History

Monday 11 July 2022

බටහිර සැලැස්ම හා ජූලි 9

 

බටහිර සැලැස්ම හා ජූලි 9

 

ජූලි 9 කියන්නෙ දේශපාලන සිදුවීමක්. එයට විශාල පිරිසක් සහභාගි වුණා. වැඩියෙන් ම හිටියෙ ඊනියා උගත් ගැමි තරුණයන්. ඔවුන් මාක්ස්වාදී කතා අනුව කම්කරු පංතියේ නො වෙයි. ඔවුන් වැඩිම වුණොත් අඳුන්වන්න පුළුවන් සුළු ධනේශ්වර කියල. දැන් සුළු ධනේශ්වරයන් ජයග්‍රහණය කරල ද? ඒ අයගෙන් ඇහුව ම ඊනියා අරගලයේ පංති පදනම කුමක් ද කියල ඔවුන් දන්න පංතියක් නැති බව පැහැදිලි වෙනවා. කසිකබල් මාක්ස්වාදය අනුව පංතිය තීරණය වන්නෙ නිෂ්පාදනයෙදි එ එ අය සහභාගි වන ආකාරය මත. ඒ බව ඊනියා සුළු ධනේශ්වරය නොදන්නා බව පැහැදිලියි. පංතිය ගැන ඔවුන්ගේ ප්‍රතිචාර කියවන්න.

 

ජූලි 9 ආරම්භ වුණේ ගෝඨාභය ජනාධිපති වී මාස කිහිපයකින්. එ සර් ෆේල් ව්‍යාපෘතියත් සමග. එකල ගෝඨාභය සමත් ද අසමත් ද කියන්න බැහැ. එහෙත් සර් ෆේල් ව්‍යාපෘතිය ඇරඹුනා. එය මෙරට ආරම්භ වූ  එකක් නොවන බව පැහැදිලියි. එය බටහිරයන්ගෙ ව්‍යාපෘතියක්. බටහිරයන්ට අවශ්‍ය වෙලා තිබුණ මුල ඉඳල ම ගෝඨාභය ගෙදර යවන්න. මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂලා පරාජය කරන්න. ඒ ආසන්න වශයෙන් නන්දිකඩාල් පරාජයේ පලිය ගන්න. ඇතට ගියොත් බ්‍රවුන්රිග් කරා යනවා.

 

බටහිරයන් ආසියා අප්‍රිකා රටවල තමන් අකමැති පාලකයන් ගෙදර යැවීමට කටයුතු කරනවා. එය විවිධ ආකාරයෙන් කරනවා. ඔවුන්ට ඒ සඳහා පොදු ක්‍රමයක් නැහැ. අවශ්‍ය වුණොත් ඝාතනය කරනවා. ඒ කටයුතු සාර්ථක වීම ඒ ඒ රටවල වසන්තය ලෙස හඳුන්වනවා. සර් ෆේල් ව්‍යාපෘතියත් සමග ඇරඹුණේ ලංකා වසන්තය. බටහිරයන්ට අවශ්‍ය වුණේ ගෝඨාභය ගෙදර යවන්න. ගෝඨාභය බටහිරයන්ට සාපේක්‍ෂකවත් වසංගතය මැඩ පවත්තන විටත් ඔවුන් කිවුවේ සර් ෆේල් කියා!

 

අප රටේ ඇත්තේ ණය ආර්ථිකයක්. එය යැපුම් ආර්ථිකයක්. නිෂ්පාදන ආර්ථිකයක් නොවෙයි. බණ්ඩාරනායක ආණ්ඩු කාලවල දී යම් නිෂ්පාදන ආර්ථිකයකට තල්ලු වුණත් එය ශක්තිමත් ව ඉදිරියට ගියේ නැහැ. ඉන් පසු පැමිණි එ ජා ප ආණ්ඩු ඒ නිෂ්පාදන කඩා බිඳ දැම්මා. අප මෙරට නිදහස් අධ්‍යාපනයක් හා නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වා ගෙන ගියා. ඒ බටහිර ක්‍රමයට. අප කිසි දිනෙක දේශීය දැනුමට තැනක් දීමට කටයුතු කෙළේ නැහැ. අප බුදුදහම දෙසත් බැලුවේ ඊනියා තාර්කික විද්‍යාත්මක ක්‍රමයකට. ඒ බුදුන් වහන්සේ කාළාම සූත්‍රයෙහි යමක් තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක  වූ පමණින් විශ්වාස නොකළ යුතු යැයි කියා තිබියදී.

 

නිදහස් අධ්‍යාපනය නිසා මධ්‍යම පංතිය ප්‍රසාරණය වුණා. ඔවුන්ගේ ආකල්ප තීරණය වුණේ බටහිරින්. අපට අධ්‍යාපනයෙන් ලැබුණේ බටහිර දැනුම ආකල්ප ආදිය. අපට අවශ්‍ය වුණෙ සිංගප්පුරුව හරි වෙනත් රටක් හරි මෙන් දියුණු වෙන්න. දියුණුව කියන්නෙ බල ශක්ති පරිභෝජනය වැඩි කිරීම. අප එය වැඩි කළා. දකුණු ආසියාවේ ඒක පුද්හල ඛනිජ තෙල් පරිභොාජනය වැඩිම රට ලංකාව. ඒ හරිහමන් නිෂ්පාදනයක් නැතිව තිබිය දී. අප ඊනියා දියුණු රටවල මෙන් ජීවත් වුණේ ඒ රටවල මෙන් නිෂ්පාදනයක් නැතුව. අපට අපේ ජීවන රටාව පවත්වාගෙන යෑමට ණය ගන්න සිද්ධ වුණා. ඒ ණය නිෂ්පාදනයක් සඳහා නම් යෙදෙවුවෙ නැහැ. අපි අපේ ආදායමට වඩා වියදම් කළා.

 

වසංගතය සමග මෙය දිගට ම කළ නොහැකි තත්වයට පත් වුණා. අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රම තුනයි තියෙන්නෙ. එකක් සංචාරක ව්‍යාපාරය. අනෙක විදෙස්ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ. තුන්වැන්න අපනයන. වසංගතය සමග පළමු මාර්ග ඇහිරුණා. අපනයනවලින් අපට සම්පූර්ණ මුදල ලැබෙන්නෙ නැහැ. ඒ ආදායමින් යම් කොටසක් විදේශීය රටවල රැඳෙනවා. අපනයනකරුවන්ට දේශප්‍රේමයට වඩා වෙන ප්‍රේම තියෙනවා. අපනයන සඳහා යම් මූල ද්‍රව්‍ය ආනයනය කරන්න ඕන. මෙහි දී උණ්ඩියල් ක්‍රමයට මුදල් ගණුදෙනු කවදත් සිදු වුණා. එබැවින් අපනයනවලින් අපට ලැබෙන ඩොලර් (විදේශ විනිමය) සීමිතයි. සංචාරක ව්‍යාපාරය ඇණ හිටීමත් ශ්‍රමිකයන් උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීමත් නිසා අපට ඩොලර් නැති වුණා.

 

මේ එකක්වත් ගෝඨාභයගේ වැරදි නො වෙයි. එහෙත් බටහිරයන් තම නියෝජිතයන් ලවා ඒ ගෝඨාභයගේ වැරදි ලෙස පෙන්නුවා. රාජපක්‍ෂලාගේ හොරකම් කියා කිවුවා. සිංහලයන් ඒ විශ්වාස කළා. අපට ණය ගෙවීම ප්‍රශ්නයක් වුණා. ඊනියා විශේෂඥයන් කියා හිටියා ණය ගෙවීම කල්දාගන්න කියා. අප එය කළා. ඒ සමග රට බංකොළොත් කියන කතාව ප්‍රචාරය වුණා. අපට කිසිවකු ණය නොදෙන තත්වයට පත් වුණා. ඒත් බටහිරයන් මොන දේ කළත් එය දේශපාලන ප්‍රශ්නයක් වුණේ නැහැ.

 

ඔය අතර සුපුරුදු පරිදි බැසිල් දේශපාලනය එනම් උද්ධච්ඡ කොමිස් දේශඳාලනය ක්‍රියාත්මක වුණා. නාමල්ලා හිතන් හිටියේ තමන් රජ පැටවු කියා. බැසිල් හා මහින්ද දරුවන් ආණ්ඩුවේ අය අතර ම ආණ්ඩුව අප්‍රසාදයට ලක් කළා. විමල් වාසු ගම්මන්පිළට අවශ්‍ය වී තිබුණා බැසිල් ගෙදර යවන්න. ඔවුන් මාර්තුවේ සුවාදීනයන් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් කෙළේ ඒ තිදෙනා.  

 

බටහිරයන්ට අවශ්‍ය වී තිබුණේ බැසිල් යවන්න නො වෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ගෝඨාභය හා මහින්ද යවන්න. බැසිල් හරහා මතු වූ දේශපාලන අර්බුදය ගෝඨා ගෝ හෝම් යනුවෙන් වෙනස් කෙරුණා. සර් ෆේල් වගේ ම ගෝඨා ගෝ හෝම් ව්‍යාපෘතියත සිංහලෙන් සූත්‍රගත වූ ව්‍යාපෘති නො වෙයි. අප්‍රේල් මාසයේ ගෝඨා ගෙදර යැවීමට ආතල්ගම ඇති කෙරුණා. ඒ අතර රනිල් පාර්ලිමේන්තුවට ආවා. ඒ මැතිවරණයෙන් තරමක කාලයකට පසු. ඔහු පැමිණියේ බොහෝ දේ හිතා බැලීමෙන් පසුව බව පැහැදිලියි.

 

තෙල් පෝලිම් ගැස් පිපිරීම් ගැස් පෝලිම් ඇති වුණා. මිනිසුන් ආණ්ඩුවත් එක්ක කළකිරුණා. සියලු ප්‍රශ්නවලට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම බවට මතයක් සාර්ථක ව ඇති කළා. ගෝඨාභය නොකළ වරදකට ඔහු ගෙදර යැවීමට බොහෝ තරුණයන්ට අවශ්‍ය වුණා. මේ තරුණයන් හිතන්න පුළුවන් අය නො වෙයි. හීනමානයෙන් පිරී ඉතිරී ගිය වෛරය හා ඊර්ෂ්‍යාව පදනම් කරගත් බටහිර ආකල්ප රැගත් පිිරිසක්. ඔවුන් ජූලි 9 ජනාධිපති මන්දිරයේ කළ කී දේ අනුවත් ඒ සියල්ල ප්‍රදර්ශනය වුණා.

 

ආතල්ගමේ සෙනග අඩු වුණා. ඒත් මැයි 9 හරහා ඇති කරගත් හඳන්නෙත්ති නියමය බටහිරයන්ගේ පලිගැනීමේ චේතනාව සමග බද්ධ කිරීම එතරම් ප්‍රශ්නයක් වුණෙ නැහැ. මහින්ද ගෙදර යැවීමට අවශ්‍ය පිරිසකුත හිටියා. ඒ නාමල්ලාගේ ක්‍රියා කලාපයට විරුද්ධ ව. ඔවුන්ට වඩාත් ම අවශ්‍ය වුණෙ ගෝඨාභය පවුලෙන් ඈත්කර ඔහු මෙහෙයවීම තමන් අතට ගැනීමට. මැයි 9 මහින්ද ගෙදර යැවුවා. එහෙත් ප්‍රශ්න විසඳුනේ නැහැ. රනිල් අගමැති කෙරුණා. ඔහු පාර්ලිමේනඔත ආවේ නිකම් ම නොවන බව පැහැදිලියි. ඔහු විසඳපු ප්‍රශ්නයකුත් නැහැ.

 

ජූනි 9 බැසිල් යැවුවා. ජූලි 9 සඳහා තරුණයන් කොළඹ ගෙන්වා ගැනීමට දුම්රිය දිවුවා. බස් දිවුවා. තෙල් තිබුණා. කවුද දානපතිනියක් නුවර සිට කොළඹ එන්න එක් දුම්රියක සියල්ලන්ට ම ප්‍රවේශ පත්‍ර අරන් දුන්නා කියනවා. එමෙන් ම බටහිර තානාපති කාර්යාල දුම්රිය දුවවන්න බලපෑම් කළ බව කියනවා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. ඒත් රුසියන් චීන තානාපති කාර්යාල එලෙස මැදිහත් වූ බවක් අහන්න නැහැ. ඒ සමාජවාදී කියන රටවලට වඩා බටහිර රටවල් විප්ලවයට කැමති වගේ.

 

මේ සියල්ල එක් පිටපතකට අනුව සිදු වූ බව මා කියන්නේ නැහැ. ඒත් බටහිර තානාපති කාර්යාල තමයි ඔය තරුණයන්ට හොඳින් සලකන්න කියන්නෙ. ඔවුන්ගෙ භාෂණ නිදහස උද්ඝෝෂණ කිරීමේ අයිතිය රකින්න කියන්නෙ. අද වන විට ගෝඨාභය අස්වන බව කියා තියෙනවා. රනිල් කියා ඇත්තේ තමා අස්වීමට සූදානම් බව පමණයි. මා හිතන්නෙ නැහැ පිටපතේ තිබුණාය කියා රනිල්ගෙ ගේ ගිනිතැබීම. එය එක් ජඩමාධ්‍යයක් විසින් ඇති කරන ලද්දක්. එ කුමක් වුවත් රනිල් දාල යන අයකු නො වෙයි.

 

බටහිරයන් එක් එක් තරුණයා ළඟට ගොස් කියන්නෙ නැහැ අහවල් දවසෙ කොළඹ එන්න කියා. ඒත් ඔවුන්ගෙ අභිප්‍රාය හා සැලසුම් පැහැදිලියි. ඩලස් ගෙන ඒම පිටුපස ඉන්නෙත් ඔවුන් හා මාධ්‍ය අයිතිකරුවෙක්. ව්‍යාපාරිකයෙක්. ඩලස්ලා රනිල්ලා එක් තැනක දී එකතු වෙනවා. ඒ සිංහල බෞද්ධ විරෝධී වීමෙන්. මානවම්මගේ කතාව දැන හිටි පමණින් රනිල් සිංහල බෞද්ධ සංස්කෘතියට අයිති වෙන්නෙ නැහැ. බ්‍රවුන්රිග් දවස සිට ඇංග්ලො ක්‍රිස්තියානින්ට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීමට. අද ඔවුන්ට පුළුවන්කම ලැබිල තියෙනවා ඒ සඳහා සිංහල බෞද්ධ පවුල්වල තරුණයන් ම යොදා ගැනීමට. ඒ අධ්‍යාපනය හා ජඩමාධ්‍ය හරහා. (මතු සම්බන්ධයි)               ‘