History

Wednesday, 15 June 2022

අප බටහිරයන්ගෙ ගෑස් බලන්නෙ ඇයි?

 

අප බටහිරයන්ගෙ ගෑස් බලන්නෙ ඇයි?

 

මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වේ. මා කියන කිසිවකින් සමාජයට වැඩක් වෙන්නෙ නැහැ. ඒ සමාජය පොදුවෙ ගත්ත ම මට වඩා උගත් හා බුද්ධිමත් නිසා. ජාතිකවාදීන් ද මට වඩා උගත් හා බුද්ධිමත්. මා ලියන්නේ ඒ කිසිවකුටවත් නොවෙයි. මගේ අදහස් නිරවුල් කර ගැනීමට පමණයි. මා හිතන්නෙ නැහැ හාමුදුරුවරු වැඩි නමක්, ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර, අශෝක අමරතුංග, කල්‍යානන්ද තිරාණගම වැනි ජාතිකවාදීන් මේ ලිපි කියවනවා කියා. ඔවුන් කිසිවකු බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන්නේ නැහැ. ඔවුන් වැඩිම වුවහොත් විද්‍යාත්මක බෞද්ධයන්. පොදුවේ ගත්ත ම වමාලත් මේ ලිපි කියවන්නේ නැහැ. කියවන්න ඕනත් නැහැ. බුද්ධිමත් ඔවුන් මගෙන් මොනව ඉගෙන ගන්න ද? කොහොමටත් මා කිසිවකුට කිසිම දෙයක් උගන්වා නැහැ. සමාජයට මගෙන් ඉගෙන ගන්න දේකුත් නැහැ. පොදුවේ ගත්තම උගත් සමාජය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අදහස් දරන්නෙ. මා සිංහල බෞද්ධ සංස්කෘතියෙ. මෙතෙක් මා මේ පිටුවේ හඳුන්වා ගත්තේ ගුරුවරයකු වශයෙන්. එය වැරදියි. මා ගුරුවරයකු නො වෙයි.

 

සිංහල බෞද්ධ සංස්කෘතියෙ වුණත් මා එහි බෞද්ධ නොවන දේට කැමති නැහැ. විශේෂයෙන් ම කුල ප්‍රශ්නය සඳහන් කරන්න පුළුවන්. එදා කොහොම වෙතත් අද වන විට ස්ත්‍රීන්ට සමාජයේ ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ වසන උඩමළුවට හැමෝට ම යන්න දෙන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙත් ඒ ටික දෙනා අතරත් ස්ත්‍රීන්ට තැනක් නැහැ. ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කළේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේ නමකට වඩම්මන්න පුළුවන් බෝධියෙ මළුවට ගැහැණුන්ට යන්න බැරි ඇයි? දන්ත ධාතුන් වහනසේ මෙරට වැඩැම්මුවෙත් ස්ත්‍රියක්. හේමමාලි කුමරිය. පත්තිරිප්පුවට ගැහැණුන්ට නගින්න දෙන්නෙ නැත්තෙ හින්දු බමුණු මතය නිසා ද? මගේ අම්මාට භාර්යාවට දුවට ලේලිලාට නංගිලාට යන්න බැරි නම් මා යන්නෙ කොහොමද?

 

අද පවත්නා ආර්ථික අර්බුදය මා දකින්නේ අපේ ජීවන රටාවේ ප්‍රශ්නයක් ලෙස. අප අපට ඔරොත්තු නොදෙන ජීවන රටාවක් පවත්වා ගෙන ගියා. මධ්‍යම පංතිය එයට වග කියන්න ඕන. නිදහස් අධ්‍යාපනයත් සමග  මධ්‍යම පංතිය ප්‍රසාරණය වුණා. අපේ බොරු උගත්කමත් වැඩි වුණා. මා උගතකු නොවීමෙන් පසු මට ඇති සැනසීම කියා නිම කරන්න බැහැ. කෙසේ වෙතත් ඊනියා නිදහස ලත් දින සිට ම අප අධිපරිභෝජනයේ නිරත වෙමින් බොරු ෂෝක් කරමින් බොරු උගත්කම් ප්‍රදර්ශනය කරමින් ජීවත් වුණා. මෙරට දර්ශන අධ්‍යනංශ නොව ප්‍රදර්ශන අධ්‍යනංශ ඇති බව කියා ඇත්තේත් එවැනි අංශයක ප්‍රධානියකු ව සිටි අයෙක්. මෙරට ඊනියා දාර්ශනිකයන් තරම් ප්‍රදර්ශනිකයන් තවත් නැතුව ඇති. බොහෝ දෙනා ඡායාරූප ගන්න විට පොත් රාක්ක පසුබිමෙහි තබා ගන්නේ කුමකට ද යන්න ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ.

 

කෙසේ වෙතත් මේ ආර්ථික අර්බුදය සාමාන්‍ය අර්ථයෙන් දේශපාලනික ප්‍රශ්නයක් නො වෙයි. එය දේශපාලනික ප්‍රශ්නයක් වන්නේ විසඳීමට යෑමේ දී. උදාහරණයක් වශයෙන් රුසියාවෙන් තෙල් ගැනීම දේශපාලනික ප්‍රශ්නයක්. බටහිරයන් කැමති නැහැ අප රුසියාවෙන් තෙල් ගන්නවාට. බටහිර ගැති රනිල් තම ස්වාමීන්ට කියන්නේ අපට රුසියාවෙන් තෙල් ගැනීමට සිදුවේවි කියා. එහෙම වුණොත් සමාවෙන්න වැනි දෙයක් ඔහු කියන්නෙ. අප නිවටයන් වී ඇත්තේ අපේ ආකල්ප නිසා. ඒ ආකල්ප බටහිරයන් ඇති කළ දේ. අවශ්‍ය වන්නේ අපේ ආකල්පවල වෙනසක්. ජීවන රටාව වෙනස් කිරීමක්. එය කෙටි කාලීනව මධ්‍යම කාලීනව හා දීර්ඝ කාලීනව වෙනස් වෙන්න ඕන. දියුණුව යන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳ වෙනසක් අවශ්‍යයි. අප සිංගප්පූරුවක් වීමට අවශ්‍ය නැහැ. අපි ලංකාවක් වෙමු. මෙරට වෘත්තීය සමිති කර ඇත්තේ වැඩ නොකර යුතුකම් ඉටු නොකර පඩි ලබා ගැනීමට හා අයිතිවාසිකම් සඳහා සටන් කිරීමයි.

 

අපට එක්වර මේ ජීවන ක්‍රමය වෙනස් කරන්න බැහැ. අදත් අප උත්සාහ කරන්නේ පුරූදු ව ඇති ජීවන ක්‍රමය පවත්වාගෙන යෑමට. අපේ ආදායමට වඩා වියදම් කරන්න. රට ගැන නොව තමා ගැන සිතන්න. රට ගැන නොසිතන එකට නිදහසට කරුණකුත් තියෙනවා. මේ හොරු ඉන්නකම් රට ගැන හිතන්න බැහැ කියා උත්තරයක් දෙන්න පුළුවන්. ඒ නිසා උණ්ඩියල් ක්‍රමයට මුදල් එවනවා කියන්නත් පුළුවන්.

 

මේ කතාව අර තවත් බොරු උගත් කතාවක්. උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීම ම හොර වැඩක්. උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන්නන් හොරු කියා කියන්න පුළුවන්. හොරු ඉන්න කම් රටක් ගැන හිතන්න බැහැ කියන කොට උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන්නන් කියන්නෙ තමන්ට කොහොමටවත් රටක් ගැන හිතන්න බැහැ කියලයි. අනෙක් අතට මෙරට හා ලෝකයේ උණ්ඩියල් ක්‍රමය පාලනය කරන්නන් හොරු නොවෙයි කියල ද හිතන්නෙ. අද ලංකාවෙත් ලෝකයෙත් උණ්ඩියල් ව්‍යාපාරයක් තියෙනවා. ඒ උණ්ඩියල් ක්‍රමය ලංකාවෙ මෙහෙයවන්නෙ තුන්හතර දෙනෙක්. උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන්නන් කරන්නෙ ඒ "සත්භාවයෙන්" උණ්ඩියල් ක්‍රමය මෙහෙයවන්නන් පොහොසත් කිරීමයි.

 

අනෙක් අතට උණ්ඩියල් මුදල් ව්‍යාපාරිකයන් අවභාවිතා කරනවා. අප අපනයනය කරන භාණ්ඩවලට ලැබිය යුතු ඩොලර් සියල්ල රටට ලැබෙන්නෙ නැහැ. අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට කියා ඔවුන් ඒ මුදල් පිටරට බැංකුවල තැන්පත් කරනවා. යමකු පිටරටක දී උණ්ඩියල් ක්‍රමයට ඩොලර් එවන්න ව්‍යාපාරිකයකුට ඩොලර් දුන්නොත් ඒ තැනැත්තාගේ නියෝජිතයකු මෙරට දී අදාළ පුද්ගලයකුට රුපියල් දේවි. ඒහෙම නැත්නම් මෙරට දී දෙන ඩොලර්වලට රුපියල් දේවි. දැන් අර ව්‍යාපාරිකයා භාණ්ඩ ආනයනය කරන විට තමා ළඟ තියෙන ඩොලර් මදි වුණෙත් ලංකාවේ දී නියෝජිතයාට ලැබෙන ඩොලර් කටුනායක හරහා ගෙන්වා ගන්නවා. ආනයන අපනයන   කියන්නේ ශුද්ධවන්තයන් කරන වැඩ නො වෙයි. හොරු හොරුන්ගෙන් ගැලවීමට කියා හොරු පෝෂණය කරනවා. ඒක තමයි හොර සූත්‍රය.

 

අප පුරුදු වෙලා තියෙන විධියට, එහෙමත් නැත්නම් පුරුදු කරලා තියෙන විධියට අපට තෙල්, ගෑස්, බටහිර ඖෂධ, විදුලිය අවශ්‍යයි. මේ ලිපි ලියන්නත් විදුලිය අවශ්‍යයි. විදුලියත්, ජලවිදුලිය හා සීමිත පුනර්ජනනීය විදුලියත් ජනනය කිරීම හැරුණු විට තෙල් ගල් අඟුරු ආදියෙන් ජනනය කරන්න ඕන.

 

මෙරට ඉතා විශාල පිරිසකට ගෑස් නැතිව උයන්න පුළුවන්. ඒත් අද අප පුරුදු කරල තියෙන්නෙ ගැස්වලින් උයන්න. ගෑස් පෝලිමේ දින ගණන් ගත කරලා රුපියල් හත්දහසකට ගෑස් සිලින්ඩරයක් අරගන්න එක ආර්ථික වශයෙන්වත් ලාභදායක ද? ඇතැමුන් පෞද්ගලික මට්ටමෙන් ජීවවායු නිපදවා ගන්නවා. වෙනත් උදුන් සපයා ගන්නවා.  එය හැමෝට ම කරන්න බැහැ. එහෙත් මධ්‍යම ප්‍රමාණයෙන් එසේ කිරීමේ හැකියාවක් ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුව විවිධ ක්‍රම ගැන හිතන්න ඕන. ඒ සඳහා ඊනියා උගතුන්ගේ කමිටු අවශ්‍ය නැහැ. රට පුරා ප්‍රාදේශීය ලේකම්වරු මගින් එවැනි නිෂ්පාදකයන් හොයා ගෙන සාමූහික වැඩ පිළිවෙළක් සකස් කරන්න පුළුවන්.  පඬි නැට්ටන් කියන්න පුළුවන් මේ ආපසු ගල් යුගයකට යෑමක් කියා. පඬි නැට්ටන් දන්නෙ බටහිරයන් උයපුව වමාරන්න පමණයි. වමාල කියන්නෙ වමාරන්නට ද? (මතු සම්බන්ධයි)