History

Tuesday, 16 August 2022

ත්‍රිරෝදයෙන් කුඹුරට

 

ත්‍රිරෝදයෙන් කුඹුරට

 

මහා බැංකු  අධිපති නන්දලාල් වීරසිංහ කියා තිබුණා අප ණය මත පදනම් නොවී නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන කියලා. ඔහු කියා ඇති සියල්ල ම පාහේ ආර්ථික වි‍ද්‍යාඥයකු තබා භෞතික විද්‍යාඥයකුවත් උගතකුවත් බුද්ධිමතකුවත් නූණත් අපට අලුත් දේ නො වෙයි ඒ සියල්ල වගේ මේ ලිපි පෙළේ ඇති. ඔහු කියා තිබුණා දේශපාලනඥයන් වැඩිම වුණොත් ණයෙන් 10%ක් ගසා කන්න ඇති ඉතිරි 90% ම අපේ පරිභෝජනය සඳහා යෙදෙවූ බව. ඒ කරුණු කීම සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕන. 

 

පරංගි පරගලය කළ අය එසේ කෙළේ මේ ණය ආර්ථික ක්‍රමය එලෙසට ම පවත්වාගෙන යෑමටයි. ඔවුන්ට ඕන වුණෙ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම.  ඔවුන් ක්‍රමය වෙනස් කරන ලෙස කිවුවේ මොකක් ද කියා ඔවුන් දැන සිටියේ නැහැ. එහෙත් ඔවුන් මෙහෙයවූ එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් නම් දැන සිටියා ඒ කිවුවෙ සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති විශේෂ තැන නැති කිරීමට ය කියා. පරගලය දේශීය වශයෙන් මෙහෙයවනු ලැබුයේ පඬි නැට්ටන් විසින් නොව කතෝලික හා මුස්ලිම් පිරිස් විසින්. එයින් කියන්නේ සියලු කතෝලිකයන් ගැනවත් සියලු මුස්ලිමුන් ගැනවත් නොවෙයි. එහෙත් කාදිනල්තුමා හා ඇතැම් කතෝලික පූජකවරුන් හා කන්‍යා සොහොයුරියන් ආතල්ගම දකින්න ලැබුණා. පඬි නැට්ටන් කෙළෙ අලි කතා කීම පමණයි.

 

පරංගි පරගලය රාජපක්‍ෂලා හොරකම් කළ නිසා ආර්ථික අර්බුදය ඇති වුණා ය කියන බොරුව මත පදනම් වූ එකක්. මගේ මිතුරකු කී පරිදි පරගලකරුවන් බොරුවෙන් උපන් දරුවන්. පඬි නැට්ටන් අද තමන් බලාපොරොත්තු වූ ඊනියා විප්ලවය සිදු නොවීම සුපුරුදු පරිදි වලිගෙ පාගෙ ගැනීමෙන් වූ දෙයක්. ඔවුන්ට මෙටාවෙන් එහාට ලෝකයක් නැහැ. ඔවුන් සකර්බර්ග් අනාථ කඳවුරේ. සකර්බර්ග් මගෙන් අනාථ කඳවුර ගැන ඇහුවා කියන එකෙන්වත් මා සකර්බර්ග් හමුවීම ගැන ලියූ දේ තේරුම් ගැනීමට තරම් විචාර බුද්ධියක් ඔවුන්ට නැහැ. එක් පඬි නැට්ටකු කියා තිබුණා මට සකර්බර්ග් ලොක්කකු වුණත් ඔහුට එසේ නොවන බව. මට ඔය කිසිම අයකු ලොකු නැහැ. මා බුදුහාමුදුරුවන් දෙසූ මග යෑමට උත්සාහ කරන්නෙක්. නොදැනුම අගය කරන්නෙක්.

 

ඒ කෙසේ වුණත් අද අපට ජාතික නිෂ්පාදන ආර්ථිකයකට යෑමට බල කෙරෙනවා. ජාතික කියන එකෙන් මා අදහස් කරන්නේ අපේ සංස්කෘතියට හැකියාවන්ට අදාළ යන්නයි. අප නිෂ්පාදනය කළ යුත්තේ කුමක් ද? අපට පුළුවන් මොනවා ද? එමෙන් ම අප අධිපරිභෝජනයෙන්  බොරු ෂෝක්වලින් හා බොරු උගත්කමෙන් ගැලවෙන්නේ කෙසේ ද? මේ ලිපියෙන් ඒ සියලු ප්‍රශ්නවලට උත්තර දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ආරම්භයක් පමණයි.අපේ අධ්‍යාපන ක්‍රමය තුට්ටුවක් වටින්නේ නැහැ. අප දන්නේ ගොඩ ඒම සඳහා ඉගෙන ගන්නයි. ඒ ගොඩ ආපු අය අද ත්‍රිරෝද රථ තියාගෙන හන්දි ගානෙ ඉන්නෙ හතර හන්දි කඩාගෙන. ඔවුන් කරන්නේ ඉන්දියාව පෙහොසත් කිරීම පමණයි.

 

සිංහලයන් ඉතා ඉක්මණින් අනුකරණය කරන්න පෙළෙඹෙනවා. මා හිතන්නේ මැකෝලිගෙ හොඳ ම දරුවන් ඉන්නෙ සිංහලයන් අතර කියා. මැකෝලිට අවශ්‍ය වුණෙ ඉන්දියානුවන් හමෙන් දුඹුරු ඒත් සිතුම් පැතුම්වලින් ඉංගිරිසි කාරයන් කිරීමට. ඒ සඳහා ඉංගිරිසින් පාසල් ඇති කළා. එහෙත් ඉන්දියාව විශාල රටක්. ඔවුන්ට එය සාර්ථක ව කරගන්න බැරි වුණා. ද්හෙරදුන් පාසල්හි ඉගෙන ගත් අය සිටියත් ඔවුන්ට බ්‍රාහ්මණ සම්ප්‍රදායක් තිබුණා.

 

අපට අවාසනාවකට පාසල් ඇතිවුණත් විචාරාත්මක සම්ප්‍රදායක් තිබුණේ නැහැ. ඒ නිසා ම තමයි පඬි නැට්ටන්ටත් ඔවුන් සම්ප්‍රදායට විරුද්ධ වුණත් සකර්බර්ග් මුණ ගැහීම ගැන විචාරාත්මක ව හිතන්න බැරි වුණෙ. කන්නන්ගර නිදහස් අධ්‍යාපනයෙන් සිද්ධ වුණෙ ඉංගිරිසින්ට අවශ්‍ය වූ දේ කිසිම රටක නොවන අයුරින් මෙරට ඉටු වීමයි. අප කෙළේ කුඹුරෙන් ගොඩ වී ත්‍රිරෝදයට නැගීමයි.

 

අපට අද ඩොලර් ඕනෙ. අපි ලෝකයත් එක්ක බැඳිලා. මේ ලිපිය ලියන්නෙත් පරිගණකයකින්. එය මිල දී ගන්නත් ඩොලර් ඕන. අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. අප විරුද්ධ බටහිර සංස්කෘතික දැනුම් දේශපාලන ආර්ථික ආධිපත්‍යයටයි. ඉන්දියාව නිදහස ලබා ඊයෙට අවුරුදු හැත්තෑපයි. අපටත් නිදහසෙන් අවුරුදු හැත්තෑපහ තව මාස හයකින් පමණ පිරෙනවා. අපි බංකොළොත් රටක්. ඒ බංකොළොත් වීමට අර බොරු උගත්කමත් බලපෑවා. ණය නොගෙවා සිටින්න උපදෙස් දුන් පඬියන් කෝ? මා හිතන විධියට අඩු තරමෙන් බැසිල් ජාමූලෙට යන්නෙ නැතුව හිටියා. ජාමූලෙට ගියා කියල ඩොලර් කොපමණ හම්බ වෙයි ද? ඉන්දියානුන්ට ජාතිකත්වයත් තියෙනවා. ඔවුන් එය අගය කරනවා. අප ජාතිකත්වයට හිනහවෙනවා.  

 

අපට හෙට වෙන විට මෝටර් රථ නිෂ්පාදනය කරන්න බැහැ. ඔය මාත් පාවිච්චි කරන සුහුරු දූරකතනයක් (ස්මාට් ෆෝන්)  අපට නිෂ්පාදනය කරන්න බැරි වේවි. එහෙත් අපට තොරතුරු තාක්‍ෂණයේ කෘත්‍රිම බුද්ධියේ යමක් කරන්න පුළුවන් වේවි. ඒ සඳහා හැකියාව ඇති තරුණයන් රටේ ඉන්නවා. අපට යෙදුමක් එහෙම හොඳ නැත්නම් ඇප්පයක් නිර්මාණය කරන්න බැරි වෙන එකක් නැහැ. ඔය බස් එක ඇප් එක ආදී වශයෙන් කියන්නෙ ඉංගිරිසි නාම පදයක් අවශෝෂණය කර ගන්න බැරි අය. අපි අද සිංහල නේෂන් එක වෙලා. එක් උපැවිදි අයකු  ඕ මයි ජීසස් කිවුවලු.

 

කොහොමටත්  අපට පරිගණක ක්‍ෂෙත්‍රයේ දුරක් යන්න පුළුවන්. මා ඒ ක්‍ෂෙත්‍රයේ නැති වුණත් ක්වොන්ටම් පරිගණක ගැන කතා කරන්න වෙලා අවුරුදු තිහක් පමණ වෙනවා. මා හිතනවා අගමැතිතුමා කෘත්‍රිම බුද්ධිය හා තොරතුරු තාක්‍ෂණය ගැන හැකියාවක් ඇති අය ඉක්මණින් කරළියට ගනීවි කියා. එහි දී කෘත්‍රීම බුද්ධිමතුන් නම් ගාව ගන්නවත් හොඳ නැහැ. බැසිල් රාජපක්‍ෂටත් මෙහි දී යමක් කරන්න පුළුවන්.

 

එහෙත් ඊටත් වඩා අප මූලික වශයෙන් කෘෂිකාර්මික රටක්. කුඹුරෙන් ගොඩ ඇවිත් බංකොළොත් වෙච්ච රටක්. අප නැවතත් ත්‍රිරෝදය පැත්තකින් තියල කුඹුරට බහින්න ඕන. ගහට නගින් ඕන. තණකොළ කපන්න නො වෙයි. ඒත් ඒ හැම දෙයක් ම මහා පරිමාණයෙන් කරන්න ඕන. අපට කාබනික මෙන් ම අකාබනික එළවළු පළතුරු කෙටියෙන් නම් කෘෂිද්‍රව්‍ය අපනයනය කරන්න පුළුවන්. කුරුම්බා වතුර තැඹිලි වතුර අපනයනය කරන්න පුළුවන්. තැඹිලි තියෙන්නෙ ලංකාවෙ විතරයි. දැනටමත් එසේ කරන කිහිප දෙනකු ඉන්නවා. එහෙත් ඒ මහා පරිමාණයෙන් සිද්ධ කරන්න ඕන. මා කලිනුත් කියල ඇති අපි ලොකුවට හිතන්න ඕන කියලා. අප ලෝකයට නිෂ්පාදනය කරන්න ඕන.

 

සමහර භෝග වර්ග තියෙනවා මාසෙන් දෙකෙන් ඵල දරණ. අපට ක්‍ෂණික ඩොලර් ලබා ගන්න තියෙන එක මගක් එවැනි භෝග වගා කිරීම. ඒත් ඒ ද්‍රව්‍ය ලෝකෙට දෙන්න මනා සැලසුමක් තියෙන්න ඕන. ගමෙන් කොළඹට එළවළු ගෙන ඒමේදී 30%කට වඩා අපතෙ යන ක්‍රමයකට එය කරන්න බැහැ. 

 

ඒ අතර අප නාස්තිය හා අධිපරිභෝජනය නවත්තන්න ඕන. අරපිරිමැසීමට දරුවන් පුරුදු කරන්න ඕන. අපට අද නැත්තෙ ජාතිකත්වය. අප ජාතික දැනුමට හිනහවෙනවා. ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම රාමනුජන්ට පමණක් සීමා කරලා. දැනුම ලබාගන්න පුළුවන් (නිර්මාණය කරන්න පුළුවන්) බටහිරයන් කියන විධියට ම නො වෙයි. අපි වැවු හැදුවෙ ද්‍රවස්ථිතිකය හරි ද්‍රවගතිකය හරි දැනගෙන නො වෙයි.