History

Thursday, 25 August 2022

සසෙක්ස් හා මහාචාර්ය මැක්‍රේ

 

සසෙක්ස් හා මහාචාර්ය මැක්‍රේ

 

මා එංගලන්තයට යෑම හා ඒම ලිපිය බොහෝ දෙනෙකු අතරට ගිහින්. මා එය බලාපොරොත්තු වූවක් නො වෙයි. මා ඒ ලිපිය ලිවුවේ මගේ මතකය අලුත් කර ගැනීමටත් මා ඇතුළු සිංහලයන්ට පොරවල් වීමට නොහැකි ඇයි දැයි කීමටත්. සමහර පඬි නැට්ටන් සුපුරුදු පරිදි එය වරදවා වටහාගෙන. එක් පඬි නැට්ටකු කියා තිබුණා එය ආත්ම වර්ණනාවක් බව. මා නාසිසිවාදියකු බව. තවත් පඬි නැට්ටකුට අනුව අපේ රට මා ගැන ලජ්ජා වෙනවා. ඒ මක්කටැයි කියා ඔහු කියා තිබුණේ නැහැ.

 

තවත් සමහරු ඉල්ලා තිබුණා මගේ ජීවිත කතාව ලියන ලෙස. ඒකත් හොඳ අදහසක්. එය ලියනවා නම් ලංකාවට අපේ මී මුත්තා ආ දින පටන් ලියන්න ඕන. අප අපේ පරම්පරාව, සසර අත්දැකීම්, අප හැදෙන වැඩෙන සංස්කෘතිය හා තවත් දේ විසින් නිර්මිත වෙනවා, නැහැ නිර්වචනය වෙන්නේ නැහැ. මගේ ඉතිහාසය මට මා තේරුම් ගැනීමට ඉවහල් වේවි. ආත්ම වර්ණනාවක් වුවත් නැතත් එහි දී මට රාජස්ථානයෙන් පැමිණි ක්‍ෂත්‍රිය වාංශික ඨකුරක මීමුත්තා ගැනත් ඔහුගේ දියණියක යැයි කියන  එසේ නම් අපේ මීමිත්තණියක  වූ සුප්‍රසිද්ධ පද්මාවතී ගැනත් තවත් නොයෙකුත් දේත් කියන්න වේවි. බොහෝ දෙනාට එය අප්‍රිය වේවි. මා නාසිසිවාදයේ පියා නොව මීමුත්තා යැයි කීමටත් ඉඩ තියෙනවා.

 

මා දැනට 1969න් පටන් ගන්නම්. 1969 ජනවාරියේ තමයි මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ. මා එහි දී ලැබූ අත්දැකීම් ඉගෙන ගත් දේ බොහෝමයි. දක්‍ෂයකු පොරක් යැයි සිතා සිටි මා පොරක් නොවන බව වටහා දුන්නේ සසෙක්ස් විශ්වවිද්‍යාලයයි. ලංකාවේ පොරවල් කියන්නේ ඉතාමත් සාමාන්‍ය මිනිසුන්ට. සිංහලයන් වෙනත් බොහෝ ජාතීන්ට වඩා සජාතීය ජාතියක්. බත් කඩ හන්දියක් හන්දියක් ගානේ පමණක් නොව තරු පහේ හෝටල්වලත් දකින්න පුළුවන්. එකිනෙකාගේ ආදායම අනුව වියදම් ශෛලිය වෙනස් වුවත් අප සාමාන්‍යයෙන් කන්නෙ බොන්නෙ එක වගේ කෑම බීම.

 

ඒ හැමටමත් වඩා අප අපේ හැකියාවන් අතින් එතරම් වෙනස් වෙන්නෙ නැහැ. ලංකාවේ හොඳ යැයි කියන අයට වඩා ඉන්දියාවේ හොඳ යැයි කියන අය හුඟක් හොඳයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ හොඳ අයට කිට්ටු කරන්නවත් අපේ හොඳ අයට බැහැ. අපේ නරක යැයි අදක්‍ෂයැයි කියන අය ගැනත් කියන්න තියෙන්නේ එවැන්නක්. බටහිර සංඛ්‍යානයේ සඳහන් වෙන බෙල් වක්‍රයේ අප සියල්ලන් ම වගේ ඉංගිරිසින්ට සාපේක්‍ෂ ව ඉන්නේ අර මැද කොටසේ. අර අන්ත දෙක හිස් වගේ. අපේ ම බෙල් වක්‍රයේ නම් ඔවුන් අන්තවල ඉන්නවා.

 

මට මතක් වෙනවා මා එංගලන්තයේ සිටිය දී ඔවුන් මෙට්‍රික් මිනුම්වලට ගිය ආකාරය. ඔවුන් ඒ සැලසුම් කළා. ඒ එක් පැත්තකින් ඔවුන් සැලසුම් ගැන අප මෙන් නොව හොඳින් හිතා බලන නිසා. අනෙක් පැත්තෙන් අර ජනගනයේ බෙල් වක්‍රයේ වම් කෙළවරේ ඉන්න පිරිසට එය තේරුම් කර දිය යුතු නිසා.  මා එංගලන්තයේ සිටි අවුරුදු එකහමාරක පමණ කාලයෙහි ම ඒ සැලසුම ගැන කියා දුන්නා. එහෙත් එය අවසන් වුණේ නැහැ.  මෙට්‍රික් ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කෙළේ කෙසේ ද? අපට සාමාන්‍යයෙන් මනා සැලසුම් නැහැ. අනෙක් අතට  අර බෙල් වක්‍රයේ වම් පැත්තේ කොණේ පිරිසක් නැහැ. ගිය සතියේ පොළට ගොස් වට්ටක්කා රාත්තලක් ගත් තැනැත්තාට මේ සතියේ පොළට ගොස් වට්ටක්කා ග්‍රෑම් පන්සීයක් ඉල්ලන්න පුළුවන් වුණා. 

 

මා කිවුවා මගේ ගුරුතුමා මහාචාර්ය මැක්‍රේ ගැන. මා ඔහුගේ අවසාන ශිෂ්‍යයා. ඔහු මා ලංකාවට පැමිණ නොබෝ කලකින් විශ්‍රාම ගත්තා. ඔහු මට සැලකුවේ දරුවකුට මෙන්. ඔහුගේ භාර්යාව හා ඔහු පදංචි වී සිටියේ විශ්වවිිද්‍යාලයට නුදුරු  ලුවිස් නම් නගරයේ. මා ඒ නිවසට කිහිප වරක් ම ගොස් තියෙනවා. මැක්‍රේ මැතිණිය මට ලුවිස් නගරය පෙන්වා එහි ඉතිහාසය ගෘහ නිර්මාණ කාලයත් සමග වෙනස් වී ඇති ආකාරය කියා දී තියෙනවා.

 

මහාචාර්ය මැක්‍රේ නිල වශයෙන් විශ්‍රාම ගියාට පසුවත් විශ්වවිද්‍යාලයට යෑම නතර කෙළේ නැහැ. මැතිණිය තමයි එතුමා විශ්වවිද්‍යාලයට ඇරලුවේ. මා දෙවැනි වර සප්තවාර්ෂික නිවාඩුවක් සඳහා ජ වි පෙ හා ආණ්ඩු භීෂණයෙන්  ගැලවීමට සසෙක්ස් ගොස් සිටියදිත් එතුමා විශ්වවිද්‍යාලයට පැමිණ පරයේෂණ කටයුතුවල යෙදුණා. මැතිණිය මහාචාර්ය මැක්‍රේට කලින් දිවංගත වුණා. ඉන්පසු මහාචාර්යතුමා ජීවත් වුණේ තනියම. ඔවුන්ට දියණියන් දෙදෙනකු සිටි නමුත් විවාහ වී බ්‍රයිටන් ප්‍රදේශයෙන් ඉවත් වෙලා ගිහින්. 

 

මහාචාර්ය මැක්‍රේ ගැන සඳහන් කළ යුතු දේ බොහොමයි. මා ඔහුගෙන් බොහෝ දේ ඉගෙන තිබෙනවා. ඔහු මට කී එක් කරුණක් සඳහන් කරන්න ම ඕන. ඔහු කියා සිටියා විද්‍යාවේ ඒ ඒ කාලවල විලාසිතා ඇති වන බවත් ඉන් නොමග නොයා යුතු බවත්. ඔහු එසේ මෙසේ පුද්ගලයකු නො වෙයි. ඔහු නොබෙල් මට්ටමේ නැති වුවත් ඉතා ඉහළ මට්ටමක හිටියා. කලක් ඔහු රාජකීය තාරකා විද්‍යා සංගමයේ (Royal Astronomical Society) සභාපති වෙලා හිටියා. ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකයකු (Fellow of Royal Society, London) වූ ඔහු එහි විදේශ ලේකම් වෙලා හිටියා. මා දෙවැනි වර සසෙක්ස් ගිහින් සිටියේ රාජකීය සංගමය මගින් ප්‍රදානය කෙරුණු අධිශිෂ්‍යත්වයක් මත. එවර ඔහු මට රාජකීය සංගමයේ රාත්‍රි භෝජනයකට ආරාධනය කළා. මා අවසාන වශයෙන් ටයි පටියක් පැළඳ කබායක් ඇන්දේ එදා. එහි දී මට එංගලන්තයේ කීර්තිමත් විිද්‍යාඥයන් මුණ ගැසුනා. මහාචාර්ය මැක්‍රේ බටහිර විද්‍යාවට කරන ලද සේවය වෙනුවෙන් ඔහුට ශ්‍රීමත් (නයිට්) පදවියක් පිරිනැමුණා. ඔහු සර් විලියම් හන්ටර් මැක්‍රේ (FRS).  දැන් පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මට අධිරාජ්‍යවාදී නම්බුනාම වටිනව කියල.

 

මහාචාර්ය මැක්‍රේ අයින්ස්ටයින්ගේ විශ්වවේදය හා නිවුටන්ගේ විශ්වවේදය අතර ඇති සම්බන්ධය ලොවට හෙළි කළා. ඒ එකක් පමණයි.  එහෙත් ඔහු ගැන වෙනත් වැදගත් කරුණක් කියන්න ඕන. ඔහු අයිරිෂ් ජාතිකයෙක්. කලක් ඔහු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්‍යලයේ ගණිතය පිළිබඳ මහාචාර්ය ලෙස කටයුතු කර තිබෙනවා. එකල ඔහු අර්වින් ෂ්‍රොඩිංගර් නට්සිවාදයෙන් බේරාගැනීම සඳහා අයර්ලන්තයේ ඩබ්ලින් හි ආයතනයක් ආරම්භ කිරීමට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

 

මහචාර්ය මැක්‍රේ දර්ශනය හා ඉතිහාසය ගැන ද උනන්දුවක් දැක්වූවා. මා පාසලේ දී ඉංගිරිසි ඉතිහාසය තරමක් හදාරා තිබුණා. ඔහු මට තවත් බොහෝ දේ කියා දුන්නා. බිරිතානි විශ්වවිද්‍යාල ගැන ඔහුට අසාමාන්‍ය දැනුමක් තිබුණා. විශ්වවිිද්‍යාල වර්ධනය වෙන ආකාරය පිළිබඳ ඔහුට තිබුණේ කණස්සල්ලක්.