප උන්වහන්සේට වඳිනවා. ඒ අපට වඩා ශීලයක් උන්වහන්සේ රකින බැවින්. උන්වහන්සේ තම දෙමවුපියන්ගෙන් පවා වැඳුම් ලබනවා. උන්වහන්සේ පූජ්‍යයි. උන්වහන්සේ අප හා නිවන අතර වැඩ වසන අතරමැදියන් නො වෙයි.

 

අර ඇතැම් ලෞකික කරුණු සම්බන්ධයෙන් අපි දේවාලයට යනවා. දේවාලය කියන්නෙ දෙවියන් ඉන්න තැන. එය කෝවිලක්වත් පල්ලියක්වත් නො වෙයි.  දේවාලයේ හරි වෙනත් තැනක හරි දෙවියන් හිටියට අපට දෙවියන් සමග කෙළින් ම සම්බන්ධ වෙන්න බහැ. එහි දී අපට කපු  මහත්තයා අවශ්‍ය වෙනවා. කපු මහත්තයා කියන්නෙ අතර මැදියෙක්. දෙවියන් හා අප අතර ඉන්නෙ කපු මහත්තයා.  කපු මහත්තයාට අපි වඳින්නෙ නැහැ. කපු මහත්තයා ගිහියෙක්. පූජ්‍ය නො වෙයි. පූජකයෙක්. ඔහු අපට වඩා වැඩි ශීලයක් රකින්නෙ නැහැ.

 

කපු මහත්තුුරු හැම තිස්සෙ ම අතරමැදියන්. මගුල් කපුවනුත් අතරමැදියන්. ඔවුන් මනාළ මනාළි පාර්ශ්වයන් සම්බන්ධ කරන අතරමැදියන්. සමහර විට කපුවා කපෝති වෙනවා.

 

ආගම්වල පූජ්‍ය පක්‍ෂයක් නැහැ. ඇත්තෙ දෙවියන් වහන්සේ හා බැතිමතුන් අතර වූ අතරමැදියන්. ඔවුන් කපු මහත්තුරු හරි කපු මහත්මීන් හරි. ඔවුන්ට පූජකයන් කියනවා. පූජ්‍ය පූජක (කපු) අතර වෙනස අප තේරුම් ගන්න ඕන. මට එය මුලින් ම තේරුණෙ තුනේ පංතියේ දි. මා තර්ස්ටන් විදුහලේ ඉගෙන ගත් ඒ කාලයෙ අපේ ගුරුතුමියන් අප රීගල් සිනමා ශාලාවට එක්කන් ගියා. වෙස්ට්මිනිස්ටර් ඇබේහි තිබූ එලිසබෙත් වින්ඩ්සර්ගෙ මෞලි මංගල්‍යයෙ චිත්‍රපටය බැලීමට. එහි දී මා හිතන හැටියට අභික්‍ෂේකය කෙළෙ කැන්ටබරියෙ ආච් බිෂොප්තුමා. ලන්ඩන් විහාරෙ හාමුදුරුවන්ට ආරාධනා කර තිබුණෙ නැහැ. එහෙත් කුඩා දරුවකු වූ මා විශ්මයට පත් කරමින් එලිසබෙත් වින්ඩ්සර් එන විට ආච් බිෂොප්තුමා නැගී හිටියා.  මා දැන සිටි හාමුදුරුවරුන් ගිහියන්ට නැගිට්ටෙ නැහැ.

 

පසුව තමයි මට ඒ අවබෝධ වුණෙ. බිෂොප්ලා ද ගිහියන්. ඔවුන් වැඩිම වුණෙත් කපු මහත්තුරු අතරමැදියන් පමණයි. අපේ හාමුදුරුවන් අපට වඩා උසස්. අපෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සන්. මට මෙහි දී මතක් වෙනවා නිග්‍රෝධ සාමණොරයන් වහන්සේගෙ කතාව. අශෝක මාළිගාවට වැඩි උන්වහනසේ සුදුසු අසුනක් බලා සිංහාසනයේ අසුන් ගත්තා. හාමුදුරුවරුන් රජුන්ට වඩා උසස්. ජනාධිපතිවරුන් අගමැතිවරුන්ට වඩා උසස්. උන්වහන්සේ ගිහියන් ඉන්න තැන්වල ගිහියන්ට වඩා පහත් අසුන් ගන්නේ නැහැ.

 

එය ආඩම්බරයකට කරන්නක් නො වෙයි. නිවනට සාපේක්‍ෂව සසරින් එතෙර වීම සම්බන්ධයෙන් බුද්ධ චීවරයේ ගෞරවය රැකීමකුත් ඉන් සිදු වෙනවා. අර තාප්පවලින් පනින තරුණ හාමුදුරුවරුන් චීවරයේ ගෞරවය රකින්න්නෙ නැහැ. ඒ දේශපාලන පැනිලි. අර ඡායාරූපයේ හාමුදුරු නමක් ගිහි ස්ත්‍රීන් ටිකක පාද මූලයේ බිම වාඩි වී සිටීයයි මා කිසි විටෙක විශ්වාස කෙළේ නැහැ. එය සකස් කළ ඡායාරුපයක් ලෙස මා දුටුවේ ඒ නිසයි. එහෙත් පසුව කරුණු සොයා බැලීමේ දී මේ අබුද්ස්ස කාලයේ එවැනි දේත් සිදුවන බව මට අවබෝධ වුණා.

 

අද පළකරන ඡායාරූපයත් යමක් කියනවා. ආතල්ගමේ ආතල් ගෙදර ආතල් කුමාරි බඳින දවස මගුල අදයි යස හැඩකාරී, මේ මගුල් සක්වළ වෙන්න බැරි මොනව ද? (මතු සම්බන්ධයි)