History

Sunday, 14 August 2022

විශ්වයේ ප්‍රසාරණය හා කල්ප කතාව

 

විශ්වයේ ප්‍රසාරණය හා කල්ප කතාව

 

දැනට අවුරුදු පනහකට විතර කලින් මා විශ්වවේදයෙන් උපාධියක් ලබා ගැනීමට කටයුතු කරන කාලෙ විශ්වවේදීුන් සිතා සිටියේ විශ්වය ප්‍රසාරණය වන බවයි. ඉතා මෑතක් වන තුරුත් ඔවුන් සිතා සිටියේ ඒ බව. එපමණක් නොවෙයි 1997  තරම පර්ල්මටර් ඇතුළු අය විශ්වය ත්වරණයක් සහිත ව ප්‍රසාරණය බව කිවුවා. පර්ල්මටර්ට ඒ පිළිබඳ ව නොබෙල් තෑග්ග ලැබුණා.  ඒ අතර කලක සිට අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යය ගැන ඔවුන් කතා කරනවා. තවමත් ඒ අඳුරු කතා ගැන විශ්වවේදීන් ඉන්නෙ අඳුරෙ.

 

එහෙත් ඉතා මෑතක සිට විශ්වයේ ප්‍රසාරණය ගැන අලුත් කතා කියන්න පටන් අරන්. විශ්වය ප්‍රසාරණය (ඈරෙනවා) කියන එකෙන් බටහිර විද්‍යාඥයන් අදහස් කෙළෙ අවකාශය එහෙමත් නැත්නම් අවකාශ කාලය ප්‍රසාරණය වෙන බවයි. ඒ අනුව තමයි ඇතැමුන් ඇහැවුවෙ විශ්වය ප්‍රසාරණය වෙන්නෙ කොහාට ද කියල. විශ්වයේ හතර මායිම හා බුදුදහම ලිපිය බලන්න. ඒත් දැන් විශ්වවේදීන් කිහිප දෙනකුවත් කියන්න පටන් අරන් අවකාශය හරි අවකාශ කාලය හරි අවශ්‍ය නම් විශ්වය ප්‍රසාරණය වෙන්නෙ නැහැ කියන්න. ඔවුන් කියන්නෙ විශ්වය ප්‍රසාරණය වෙනවා නොවෙයි මන්දාකිණී එකිනෙකින් ඇතට යන බවයි.

 

පඬි නැට්ටන් ඒ ගැන මොකද කියන්නෙ. ඊනියා සත්‍යයට වඩා ආසන්න මොන කතාව ද? ඒ කතා දෙක දෙකක් මිස එකක් අනෙකේ වර්ධනයක් නො වෙයි. විශ්වය ප්‍රසාරණය වෙනවා කියන එකටත් ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ඒ තරම් ඇතට යන්නෙ නැහැ. අවුරුදු සීයකට ටිකක් වැඩිවෙයි. අයින්ස්ටයින් විශ්වයට තම සමීකරණවලින් විසඳුමක් ලබා ගත්ත අවස්ථාවෙ ඔහුට ලැබුණෙ ප්‍රසාරණය වෙන විශ්වයක්. එහෙමත් නැත්නම් ප්‍රසාරණය වෙන අවකාශ කාලයක්. ඒත් ඒ දවස්වල, වැඩි ඈතක් නොවෙයි අවුරුදු සීයකට එහා පැත්තෙ බටහිරයන් දැන සිටියෙ ස්ථිතික අවකාශයක්. අයින්ස්ටයින්ට හා මින්කොව්ස්කිට අනුව ස්ථිතික අවකාශ කාලයක්.

 

අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදය ඊනියා නිරීක්‍ෂණ සමග එකඟ වෙන විධියට ඒ සමීකරණවලට (ක්‍ෂෙත්‍ර සමිකරණ  Field Equations) නියතයක් එකතු කළා. ඒ නියතයට විශ්වවේදී නියතය (Cosmological constant)  කියල කියනවා. ඒ නියතය එකතු කරල ඔහු ස්ථිතික විශ්වයක් ලබා ගත්ත. පේනව ද බටහිර විිද්‍යාවෙ වැඩ කෙරෙන විධිය. ඒත් අවුරුදු කිහිපයකට පස්සෙ හබල් කියන විශ්වවේදී නිරීක්‍ෂකයා දුරේක්‍ෂ භාවිතයෙන් කිවුව විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා. අයින්ස්ටයින්ට තරු පෙණුනෙ නැහැ. ඔහු කිවුව අර විශ්වවේදී නියතය එකතු කිරීම තමයි ඔහු ජීවිතයේ කළ ලොකුම වැරුද්ද කියල. පඬි නැට්ටන් නම් කිසිම වැරැද්දක් කරල නැහැ. ඔවුන් ඉපදුන දවසෙ ඉඳන් නිවැරදි දේ ම තමයි කියන්නෙ. ඔවුන්ට නිරවුල් වෙන්න අවශ්‍ය නැහැ.

 

විශ්වවේදයෙ විශ්වයට විසඳුම් ලබා ගන්නෙ සමීකරණ දෙකකින් ඒත් එහි විචල්‍ය ගණනාවක් තියෙනවා. විශ්වයේ සාමාන්‍ය ඝනත්වය, පීඩනය, පරිමිත අපරිමිත බව, අර විශ්වවේදී නියතය හා තවත් එකක්. සමීකරණ දෙකයි විචල්‍ය පහයි. විසඳුම් අනන්තයයි. ඒත් ඒ ඕනෑම විසඳුමක් භාර ගන්නෙ නැහැ. ඒ විසඳුම් අර ඝනත්වයට පීඩනයට දෙන අගය නිරීක්‍ෂණ සමග එකඟ වෙන්න  ඕන. ඒත් මේ ඝනත්වය ආදිය ඊනියා සාමාන්‍ය අගය. මුළු මහත් විශ්වය ම සජාතීය කියා අරගෙන විශ්වය පුරා ම එක ම ඝනත්වයක් තියෙන බව උපකල්පනය කරල තමයි අගය නිර්ණය කරන්නෙ. ඒක එච්චර හරි නැහැ. ඒත් මොනව කරන්න ද? බටහිර විද්‍යාඥයන්ට අභිඥා නැහැ. ඒ වගේ ම කරන තවත් උපකල්පනයක් තමයි විශ්වය මොන පැත්තට බැලුවත් එක වගේ පේනව කියල. ඒ වගේ උපකල්පන නැති ව අර සමීකරණ විසඳන්න සක්කරයගෙ පුතා වයිමට තියා පඬි නැට්ටන්ටවත් බැහැ.

 

මා ඉහත සඳහන් කළා තවත් විචල්‍යයක් තියෙනවා කියලා. ඒක ලැබෙන්නෙ ඔය විශ්වයට නැත්නම් අවකාශ කාලයට විසඳුම් සෙවීමේ දී  ලියන එක්තරා මිතිකයක් (metric) නිසා. එයට එකල කිවුවෙ රොබට්සන් වෝකර් මිතිකය කියලා. ඒ මිතිකය ඇත්තට ම අවකාශ කාලයෙ සිද්ධි දෙකක් අතර දුර දැනගන්න උපකාර වෙන එකක්. ඒ මිතිකයෙ තියෙනවා පරිමාණ සාධකය (scale factor) කියල විචල්‍යයක්. අර රොබට්සන් වෝකර් මිතිකය ලියන්නෙ අප කේන්ද්‍රය ලෙස සලකමින්. අපෙන් මන්දාකිණියක් කොතරම් දුරකින් තියෙනව ද කියල ගණනය කිරීමේ දී අර සාධකය යොදා ගැනෙනවා.

 

හබල් විශ්වය ප්‍රසාරණය වෙනවා කිවුවෙ ඒ සාධකය වෙනස් වෙන බව නිරීක්‍ෂණය කිරීමෙන්. ඔහු නීිරීක්‍ෂණය  කළ මන්දාකිණි අපෙන් ඈත් වෙනවා. දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මන්දාකිණි අපෙන් ඈතට යනව කියන්නෙ අවකාශ කාලයත් ප්‍රසාරණය වෙනව කියන එක ද? විශ්වය ප්‍රසාරණය වෙනව කියන එක ද? මැතක් වන තුරු බටහිර විිද්‍යාඥයන්ගෙ විවරණය වුනෙ මන්දාකිණී ඇතට යන්නෙ විශ්වය ප්‍රසාරණය වෙන නිසා කියල. එවිට අර ප්‍රශ්නය විශ්වය ප්‍රසාරණය වෙන්නෙ කොහාට ද? දැන් දැන් බටහිර විද්‍යාඥයන් කියන්න පටන් අරන් විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්නෙ එකක්. මන්දාකිණි අපෙන් ඇතට යනව කියන්නෙ එකක් කියල. ඔවුන් කියන්නෙ හබල්ගෙ වගේ නිරීක්‍ෂණවලින් කියන්නෙ මන්දාකිණි ඈතට යනව පමණයි කියල. අපි ඒකට අනේ මන්දා කියනවා ද?

 

නැහැ. අපේ සංවට්ට කප්ප විවට්ට කප්ප තියෙනවා. වෑරෙන හා ඈරෙන කප්ප. ඒවා කල්ප. ඒ අතර අපි ලෝක ගැනත් කතා කරනවා. කාම ලෝකය, රූප ලෝකය, අරුප ලෝකය වගේ. අපි ඉන්නෙ කාම ලෝකයෙ. දැන් ඔය වෑරෙන කල්පයක දි සත්ත්වයන් සමහර දෙනකු ආභස්සර බ්‍රහ්ම ලෝකයට යනවා. ඒ කියන්නෙ එහි උපදිනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකය කියන්නෙ රූප ලෝකයක්. එහි ජීවීන් කන බොන ආකාරය එළිය විහිදුවන හැටි අපේ සාහිත්‍යයෙ තියෙනවා.

 

මට හිතෙන විධියට වෑරෙන කල්පයක් අවසාන වෙන විට සත්වයන් එවිටත් පවතින සමහර රූප ලෝකවලට අරූප ලෝකවලට යනවා කියල. මා දන්න තරමින් එහෙම කතාවක් සාහිත්‍යයෙ නැහැ. සමහර විට තියෙන්න පුළුවන්. මා එතරම් පොතපත කියවල නැහැ. මට අභිඥාත් නැහැ. මට අර විධියට හිතෙනවා.  නැත්නම් සත්වයන්ගෙ සසර කෙළවර වෙන්න එපායැ. කොහොමටත් අර ආභසසර බ්‍රහ්ම ලෝක කතාව නම් අපේ සාහිත්‍යයෙ තියෙනවා. ඒ විතරක් නොවෙයි සාමාන්‍යයෙන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ ආයුෂ කල්ප දෙකක් වෙනව කියලත් කියනවා. ඒ අර කල්පාවසානයෙ එහි උපදින අය නො වෙයි. ඊළඟට ඈරෙන කල්පයෙදි බ්‍රහ්මයා කියා තමා හඳුන්වාගන්නා අයකු බ්‍රහ්ම විමානෙට යන කතාව භෞතික කයක් නොතිබූ මිනිසුන් විකාශය වෙලා කාබලික ආහාර ගන්න භෞතික කයක් සහිත සත්වයන් බවට පත්වෙන කතාව ආදියත් තියෙනවා. ඒක ලොකු කතාවක්. 

 

මේ කල්ප දෙකේ ආයුෂ කතාවෙනුත් කියැවෙන දෙයක් තියෙනවා. එනම් කල්ප විනාශයක දි ලෝක විනාශයක් වෙන්නෙ නැහැ කියන එක. කල්පවල දි ලෝක ඈරෙනවා වෑරෙනවා. සමහර ලෝක විනාශ වෙන්නෙ නැහැ. බටහිර විද්‍යාවෙ ඈරෙන කතාව පමණයි තියෙන්නෙ. එහි ඇත්තෙ නිරීක්‍ෂණයක් හා අර්ථවිවරණයක්. මන්දාකිණි අපෙන් ඈතට යනවා. අර මිතිකය අනුව බටහිර විශ්වවේදීන් එකල කිවුව විශ්වය ප්‍රසාරණය වෙනවා කියල. ඔවුන්ට අනුව විශ්වය පරිමිත වෙන්නත් පුළුවන්. අපරිමිත අනන්ත වෙන්නත් පුළුවන්. අනන්ත අපරිමිත නම් විශ්ව ප්‍රසාරණය වෙන්නෙ කොහාට ද කියන ප්‍රශ්නය මතු වෙන්නෙ නැහැ. එහෙත් පරිමිත නම් ඒ ප්‍රශ්නය මතු වෙනවා.

 

බටහිර විද්‍යාඥයන් අපේ සාහිත්‍ය දැන සිටියා නම් හා එහි කල්ප විනාශය තේරුම් ගෙන හිටියා නම් එකල ම කියන්න තිබුණ විශ්වය ප්‍රසාරණය වෙනව නොවෙයි මන්දාකිණි ඈතට යනවා කියල. මටත් ඒ දවස්වල ඒ ගැන තේරුමක් තිබුණෙ නැහැ. මාත් ඒ දිනවල කසිකබල් භෞතිකවාදියෙක්. අපේ ආධ්‍යාත්මික දැනුම ගැන විශ්වාසයක් නොතිබූ අයෙක්.

 

බටහිර විශ්වවේදයෙ තව ප්‍රශ්න තියෙනවා. අර පර්ල්මටර් හා තවත් අය කියන මන්දාකිණි ත්වරණයකින් අපෙන් ඈතට යෑම අඳුරු ශක්තිය අඳුරු ද්‍රව්‍යය ආදිය ගැන කිසිවක් බටහිර විද්‍යාවට කියන්න බැහැ. ඒත් අපට යමක් කියන්න පුළුවන්. මන්දාකිණි අපෙන් ඈතට යනවා වගේ ම අප කරාත් එන්න ඕන. ඒ තේරුම් ගැනීමට පුළුවන් අර අයින්ස්ටයින්ගෙ විශ්වවේදීය නියතය නියතයක් නොව විචල්‍යයක් ලෙස ගත්තොත්. කැලණිය විශ්වවිද්‍යාලෙ පශ්චාත් උපාධිධාරීන් කිහිප දෙනකු ඒ කතාව කියල තියෙනවා. ඒ බටහිර විිද්‍යාවෙ නිරීක්‍ෂණ අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමක්.