History

Sunday 17 July 2022

ගෝඨාභය රට පටවා සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරන්න බැහැ

 

ගෝඨාභය රට පටවා සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරන්න බැහැ

 

ලබන විසිවැනි දා බොහෝ විට පාර්ලිමේන්තුව අලුත් ජනාධිපතිවරයකු තෝරා ගනීවි. බොහෝ විට යැයි කීවේ ඊට කලින් දහනවවැනි දා ජනාධිපති පත්කර ගැනීමට ද ඉඩක් තියෙන බැවින්. ඒ එදින එක නමක් පමණක් ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බැවින්. කවදා පත් කරගත්තත් අප එක්තරා ආකාරයකින් පාර්ලිමේන්තු දේශපාලනයේ පූර්ව පනස්හයට තාවකාලික ව ගොස් තියෙනවා. ඒ සිංහල බෞද්ධ ජාතිකත්වයට ජනාධිපති ධුරයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන්. දැන් මේ ලිපි නොකියවන පඬි නැට්ටන්ගේ ප්‍රිති ප්‍රමෝදය පිණිස ලිපි කියවන පඬි නැට්ටකුට පෙර සඳහන් වාක්‍ය පමණක් උපුටා දැක්වීමෙන් බොහෝ දේ කියන්න පුළුවන්.

 

යම් පමණකට හරි ගණිතය හදාරා ඇති අයකු (සාමාන්‍ය පෙළ හරියට) දන්නා කරුණක් තමයි එක් ලක්‍ෂ්‍යයක් ඔස්සේ සරල රේඛා අනන්තයක් වක්‍ර අනන්තයක් ඇඳිය හැකි බව. එහෙත් ලක්‍ෂ්‍ය දෙකක් ඇත්නම් ඒ ඔස්සේ ඇඳිය හැක්කේ එක් සරල රේඛාවක් පමණයි. එහෙත් ලක්‍ෂ්‍ය දෙකක් ඔස්සේ වෘත්ත රාශියක් අඳින්න පුළුවන්. එසේ නමුත් ලක්‍ෂ්‍ය තුනක් ඔස්සේ ඇඳිය හැක්කේ එක් වෘත්තයක් පමණයි. ලක්‍ෂ්‍ය තුනක් ඔස්සේ විවිධ වක්‍ර රාශියක් අඳින්න පුළුවන්. ලක්‍ෂ්‍ය සංඛ්‍යාව වැඩි වන විට ඇඳිය හැකි වක්‍ර සංඛ්‍යාව අඩු වෙනවා. ලක්‍ෂ්‍ය රාශියක් ඇති විට වක්‍රය බොහෝ දුරට අනන්‍ය වෙනවා.

 

මේ ලිපිය දැනටමත් බොහෝ දෙනාට එපා වී ඇති. ගණිතය බොහෝ දෙනාට අප්‍රිය විෂයයක්. එහෙත් මා කියන්න අදහස් කරන්නේ ලිපියක් ලිපි මාලාවක් හරිහැටි නොකියවා එක් වාක්‍යයක් පමණක් උපුටා දක්වමින් තම ගෝල බාලයන්ට  තමන්ට අවශ්‍ය අදහසක් දීම තක්කඩිකමක් බවයි. අනෙක් අතට ඉතිහාසයේ සිද්ධි එකක් දෙකක් පමණක් අරගෙන එක් අර්ථකථනයක් දීම වැරදි ක්‍රමයක් බවයි. මාක්ස්ට වුණේ මේ වැරදි ක්‍රමය අනුගමනය කිරීම නිසා තම පට්ටපල් බොරුව පට්ටම පට්ටපල බොරුවක් බවට පත් කිරීමට සිදු වීමයි.

 

ජනාධිපති ධුරයට සිංහල බෞද්ධ ජාතිකත්වයට ඉදිරිපත් කළ හැකි අය නැතුවා නො වෙයි. එහෙත් ඒ අය පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කෙරෙන්නේ නැහැ. මෙහි දී ධුරය මෙන් ම තෝරා පත්කරන ක්‍රමය ද වැදගත් වෙනවා. ජනාධිපති මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නේ නම් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂකයන් ඉන්නවා. එහෙත් මෙවර ජනාධිපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ සඳහා ඔය ප්‍රධාන පක්‍ෂ එකක්වත් සිංහල ජාතිකත්වය නියෝජනය කරන අයකු අද ඉදිරිපත් කරන්නේ නැහැ. ප්‍රධාන පක්‍ෂයකින් ඉදිරිපත් නොකෙරී දිනන්නත් බැහැ.

 

සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කිරීම මෑතක දී ඇරඹුණේ පෘතුගීසීන්ගෙන්. ඉන් පසුව ලන්දේසින් එය කළා. එහෙත් ඉංගිරිසින් මෙන් සැලසුම් සහගත ව එය කිරීමට අනෙක් අයට බැරි වුණා. ඉංගිරිසින් එය කෙළේ අධ්‍යාපනය මගින්. හාමුදුරුවරුන් සිටින තාක් සිංහල බෞද්ධ ජාතිකත්වය පරාජය කරන්න නොහැකි බව දුරදර්ශී ඉංගිරිසින් දැන සිටියා. ඔවුන් එහිදී ද නායක පදවි ආදිය ඇති කිරීම මගින් ශාසනය දුර්වල කිරීමට උත්සාහ ගත්තා. බුදුහාමුදුුරවෙන්ට කිසිවකු කිසිම විහාරයක විහාරාධිපතිකමක් නායක පදවියක් දී නැහැ.

 

අදත් ක්‍රියාත්මක වන්නේ ඉංගිරිසි උපක්‍රම. ඉංගිරිසින්ට එදත් අදත් සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කිරීමට අවශ්‍යයි. ඒ බ්‍රවුන්රිග්ගේ කාලයේ සිට. එහෙත් විවිධ කාලවල සිංහල බෞද්ධයන් ඉංගිරිසි උපාය හමුවේ ජයග්‍රහණය කළා. ධර්මපාලතුමා හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් එහි දී සිහිපත් වෙනවා. ඉංගිරිසින් සිංහල බෞද්ධ ජාතිකත්වය දුර්වල කිරීමට සිංහල බෞද්ධයන් ම යොදා ගත් අවස්ථා රාශියක් තිබුණා. ධර්මපාලතුමාට විරුද්ධ ව විජේවර්ධනලා හා සේනානායකලා යොදා ගත්තා.

 

ඒ අතීතයෙන් මැතට වන විට අපට පනස්හය හමුවෙනවා. සිංහල බෞද්ධ ජාතිකත්වයට දේශපාලන පක්‍ෂයක් ලැබුණෙ 1952 දි. ඉතා සුළු කාලයකින් ඒ පක්‍ෂය තවත් පක්‍ෂ සමග එකතු වී  බලයට පැමිණියා. ඒ ජෝන් කොතලාවලලා ජේ ආර්ලා නොසිතූ ආකාරයකට.  ආණ්ඩු බලය ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන හා එ ජා ප ප්‍රමුඛ සංධාන අතර දෝලනය වුණා. ඉංගිරිසින් විසිවැනි සියවසේ මුල සිට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ව දෙමළ ජාතිවාදය පෝෂණය කළා. එය ත්‍රස්තවාදයක් දක්වා ඉංගිරිසින්ගේ හා ඉන්දියානුවන්ගේ අනුග්‍රහයෙන් වර්ධනය වුණා. රාජපක්‍ෂලා නන්දිකඩාල් කලපුවේ ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා. ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව එහි පළිය ගැනීමට සැලසුම් කළා.

 

ඔවුන්ට මේ ආර්ථික අර්බුදය හොඳ පසුබිමක් වුණා. ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම යන පට්ටපල් බොරුව ඔවුන්ගේ නියෝජිතයන් සමාජයට ගෙන ගියා. සිංහල මෝඩයා එය විශ්වාස කළා.  විමල් උදය හා වාසු බැසිල්ට විරුද්ධ ව කළ සටන ආණ්ඩු විරෝධී සටනක් බවට පත් කර ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් කළා. බටහිරයන්ට එය අත්වැළක් වුණා. ආර්ථික අර්බුදය විසඳීමට ගෝඨාභය ගෙදර යැවිය යුතු ය යන මතය ඊනියා අරගලය හෙවත් පරගලය මගින්   සමාජගත කෙරුණා. විමල්ලාගේ ව්‍යාපාරයට අවශ්‍ය වී තිබුණේ බැසිල් හා මහින්ද ගෙදර යැවීමට. ඒ සියල්ල එකට ගැට ගැහුණා.

 

පරගලය ඉන්දියාවේ හා බටහිරයන්ගේ මෙහෙයවීමෙන් ඇති කෙරුණු එකක් බව දැන් පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කර දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි දී දහතුනට එහා යන විසඳුමක් ක්‍රියාත්මක කිරීම. මහින්ද හා ගෝඨාභය එයට ඉඩ දුන්නේ නැහැ. අරගලය ඊනියා නිර්පාක්‍ෂික බවක් පෙන්නුවා. එයට නායකත්වයක් තිබුණා. ඒ පිටරට. ඔවුන්ට සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරිකයන් විවිධාකාරයෙන් උපකාර කළා. ගාලු මුවදොර වටලප්පන් බිරියානි දන්සල් බිහිවුණා.

 

ජෙප්පන් හා සෙප්පන් තමන් පරගලයේ දේශපාලන නායකයන් බව ප්‍රකාශ කළා. මෙහි දී සෙපපන්ට විවිධ ආධාර ලැබුණා. සෙප්පන් සිංහල බෞද්ධ විරෝධීන්. ජෙප්පන්ගේ සමහරුනට පරණ ජාතිකත්ව ආභාසයක් තිබුණත් සෙප්පන්ට ඒ කිසිවක් නැහැ. සෙප්පන් ජෙප්පන්ගෙන් කැඩීමේ දී ජාතිකත්ව පෙකණිවැල මුළුමනින් ම කඩා දැම්මා. ගෝඨාභය යවා රනිල් ගෙන ඒමට සෙප්පන් ක්‍රියා කළා. ගෝඨාභය ගිය ගමන් සෙප්පන්ගේ පරගලය නැවතුණා. එහෙත් නායකයන්ට සාමාජිකත්වයෙන් එන ඉල්ලීම නැති කරන්න බැහැ. සාමාජිකත්වයට රනිලුත් එලවන්න ඕන. ඒ සඳහා මාධ්‍ය සාකච්ඡාවලට අමතර ව වැඩ පිළිවෙළක් රනිල්ලාට අවශ්‍ය වෙනවා. බටහිරයන්ට තමන්ට උපකාර කළ පිරිසකට විරුද්ධව යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදු වේවි.

 

අද සිංහල බෞද්ධ ජාතිකත්වයට ප්‍රධාන පක්‍ෂයක් මගින් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයගන්න පුළුවන් අයකු නැහැ. මෙයින් කියන්නේ සිංහල බෞද්ධ ජාතිකත්ව දේශපාලනය අවසන් කියන එක නො වෙයි. ධර්මපාලතුමා පන්නා හැර ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ අයට (කළු සුද්දන්ට) සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරන්න බැරි වුණා. බණ්ඩාරනායක මහතා ඝාතනය කර එය කරන්න බැරි වුණා. බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කර එය කරන්න බැරි වුණා. ගෝඨාභය සිංගප්පුරුවට පිටත් කර එය කරන්න බැහැ.