History

Wednesday, 4 May 2022

කිරිඇල්ලලාට පුළුවන් ද?

 කිරිඇල්ලලාට පුළුවන් ද?

 

ලක්‍ෂමන් කිරඇල්ල නීිතිඥයෙක්. ඒ ගැන මට සැකයක් නැහැ. ඔහු නීති විද්‍යාලයේ විභාග සමත් වෙන්න ඇති. එහෙත් ඔහු පාසලේ දී සාමාන්‍ය පෙළ සමත් වී ද යන්න නම් ප්‍රශ්නයක්. ඔහු පාසලෙන් අස් වූයේ කිනම් විභාගයකින් සමත් වීමෙන් පසුව ද? මා විභාග සහතිකවලට වැදගත් කමක් දෙන්නෙ නැහැ. එහෙත් කිරිඇල්ලගෙ ඇති වෙනත් වැදගත්කමක් ගැන කියන්න මා දන්නෙ නැහැ. දන්න අයකු ඉන්නවා නම් කියන්න. එවිට මා විභාග සහතික කතා අත්හරින්නම්. 

 

ඊයේ කිරිඇල්ලලා විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකතුමාට භාර දීල. එතුමා ඒ භාරගෙන. ඒත් පිළිගනීවි ද යන්න ප්‍රශ්නයක්. විශ්වාසභංග යෝජනාවලට කී දෙනකු අත්සන් කර තියෙනවා ද කියා කිරිඇල්ලලා කියන්නෙ නැහැ. 113ක් තියෙනවා නම් නොකියා ඉන්නෙත් නැහැ. ඒ කොහොම වෙතත් එකක් අගමැති හා ආණ්ඩුවට විරුද්ධ ව. අනෙක ජනාධිපතිට හා ආණ්ඩුවට විරුද්ධ ව. කිරිඇල්ලලාට අනුව ඒ යෝජනා ගෙනැවිත් ඉන්නෙ ව්‍යවස්ථාවෙ 42 වැනි වගන්තියට අනුව. 42 (4) වැනි වගන්තියට අනුව ජනාධිපතිතුමා තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත් කරන්න ඕන.

 

කිරිඇල්ලලාට පෙන්නන්න පුළුවන් නම් වත්මන් අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ 113 නැහැ කියල එවිට අගමැති අස්වෙන්න ඕන. ඒ සමග අමාත්‍ය මණ්ඩලයත් විසිරෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ. උපරිම විශ්වාසය කියන්නෙ මොකක් ද? 113ක් තිබීම ද? 113 කියන්නෙ බහුතරය මිසක් උපරිමයක් නො වෙයි. අපි හිතමු අගමැති අපේක්‍ෂකයන් තුන් දෙනකු ඉන්නවා කියා. ඒක් අයකුටවත් 113ක් නැති වෙන්න පුළුවන්. එවිට ඒ ඒ අයට 90ක් 80ක් 70ක් ඉන්නවා කියමු. ඒ එකතුව 225ට වැඩි වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සමහර මන්ත්‍රීවරු එක් අයකුට වඩා කැමති වෙන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා කරන්න ඕන අර මන්ත්‍රීවරු 90 දෙනකු කැමති තැනැත්තා අගමැති ලෙස පත් කරන්න ඕන. එපමණයි.  කිරිඇල්ලලා අර උපරිමය ගත හැකි පුද්ගලයා හොයල දෙනවා ද

 

මේ පාර්ලිමේන්තුවේ 113 දෙනකුගේ කැමැත්ත ඇති අයකු නැත්නම් උපරිමය ඇති අය කවුද කියන එක හොයා ගන්න ජනාධිපතිතුමාට උපකාර කරන්න කිරිඇල්ලලාට පුළුවන් ද? ඒ කුමක් කළත් ජනාධිපතිතුමාට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගේන්න බැහැ. කිරිඇල්ල නීතිඥතුමා ව්‍යවස්ථාව කියවල ඇති කියල මා හිතනවා. විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් 113ක් ලබා ගත්තත් ජනාධිපතිතුමා අස්වෙන්න ඕන නැහැ. ඒත් මා හිතන්නෙ නැහැ කතානායකතුමා ජනාධිපතිතුමාට විරුද්ධ ඊනියා විශ්වාසභංග යෝජනාව පිළිගනීවි කියා.  42 වැනි වගන්තිය යටතේ එවැනි විශ්වාසභංග යෝජනාවක් ගේන්න බැහැ. ජනාධිපතිතුමා ඉවත් කරන්න ඕන නම් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන තියෙනවා. කිරිඇල්ලලාට පුළුවන් ඒ අනුව කටයුතු කරන්න. එය තරමක කල්ගත වන වැඩක්.

 

ඊනියා සර්වපාක්‍ෂික ආණ්ඩු කතා නිකම් ආතල් කතා පමණයි. අද කරන්න පුළුවන් තවත් අලුත් ආණ්ඩුවක් හදන එක පමණයි. මා තවත් ආණ්ඩුවක් කියන්නෙ පසුගිය දා ඇමතිවරුන් 17 දෙනකුගෙන් යුක්ත ආණ්ඩුවක් පිහිටුව ගත්ත නිසා. අද තියෙන ප්‍රශ්නයට මෙතෙක් තිබුණු සියලු ආණ්ඩු වග කියන්න ඕන. ඒ ආණ්ඩු කරවූ පක්‍ෂ ලෙස අද පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්‍ෂ වග කියන්න ඕන. අර 225 ම ඉවත්වෙන්න ඕන කියන එකේ යම් අරුතක් තියෙනවා නම් ඒ සියලු පක්‍ෂ අර්බුදයට වග කියන්න ඕන කියන එක පමණයි. ඒත් 225 ඉවත් වුණොත් මොක ද වෙන්නෙ. ව්‍යවස්ථාව අනුව ඒ ඒ ලැයිස්තුවල ඊළඟට ඉන්න අය මන්ත්‍රීවරුන් ලෙස පත් වේවි. ඊට පස්සෙ මොක ද වෙන්නෙ.

 

අපි මේ ආතල්කතා ආතල්ගමට සීමා කරමු. ඒ කතා රැල්ලේ පා කර හරිමු. එය ඕන රැල්ලක් වෙන්න පුළුවන්. ජඩමාධ්‍ය විසින් ඇති කෙරෙන රැල්ල හරි ඉන්දියන් සාගරයෙන් එන හුලං රැල්ල හරි වෙන්න පුළුවන්. මොකක් වුණත් කමක් නැහැ.  අපි ප්‍රශ්නයට මුහුණ දෙමු. අද පාර්ලිමේන්තුවේ මුදල් ඇමති අලි සබ්‍රි පැහැදිලි කළා ප්‍රශ්නය මොකක් ද කියන එක. එය කළ යුතුව තිබුණේ කලකට පෙර. අප හැමදාමත් ප්‍රශ්නය ණයට කෑම ලෙස සරලව සඳහන් කළා. ණය ගෙවීමට තව තවත් ණය ගැනීම නිෂ්පාදන ආර්ථිකයක් නොමැති වීම යැපුම් ආර්ථිකයක් අවුරුදු හැත්තැවක් පමණ කාලයක් පවත්වා ගෙන යෑම තමයි ප්‍රශ්නයට හේතුව. අප අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම ලෙසත් එය හඳුන්වනවා. වසංගතය නිසා තව අවුරුදු කිහිපයකින් එන්න තිබූ ප්‍රශ්නයක් දැන්ම ම ඇවිල්ලා.

 

නීතියවත් හරිහැටි නොදන්න කිරිඇල්ලලාට ප්‍රශ්නයට විසඳුම් නැහැ. අද පළමුවෙන් කළ යුත්තේ අලුත් ආණ්ඩුවක් පිහිටුවීමයි. එයට වෙනත් පක්‍ෂත් එකතු කර ගැනීමට අවශ්‍ය නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. ව්‍යවස්ථානුකූල ව එය කරන්න පුළුවන්. එයට ජාතික එකඟතා වැනි ව්‍යවස්ථාවේ නැති නම් දාන්න ඕන නැහැ. අද අපට ඕන ආතල් වචන නොව ව්‍යවස්ථානුකූල වචන. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ දී පොහොට්ටුවේ නැති අයකු වුණත් අගමැති කරන්න පුළුවන්. පොහොට්ටුවේ නැති ඇමතිවරුන් ඉන්න පුළුවන්. ඒත් සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධීන් පත් කර නොගන්න වග බලා ගන්න ඕන. සුමන්තිරන් වැන්නන් සමග මොන ජාතික ආණ්ඩු ද? ඒ පත් කර ගන්නා අය සිංහල බෞද්ධයන් ලෙස හඳුන්වන්නවුන් වීම අවශ්‍ය නැහැ. අවශ්‍ය ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධීන් නොවීම පමණයි. හිතනවාද ඇමරිකා එක්සත් ජනපදවල ජනාධිපතිකම හරි ඇමතිකම් හරි ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික විරෝධීන්ට ලැබේවි කියල

 

ජාතික ආණ්ඩුව ගත් ණය ගෙවීමට හරි ණය ගෙවීම කල්දා ගන්න හරි පොලිය අඩුකර ගන්න හරි කටයුතු කරන අතර වහාම යැපුම් ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකයකට මාරු වෙන්න ඕන. අවුරුදු හැත්තෑවක් පමණ අප කෙළේ වවන්නෙ නැතිව එහෙම නැත්නම් සංවර්ධනයක් නැතුව කෑම. එවිට අනිවාර්යයෙන් ම ණය ගන්න වෙනවා. ණයට කෑම තමයි ප්‍රශ්නය. ඉන්දියාවට 1992 පමණ කාලයේ ඩොලර් තිබිල තියෙන්නෙ බිලියන දෙකයි කියනවා. අද එහි ඩොලර් සංචිතය බිලියන අටසීයක් පමණ වෙනවා.

 

අපටත් එවැන්නක් කළ හැකියි. අවශ්‍ය වැඩ කිරීම, නිෂ්පාදනය කිරීම. පුළුවන් අයට ගෙවතු වගාව වුණත් කමක් නැහැ. එහෙත් සංවිධානාත්මක ව එයට වැඩි දෙයක් වෙන්න ඕන. ඒත් කිරිඇල්ලලාට එය කරන්න පුළුවන් ද? ඔය හැමෝම කතා කරන එහෙත් නොකියන නොදන්න අවශ්‍ය සිස්ටම් චේන්ජ් එක මොකක් ද? ඒ යැපුම් ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකයට මාරු වීම. එහි දී ඊනියා සුභසාධන රාජ්‍යයත් වෙනස් කරන්න වෙනවා. සුබ සාධනය වෙනුවට ඒ ඒ පවුල් ක්‍රමයෙන් නිෂ්පාදනයට යොමු කරන්න ඕන. දේශීය ආර්ථිකයක් ඇති කරන්න ඕන. දේශීය ආර්ථිකයක හෙළ ගොවිතැනට හෙළ වෙදකමට තැනක් දෙන්න ඕන.  අර හැමදාමත් හැමෝම කියන කතාව මාළු දෙන්නෙ නැතුව බිලී පිත්තක් අරන් දෙන්න ඕන. ඒ උදාහරණයට මා කැමති නැහැ. හාල් සේරුවක් සහන මිලකට දෙනවා වෙනුවට නගුලක් අරන් දෙන්න ඕන.