History

Saturday, 2 July 2022

ගෝමින් දයාසිරි

 

ගෝමින් දයාසිරි

 

මේ සටහන අද අවසන් ගමන් යන ගෝමින් දයාසිරි වෙනුවෙන්. ගෝමින්ගේ පියා සිංහල බෞද්ධ ජාතිකවාදියකු වූ එන් ක්‍යු ඩයස් හෙවත් නීල් ක්වින්ටස් ඩයස්. පාණදුරේ උපත ලත් එන් ක්‍යු අධ්‍යාපනය ලබා ඇත්තේ ත්‍රිත්ව විද්‍යාලයෙහි. එකල තිබූ ලංකා සිවිල් සේවයට (CCS) බැඳුණු ඔහු ආනන්දයේ මෙත්තානන්ද මහතා සමග සමීප ව වැඩ කළා. සිවිල් සේවකයකු වූ එන් ක්‍යු ඩයස් ජාතික ඇඳුමින් සැරසී සිටියා. අබෞද්ධයන්ගේ පාරාදිසයක් වූ ලංකා යුද්ධ හමුදාවට සිංහල බෞද්ධයන් බඳවා ගැනීමට කටයුතු කරන ලද්දේ එන් ක්‍යු හා මෙත්තානන්ද විසින්. එන් ක්‍යු ඩයස් ආරක්‍ෂක ලේකම් ව සිටිය දි ආනන්ද නාලන්ද ආදී පාසල්වලින් හමුදාවට බඳවා ගත්තා. මා හිතන්නේ එසේ නොවන්නට හමුදාව අබෞද්ධ නායකත්වයක් යටතේ දිගින් දිගට ම තිබිණි නම් අපට නන්දිකඩාල් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට නොහැකි වීමට තිබුණු බවයි. බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට විරුද්ධ ව 1962 හමුදා පොලිස් කුමන්ත්‍රණය මෙහෙයවූයේ අබෞද්ධයන් බව අමතක නොකළ යුතුයි.

 

ගෝමින් දයාසිරි සම්ප්‍රදායනුකූල ව නම් ගෝමින් ඩයස් විය යුතුව තිබුණා. එහෙත් සිංහල බෞද්ධ ජාතිකවාදියකු වූ ඔහුගේ පියා ඩයස් නම අත්හැර දයාසිරි නම පුතාට යොදා ගෙන තියෙනවා.  එමෙන් ම ත්‍රිත්ව විද්‍යාලයේ උගත් ඔහු තම පුතා ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් නොකර ආනන්ද විදුහලට ඇතුළත් කර තිබෙනවා. එය ගෝමින්ගේ මවට හිත් වේදනා දුන්නා කියනවා. ඇය ශාන්ත තෝමස් විදුහලට සම්බන්ධ ඥාතීන් සිටි අයෙක්. එකල ආනන්ද විදුහල සැලකුණේ ට්‍රෑම් රථයෙන් පාසල් ගිය සිසුන් සිටි දෙවැනි පංතියේ පාසලක් ලෙස. ගෝමින්ගේ මවත් ඇගේ ඥාතීනුත් ගෝමින් ආනන්දයට ඇතුළත් කිරීම මෝඩ වැඩක් ලෙස සලකා තියෙනවා. ගෝමින් ඒ බව පුවත්පතකට ලියූ ලිපියක සඳහන කර තියෙනවා. ත්‍රිත්ව විදුහලට ගිය ගෝමින්ගේ පියා ගෝමින් ආනන්දයට ඇතුළත් කළත් ආනන්දයේ ඉගෙන ගත් ඇතැමුන් තම පුතුන් රාජකීය විදුහලට ඇතුළත් කළ බව අමතක නොකළ යුතුයි.

 

මා ගෝමින් හඳුනා ගත්තේ ජාතික ව්‍යාපාරයෙහි යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස. ඔහු වෘත්තියෙන් නීතිවේදියෙක් වුණා. නීතිඥයන් බොහෝ විට ඒ ඒ උසාවිවිල කටයුතු කරනවා. ඇතැම් නීතිඥයන් කටයුතු කරන්නේ ඉහළ උසාවිවල පමණයි. එහෙත් ගෝමින් කම්කරු උසාවියේ සිට ශ්‍රෙෂ්ඨාධිකරණය දක්වා වූ සෑම උසාවියක ම කටයුතු කර තියෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයට විරුද්ධ ව කම්කරු උසාවියේ නඩු කී දිනවල මට ගෝමින් එහි හමු වී තියෙනවා. ඔහු සුපුරුදු සිනහවෙන් ඇහුවේ කොහොමද නඩුව කියා. කම්කරු උසාවියේ මා වෙනුවෙන් පෙනී සිටියේ තවත් සිංහල ජාතිකවාදියකු වූ එස් එල් ගුණසේකර. ඔහුගේ සහායට සිංහල ජාතිකවාදීන් වූ තිස්ස යාපා හා කණිෂ්ක විතාරණ සිටියා. ඔවුන් සියල්ලන් ම පෙනී සිටියේ නොමිළයේ. එස් එල් ද ගෝමින් මෙන් ම සෑම උසාවියක ම පෙනී සිටියා.

 

ගෝමින් උසාවිවල සිංහල ජාතිකත්වය වෙනුවෙන් නඩු රාශියක ම පෙනී සිටියා. ඔහු පෙනී සිටි වැදගත් ම නඩුව වූයේ උතුරු හා නැගෙනහිර පළාත් වෙන් කිරීම සඳහා වූ නඩුවයි. ඒ පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි ලෙස සලකමින් ඉන්දියාවේ අවශ්‍යතාවට එක් කර තිබුණා. මේ නිජභූමි කතාව පට්ටපල් බොරුවක්. ලංකාව පළාත් නවයකට අවසාන වශයෙන් බෙදා වෙන් කෙරුණේ 1889 දී. එනම් ආනන්ද විදුහල ද ඇති කර අවුරුදු තුනකට පසුව. මට මතක හැටියට මා ආනන්ද විදුහලේ පැවැත්වූ කතාවක ඒ බව සඳහන් කළා. එසේ ඇති කරන ලද උතුරු හා නැගෙනහිර පළාත්වල පදංචි කෙරුණේ දෙමළ කතා කළත් වෙන ම ජන කොටස්. උතුරු පළාතේ හරියට ම කියනවා නම් අලිමංකඩින් එහා දෙමළ කතා කරන වෙල්ලාලයන් ප්‍රධාන වශයෙන් ම පදිංචි කරනු ලැබුයේ ලන්දේසීන් විසින්. පහුගිය කාලයේ නෙදර්ලන්ත ව්‍යාපෘතියක් මගින් මේ සම්බන්ධ තොරතුරු වෙනස් කිරීමට උත්සාහයක් ගත්තා. වාසනාවකට එයට මුල් වූ තැනැත්තිය අද රාජ්‍ය ලේඛනාගාරයෙන් මාරු කරලා.

 

අලිමංකඩ හරහා තමයි සිංහලයන් අලි ඇතුන් පිටරට යවන්න කටයුතු කර තියෙන්නෙ. 1956 තරම් මෑත කාලයකත් දෙමළ කතා කරන ජනයා අලිමංකඩෙන් දකණට පැමිණීමට කැමති වූයේ නැහැ. ඉරණමඩු ව්‍යාපෘතියේ ඉඩම් බෙදා දීමට ඉල්ලුම් පත් කැඳවූ අවස්ථාවේ දෙමළ කතා කරන ජනයා ඉල්ලුම් කෙළේ නැහැ. තම ඊනියා නිජභූමියට ඒමට ඔවුන් අකමැති වෙලා!  නිජභූමි කතාව පසුව ඇති කර ගත් කෙප්පයක්. ඔවුන් කොළඹ පැමිණීම වෙන ම කතාවක්. ඒ ඉංගිරිසින් යටතේ රැකියා කිරීමට. අනෙක් අතට වත්මන් නැගෙනහිර පළාතේ දෙමළ කතාකරන ජන කොටසක් පදිංචි කරනු ලැබුයේ ඉංගිරිසින් විසින්. දෙමළ කතා කළත් ඔවුන් වෙනස් ජන කොටස්. යාපනයේ වෙල්ලාලයන් නැගෙනහිර දෙමළ කතා කරන ජනයා කුලහීනයන් ලෙසයි සලකන්නේ. එසේ තිබිය දී ඒ පළාත් දෙක එකතු කර දෙමළ ජනවර්ගයක ඊනියා නිජභූමියක් ලෙස සැලකීම යාපන විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ පළමු මහාචාර්යවරයා කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ මතයටත් විරුද්ධයි.

 

උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීමට විරුද්ධ ව පවරා තිබූ නඩුවේ නීතිිඥයන් වූයේ එච් එල් ද සිල්වා, එස් එල් ගුණසේකර හා ගෝමින් දයාසිරියි. අධිකරණ තීන්දුව පළාත් දෙක  වෙන් කිරීමට පක්‍ෂව දුන්නේ. එය ඓතිහාසික නඩු තීන්දුවක්. ගෝමින් හැරුණු විට අනෙක් නීතිඥයන් දෙදෙනා බෞද්ධයන් නොවු බවත් මෙහි සඳහන් කළ යුතුයි. අද ඒ තිදෙනා ම ජීවතුන් අතර නැහැ. එහෙත් ඒ තිදෙනා නොවන්නට රටේ ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා.

 

කෙසේ වෙතත් උතුරු පළාත හා නැගෙනහිර පළාත අද වෙන් වී ඇත්තේ නඩු තීන්දුවකින්. එච් එල්, එස් එල් හා ගෝමින්ට අපට කළ හැකි හොඳම උපහාරය ඒ නඩු තීන්දුව පනතක් මගින් තහවුරු කිරීමයි.

 

ගෝමින්ගේ පවුලේ අයට මගේ සංවේගය  පළ කරන අතර ගෝමින්ගෙ සසර ගමන කෙටි වේවා කියා ප්‍රාර්ථනය කරනවා.