History

Wednesday, 27 April 2022

රාහුල හිමියනි ඔබ වහන්සේ කොහි ද?

රාහුල හිමියනි ඔබ වහන්සේ කොහි ද?

 

ඊයේ ලිපියේ මාතෘකාව වූයේ හාමුුදුරුවෝ හා කපුවෝ යන්නයි. කපුවෝ යන්න බහුවචනයෙනි. එහි ඒකවචනය කපුවා යන්නයි. කාදිනල්තුමා ද දෙවියන් වහන්සේ හා අප අතර ඉන්න කපු මහතෙක්. එහෙත් හාමුදුරුවො යන්නෙහි ඒකවචනය කුමක් ද? එයත් හාමුදුරුවො යන්නයි. සිංහල භාෂාව ගොඩ නැගුණේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි. අද නම් එය එසේ යැයි කීමට බැහැ. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සිංහල භාෂාවත් ආක්‍රමණය කරලා. කෙසේ වෙතත් සිංහල භාෂාවෙහි ගෞරවාර්ථයෙන් ඒකවචනයෙ යෙදෙන නාම පද කිහිපයක් තියෙනවා. බුදු හාමුදුරුවො, හාමුදුරුවො, මෑණියො, පියාණො ආදීන්. ඒ වචන වර නගන්නත් පුළුවන්. හාමුදුරුවන් පියාණන් ආදී  වශයෙන්.

 

පෙරේදා (25) ඡායාරූපවල සිටි ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවන් ගැන වචන කිහිපයක් කියන්න ඕන. උන්වහන්සෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ ඉතිහාස අංශයෙ. මට නම් උන්වහන්සෙ ගැන මතකයක් නැහැ. මා 2011 අවසන සේවය අවසන් කළා. මේ හාමුදුරුවන් අම්පාර ප්‍රදේශයේ ගල්කන්ද ගමේ. ඒ ගමේ පාසලේ ඉගෙන ගන්න කාලයෙ පරගොඩ පන්සලේ හාමුදුරු නමක්  එහි උගන්වන්න වැඩම කරලා. අපවත් වී වදාළ වල්පොළ රාහුල හාමුදුරුවන් පරගොඩ විහාරය හා සම්බන්ධයි. රාහුල හාමුදුරුවන් අර උගන්වන්න අම්පාරට වැඩම කළ හාමුදුරුවන්ට කියල තියෙනවා මහණ කරන්න දක්‍ෂ ශිෂ්‍යයකු ලබා දෙන ලෙස. ඒ අනුව තමයි කියනව ධම්මානන්ද හාමුදුරුවන් පැවිදි වී රාහුල හාමුදුරුවන්ගෙ ආයතනයෙ අධ්‍යක්‍ෂ පදවියට පත් ව සිටින්නෙ.

 

ධම්මානන්ද හාමුදුරවන්ගෙ දක්‍ෂකම් ගැන මට වැටහීමක් තියෙනවා. මා ඔය ඊනියා දක්‍ෂයන් දහස් ගණනක් දැක ඇති. ඔවුන් අතර ආචාර්ය මහාචාර්ය බටහිර වෙද මහතුන් ඉංජිනේරුවන් කලාකරුවන් ද සිටිනවා. ඔවුන් කලාලකරුවන් පමණයි. ඔවුන්ගේ එක සංකල්පයක් ප්‍රවාදයක් නිකමට සාංකාවට කියන්න. ඒ කොහොම වෙතත් පරගොඩ විහාරයත් රාහුල හාමුදුරුවනුත් ප්‍රසිද්ධයි. ආතල්ගමේ කී දෙනකු ගම්පෙරළිය කියවල තියෙනවා ද දන්නෙ නැහැ. ආතල්ගමත් දැන් පෙරළෙන්න ළඟයි. අර පුස්තකාලයෙ ගම්පෙරළිය තියෙනව නම් ඉක්මනට කියවන්න.

 

ගම්පෙරළියෙ නන්දා පියල් මාතර හාමිනේ පියල්ගේ මව තිස්ස බලදාස ඩික්කි කරත්තෙන් පරගොඩ විහාරයට යනව නාමල් පූජාවට. එය වැඩි හිටියන්ට නාමල් පූජාවක් වෙන්න ඇති. පියල්ට නම් පෙම්මල් පූජාවක්. නාමල් සුවඳ විතරක් ඔහුට දැනිලා. පරගොඩ විහාරය කවදා කළ එකක් දැයි පැහැදිලි නැහැ. එහි සීලිමේ නග්න ස්ත්‍රී රූපයක් සිත්තම් කර ඇතැයි කියනවා. මා පරගොඩ විහාරය අසළින් කිහිප වතාවක් ම ගොස් ඇතත් එහි යෑමට ඉඩක් ලැබුණේ නැහැ. ඒ කෙසේ වෙතත් මට තිස්ස පෙනෙන්නේ තිස්ස විතාරණ වගේ. ඒ සැසඳීමේ සර්ව සාම්‍යයක් නැහැ. ගම්පෙරළියේ තිස්ස විවාහ වුණේ නැහැ. මාක්ස්වාදය සමාජවාදය ආදිය ලංකාවේ බින්න බැස්සේත් නැහැ.

 

වල්පොල රාහුල හිමි (උන්වහන්සේ හිමි කියා යෙදුවේ නැහැ) මුල දි සමාජවාදියෙක්. හිමි කියා යෙදුවෙ නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. ඒත් හාමුදුරුවන්ට සහෝදරයා කියන්න සිංහල බෞද්ධ සංස්කෘතියෙ ඉඩක් නැහැ.  උන්වහනසෙ වඩාත් ප්‍රසිද්ධ භික්‍ෂුවකගෙ උරුමය හා (What the Buddha Taught) කෘති සම්බන්ධයෙන්. උන්වහන්සෙ සත්‍යොදය කතා නමින් පොත් පිංචවල් ද පළ කර තියෙනවා. උන්වහන්සේ ලංකා විශ්වවිද්‍යාලයෙත් කොල්කතා විශ්වවිිද්‍යාලයෙත් සෝබොන් විශ්වවිද්‍යාලයෙත් ඉගෙන ගෙන තියෙනවා. එක්සත් ජනපදවල නෝත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයෙ උගන්නල තියෙනවා. විද්‍යොදය විශ්වවිද්‍යාලයෙ උපකුලපති පදවියත් දරා තියෙනවා.

 

මුලදි සමාජවාදියකු වුණත් පසුව උන්වහන්සෙ ජාතිකත්වය පිළිගත්තා. මා උන්වහන්සේ දැන ඇඳින ගත්තෙ ඒ පසු කාලයෙ. උන්වහන්සෙ හමුදා මෙහෙයුම්වලට විරුද්ධ වුණෙ නැහැ. බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය එකක් නොව දෙකක් බව උන්වහන්සෙ එකල දැන සිටියා. මට උන්වහන්සෙ ගැන තියෙන්නෙ කණගාටුවක්. උන්වහන්සෙ බටහිර අධ්‍යාපනයෙන් නොමග ගිය හාමුදුරුනමක්. එහෙත් උන්වහන්සෙ එසේ නොමග ගීිය ප්‍රථම භික්‍ෂූන් වහන්සේවත් අවසන් භික්‍ෂුන් වහන්සේවත් නො වෙයි. උන්වහන්සේට අවශ්‍ය වුණෙ බුදුදහම තාර්කික බුද්ධිවාදී දහමක් බව පෙන්වීමට. What the Buddha Taught කෘතීිය ලියා ඇත්තේ බටහිරයන්ට ඒ බව කියා දීමට. එහෙත් බුදුදහම බුද්ධිවාදීවත් තාර්කිකවත් නො වෙයි. මෙහි දී තාර්කික කියන්නෙ ඇර්ස්ගෙ න්‍යාය මත රේඛීය චින්තනයෙ නිගමනවලට පැමිණීම. පටිච්චසමුප්පදාය රේඛීය චින්තනයෙ නොමැති බව උන්වහන්සේ එකල හිතන්නවත් නැතුව ඇති.

 

එහෙත් උන්වහන්සෙ ගිහියන් සමග එකට වාඩිවෙන්න ගිහින් භික්‍ෂුත්වය කෙළෙසුවෙ නැහැ. තමන් වහන්සේට වඳින්න එපා කිවුවෙ නැහැ. භික්‍ෂුව හා ගිහියා අතර වෙනස උන්වහන්සේ දැන සිටියා. එමෙන් ම බුදුහමෙහි ශ්‍රෙෂ්ඨත්වය පිළිබඳවත් උන්වහන්සේට හැඟීමක් තිබුණා. ඇරිස්ට හා බටහිර දැනුමට අභියෝග කිරීමට තරම් බටහිර විද්‍යාව හා බටහිර ගණිතය පිළිබඳ දැනුමක් උන්වහන්සේට නොමැති වීම අභාග්‍යයක්. අවාසනාවකට අදත් බොහෝ භික්‍ෂූන් වහන්සේට ඒ පිළිබඳ දැනුමක් නැහැ.

 

උන්වහන්සේගේ ගෝල නමක් ය කියන රාහුල ආයතනයේ වත්මන් අධ්‍යක්‍ෂ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට ඇත්තේ ජනප්‍රියවාදී මනසක්. ගල්කන්දේ හාමුදුරුවන්ගේ මවට දෙමළ සම්භවයක් තියෙන බව කියනවා. ඒ කෙසේ වුවත් උන්වහන්සේට සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විය යුතු තැන නැති කිරීමේ වුවමනාව ඇති බව පැහැදිලියි. රාහුල හාමුදුරුවන්ට අවශ්‍ය වුණෙ බටහිරයන්ට බුදුදහමේ අගය කියා දීමට. උන්වහන්සේ බුදුදහම බටහිර අච්චුවට දැමීමට උත්සාහ කෙළෙත් වැරදියට නමුත් ඒ අවශ්‍යතාවට.

 

අද ආතල්ගමේ අවශ්‍යතාව සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට කතෝලික පරංගි පටන්ගත් ව්‍යාපාරය අවසන් කිරීමට. ඊනියා ආගමික සමගිය ඒ සඳහා මිස ආගම් අතර සමගියක් ඇති කිරීමට නො වෙයි. මා ඊයේ හා පෙරේදා පළ කළ ඡායාරූපවලින් පිළිබිඹු වන්නේ එයයි. ගල්කන්දේ හාමුදුරුවන් ගිහි ස්ත්‍රීන් පුටුවල වාඩි වී සිටිය දී ගිහියන් සමග බිම වාඩි වීමෙන් කරන්නේත් එයයි. එය ඊනියා නිහතකාමීබවක් පෙන්වීමක් නොවෙයි.

 

ආතල්ගම තියෙන එක හොඳයි. ආතලයන්ගේ අවශ්‍යතාව ඉන් වැටහෙනවා. එය කතෝලික මුස්ලිම් ඊනියා සමගියක් ඇති කර සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි  විිය  යුතු තැන නැති කිරීමට ගෙන යන ව්‍යාපාරයක්. එහි හින්දූන් දකින්නට නැහැ. හාමුදුරුවරුනුත් එතරම් දකින්නට නැහැ. ඒ සම්බන්ධයෙන් එක්තරා අයකු මුහුණු පොතේ කියා තිබුණේ හාමුදුරුවන් පිං බත් ගිලිමින් රාජපක්‍ෂලාට අහවල් එක නොදී (ජඩ) අරගලයට සහභාගි විය යුතු ය කියා. මෙහි වන්නේ කුමක් ද යන්න ඉන්දියාවට පැහැදිලි ඇති. හින්දුන් සහභාගි නොකෙරෙන්නේ ඒ නිසා ද? ආතල්ගම ඊනියා හැත්තෑහතේ දරුවන්ගේ වැඩක් නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදීමට නන්දිකඩාල් පරාජයෙන් රාජපක්‍ෂලා සමග වෛර බැඳගත් බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් පැතුම් කර්නර්ලා ලවා කරවීමට ගන්නා උත්සාහයක්. කර්නර්ගේ පියා එක්කෝ ස්කොට්ලන්ත ජාතිකයෙක් නැත්නම් ඉංගිරිසි ජාතිකයෙක්. අනෙක් අයගේ ජාත පියවරුන් කවුරුන් වුවත් ආධ්‍යාත්මික පියවරුන් කවුද කියා ගල්කන්දෙ හිමියන් චීවරයට අගෞරව කරමිින චීවරය ගිහියන්ගේ දෙපාමුල අතුරණ විට ඇස්පනා පිට පේනවා.   ඒ අතර කර්නර් ආතල්ගමෙන් විසිවෙනවා. අනෙක් අයත් විසිවෙලා ආතල්ගමත් විසිවෙන දිනය ඈතක් නො වෙයි.