History

Sunday, 26 June 2022

මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම

 

මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම

 

ඉංගිරිසින් ඇති කළ අධ්‍යාපනය අද ලෝකය පුරා ආධිපත්‍යවාදීව  පතුරුවලා. ඉංගිරිසින් විසින් වර්ධනය කෙරුණේ යුරෝපයේ, විශේෂයෙන් ම බටහිර යුරෝපයේ බිහිවුණු අධ්‍යාපනයක්. එහි මුල ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. ග්‍රීකයන් ඇති කළ ඇකඩමි ලයිසියම් වැනි ආයතන බටහිර යුරෝපයේ අධ්‍යාපන ආයතනවල පුරෝගාමින් කියන්න පුළුවන්. පසුව රාජකීය විද්‍යාලය නමින් හැඳින්වුණු ආයතනය මුලින් හඳුන්වනු ලැබුයේ කොළඹ ඇකඩමිය ලෙස. එය මුල සිට ම රජයේ ආයතනයක් ලෙස පැවති බවට මතයක් තියෙනවා. එහෙත් එය ද ඇංග්ලිකන් පල්ලියේ පාසලක් ලෙසයි මුලින් පිහිටුවා ඇත්තේ. රජයේ ආයතනයක් වුවත් එය ක්‍රිස්තියානි සංස්කෘතියෙ.

 

ඉංගිරිසින් යටතේ මෙරට මුලින් ම ඇති වී තිබෙන්නේ මෙතෝදිස්ත සභාවේ පාසල්. ගාල්ලේ රිච්මන්ඩ් විදුහල එසේ ඇති කරන ලද මුල් ම පාසල. එය 1814 දී පටන් ගෙන තියෙන්නෙ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ මුල් ම පාසල ඇත්තේ බද්දේගම. ඒ 1818 දී පිහිටුවන ලද ක්‍රයිස්ට් චර්ච් විදුහල. එලෙස පාසල් දකුණෙන් පටන් ගැනීමට ප්‍රධාන හේතුව මිෂනාරීන් ලංකාවට ගාලු වරායෙන් ගොඩ බැසීම වෙන්න පුළුවන්.

 

මුල් ම පාසල් කුලය මත රඳා පැවතුණූ බව ආනන්ද ජයසිංහ මහතා තම රිච්මන්ඩ් විදුහල පිළිබඳ ඉතිහාස පොතේ කියනවා. එපමණක් නොව රාජකීය විදුහලේ සිසුන්ගේ දෙමවුපියන් සියලු කුලවලට එක ම පාසලක් ඇති කිරීම ගැන තම විරුද්ධත්වය පළ කර තියෙනවා. කුල අනුව පාසල් ඇති කළා නම් අපට කරාව - දුරාව, ගොවි- සලා (ගොවිගම සලාගම) ආදී වශයෙන් මහා ක්‍රිකට් තරග (big matches) බලන්න තිබුණා.

 

පසු කලෙක ඊනියා බෞද්ධ හින්දු මුස්ලිම් පාසල් ඇති වුණා. ඒත් මේ හැම පාසලක ම ලබා දුන්නේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. ඕල්කට්තුමා පැමිණීමට පෙරත් ඊනියා බෞද්ධ පාසල් අරඹා තිබුණා. විශේෂයෙන් ම පාණදුරේ දොඩන්දූව ආදී ප්‍රදේශවල එවැනි පාසල් තිබුණා. මා මුලින් ම අකුරු කළ පාණදුරේ වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාසලත් එවැන්නක්. ඒ පිහිටුවා ඇත්තේ 1880 වසරේ දී. එහෙත් මා දන්නා තරමින් ඕල්කට්තුමා පැමිණීමට පෙර ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන බෞද්ධ පාසල් තිබී නැහැ.

 

අපට මහා විහාරය අභයගිරිය වැනි බෞද්ධ විශ්වවිද්‍යාල යැයි කිවහැකි ආයතන තිබී තියෙනවා. පස්වැනි සියවසෙන් පමණ පසුවත් අභයගිරිය යම් පමණකට තම ස්වාධීනත්වය රැකගෙන තියෙනවා. එහෙත් අභයගිරිය අවරට යෑමෙන් පසු අපත් ජාතියක් ලෙස අවරට ගොස් තියෙනවා. ඉන් පසු අපේ සම්ප්‍රදාය අනුකාරක හා පරිවර්තන එකක් වුණා. ඇතැමුනට අනුව ගුරුළුගෝමීත් මලයාව (මැලේසියාව) පැත්තෙන් පැමිණියෙක්. ගුරුළා ඇතා ආදී සතුන් හා හෙළයන් අතර සම්බන්ධයෙක් තියෙනවා ද? සීගිරියේ ඇත්තේ ගුරුළු පාදයක් ද? පන්සල්වල ඇත්පවුරු මිස සිංහ පවුරු නැත්තේ ඇයි? සිංහ රූප චීනයේත් ඉන්දියාවේත් දකින්න පුළුවන්. එහෙත් ඇත් පවුරු? සංඛ්‍යා පද්ධතියේ ශුන්‍යය දැක්වීම සඳහා සීගිරියේ හල් සංකේතය යොදා ගත්තේ කවුද?  ඉතිහාසයේ අපට ම ආවේණික දේ කවරේ ද?

 

අපට ම ආවේණික දේ අපේ නිර්මාණ වෙන්න ඕන. අපේ හල් සංකේතය මෙරට පුරාවිිද්‍යාඥයන්ට හා ඉතිහාසඥයන්ට පින් සිදු වන්න  ලෝකයට ගොස් ඇත්තේ ඊනියා අරාබි හින්දු ඉලක්කම්වල  බිංදුව ලෙසයි. එයට හේතුව ඇතැම් භාරතීය භාෂාවල හල් බිංදුව ලෙස සංකේතවත් වීමයි. හල් බිිංදුව වෙනවා මිස බිංදුව හල් වෙන්න බැහැ. අපෙන් ලෝකයට ගොස් ඇති දේ ගැන අප දන්නේ මොනවා ද? පොල් අංගම්පොර වැනි දේ කේරළයට ගියේ ලංකාවෙන් ද? අපට කෙසේ හෝ පුරුදු කර තියෙනවා පිටින් ලංකාවට ආ බව මිස ලංකාවෙන් පිටට ගිය බවක් නොසිතන්න.

 

සමහර දේ පැන නගින්නේ බිහිවන්නේ ඇතැම් චින්තනවල පමණයි. ශුන්‍යය හා හල් සංකේතය අතර ඇති සම්බන්ධය මා කිහිප විටක් ම කියා ඇති. එහෙත් කෙටියෙන් එය නැවත කිව යුතුයි. ශුන්‍යයට අගයක් තියෙනවා ඒ වගේ ම නැහැ. හල් සංකේතයටත් එසේ ම ශබ්දයක් තියෙනවා මෙන් ම නැහැ. ඒ සමානත්වය නිසා සිංහලයන්ට ශුන්‍යය දැක්වීම සඳහා හල් සංකේතය යොදා ගැනීමට සිත් පහළ වෙන්න ඇති. සිංහලයන් එදා චතුස්කෝටිකය යොදා ගෙන ඇති බව පැහැදිලියි. අද නම් සිංහලයන්ට නිර්මාණාත්මක සිත් ඇති වන්නේ නැහැ. සිංහලයන් නැත්නම් සමහර විට ගණිතයට බිංදුව නැතුව බිංදුවක් (රෝම ඉලක්කම් මෙන්) වෙන්න තිබුණා.

 

ඇතැම් පඬි නැට්ටන් හිතන්නේ දැනුම එක ගහක් වගේ කියා. ඔවුන්ට විවිධ වූ චින්තන විවිධ දැනුම් පද්ධති ඇති බව ඔවුන්ට පෙනෙන්නේ නැහැ. ඒ අර කතතීරු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් ඔවුන්ට ලැබී ඇති කසිකබල් දැනුම අනුව.  ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් අපට ව්‍යංගයෙන් කියන්නේ ඇත්තේ එක් දැනුම් පද්ධතියක් (ගහක්) පමණක් බවයි. බටහිර යුරෝපය රෝම ඉලක්කම් දිගට ම යොදා ගත්තා නම් අර බිලියන ට්‍රිලියන ලියන්න ගිහින් ආතල්ගම නාගරික ඊනියා නව පරපුරේ ප්‍රබුද්ධ තරුණයන්ට තවත් ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. අප සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගැන නහුත ගැන කතා කරපු තරුණයන් සිටි රටක්.  

 

බටහිර විද්‍යාව මෙන් ම ධනවාදය ද ඇති වුණේ බටහිර යුරෝපයේ. මාක්ස් තම කසිකබල් සමාජ විකාශය නිර්මාණය කෙළෙ බටහිරට මිස ලෝකයට නො වෙයි. ඒත් එය වැඩ කළෙ නැහැ. දෙවැනි ජාත්‍යන්තරයත් සමග මාක්ස්වාදය කඩා වැටුණා. ලෙනින් තුන්වැනි ජාත්‍යන්තරෙයන් රාජ්‍ය ධනවාදය හඳුන්වා දුන්නා. ට්‍රොට්ස්කි නැවතත් හතරවැනි ජාත්‍යන්තරයෙන් පුර්ව දෙවැනි ජාත්‍යන්තර යුගයට යන්න උත්සාහ කළත් ස්ටැලින්ගේ දුතයකු අතින් ඝාතනය වුණා. නරක ද කවුරු හරි පස්වැනි ජාත්‍යන්තරයක් පිහිටුවලා සමාජවාදය ඇති කරන්න කටයුතු කළොත්. ලංකාවෙ බුද්ධිමත් විප්ලවවාදීන් ඕන තරම් ඉන්නෙ.

 

බටහිර විද්‍යාව, මාක්ස්වාදය ඇතුළු ඊනියා සමාජයීය විද්‍යා ක්‍රිස්තියානි ආගම බටහිර ඇති වූ දේ. පඬි නැට්ටන් බොහෝ දෙනකු බටහිර විද්‍යාව හැදෑරූ අය නො වෙයි. ඒ කෙසේ වෙතත් අවුරුදු දෙසීයක පමණ බටහිර විද්‍යා අධ්‍යපනයකින් පසුවත් ලංකාවෙන් විිද්‍යාඥයකු බිහි වී නැහැ. කිසිවකු නව සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්) ගොතා නැහැ.  ඒ අපට කෙතරම් උත්සාහ කළත් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනයට හුරු වෙන්න බැරි නිසා.   පඬි නැට්ටන් කෙසේ වෙතත් මාක්ස්ට තේරුණා ලෝකයට ම එකම සමාජ විකාශයක් නැති බව. ඔහු ඒ නිසයි ආසියාතික නිෂ්පාදන මාතයක් ගැන කතා කෙළෙ. අද ඉංගිරිසින් සමත් වෙලා තියෙනවා තම ජාතික දැනුම් පද්ධතිය ඊනියා ජාත්‍යන්තර දැනුම් පද්ධතිය බවට පත් කරන්න. එබැවින් අපත් හිතනවා ඇත්තේ ඒ දැනුම් පද්ධතිය, දැනුම් ගහ පමණක් බව.