History

Sunday 7 August 2022

කුණු කූඩ කතාව

 

කුණු කූඩ කතාව

 

හකීම් අහලා ඥානසාර හිමියන් ප්‍රධාන කමිටුවේ වාර්තාව කුණු කූඩයට දැමීමට ජනාධිපති රනිල් සූදනම් ද  කියා. එක රටයි එක නීතියි කියන එක හකීම් පිළිගන්නෙ නැති බව මෙරට ජාතිකවාදීන් දන්නවා. හකීම්ලාට හා වෙනත් අයට ගෝඨාභය එළවීමට අවශ්‍ය වුණෙ මොකද කියන එක සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට ඉදිරියේ දී තව තවත් තේරෙවි. ඒත් ප්‍රමාද වැඩිය කියා සමහරකුට හිතෙන්න පුළුවන්.

 

අප නම් කිසි විටෙක එහෙම හිතන්නෙ නැහැ. වමාල වගේ අපි දවල් හීන දකින්නෙ නැහැ.  රනිල් බලයට ගෙනෙනු ලැබුවේ අප විසින් නො වෙයි. ඒ බටහිරයන් විසින්. පරංගි පරගලය බටහිරයන්ගේ හා ඉන්දියාවේ අතකොළුවක් වුණා පමණයි. බලවත් රටවල බුද්ධි අංශ සමහර විට අදාළ ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට එරෙහි ව ක්‍රියා කරනවා. ලංකාව සම්බන්ධයෙන් නම් බටහිර රටවල ආණ්ඩු හා ඒ රටවල බුද්ධි අංශ අතර පරස්පර ප්‍රතිපත්ති ඇතැයි කියා හිතන්න බැහැ. එහෙත් ඉන්දියාව සම්බන්ධයෙනුත් එසේ කියන්න පුළුවන් ද?

 

මා හිතන්නෙ නැහැ හකීම්ටත් ගෝඨාභය එළවන්න අවශ්‍ය වෙලා තිබුණත් ඒ වෙනුවට ගේන්නෙ කවුද කියන එක ගැන අවබෝධයක් තිබුණා ය කියා. වමාලාත්  හිතුවෙ නැහැ රනිල් ජනාධිපති වේවි ය කියා. ඇතැම් පරගලකාරයන්ගෙන් ගෝඨාභය එළවළ කාවද ජනාධිපති කරන්නෙ කියල ඇහැවු ම ඔවුන් පඬි කතා පමණයි කිවුවෙ. රෙද්ද ගිනිගන්න කොට රෙද්ද කඩල දානවා මිසක් අඳින රෙද්දක් ගැන හිතන්නෙ කවුද කියල ඔවුන් ඇහුවා.

 

දැන් වමාලටයි අනෙක් පඬි නැට්ටන්ටයි හොඳ රෙද්දක් හම්බ වෙලා. ඒක පංකාදු සේද (සිල්ක්) රෙද්දක්. චීනෙන් ගෙනාපු එකක් නොවෙයි. චීන සේද මාර්ගය ගෑන බය වෙලා ඉන්න බටහිරින් ගෙනාපු රෙද්දක්. රෝ ඔත්තු සේවයත් කැමති රෙද්දක්. අඳින්න අඳින්න ගැලවෙන රෙද්දක්. හෙළුව වහගන්න බැරි රෙද්දක්. වමාලගෙ හා අනෙක් පඬි නැට්ටන්ගෙ හෙළුව නම් හැමදා ම සකර්බර්ග් අනාථ කඳවුරෙ දකින්න පුළුවන්.

 

පරංගි පරගලය සිංහල බෞද්ධ විරෝධී බව අප නම් දැන සිටි බව කියන්නෙ පුරාජේරුවකට නො වෙයි. අප මුල ඉඳල ම ආතල්ගම පරංගි පරගලයට විරුද්ධ වුණා. බටහිරයන් දෙන්න යන රෙද්ද මොකක් ද කියල අපට වැටහුණා. ඒත් සුපුරුදු පරිදි පඬි නැට්ටන් පමණක් නොවෙයි ජාතිකවාදීන් ද අප කියන දේ ඩොලරයකට තබා පයිසෙකටවත් ගණන් ගත්තෙ නැහැ. ඇතැම් ජාතිකවාදීන් බැසිල්ට විරුද්ධ වෙන්න ගිහින් මහින්ද එළවා ගැනීමට උපකාර කළා. ඔවුන් දැන් පරගලය ගැන කියන්නෙ බයිලා. බයිලත් අපට ලැබුණෙ පරංගින්ගෙන්.

 

ඒත් මහින්ද හා ගෝඨාභය නැති වුණත් බැසිල් තාම ඉන්නවා. බැසිල් ගාමිණී දිසානායකගෙන් වැඩ ඉගෙන ගත්ත කෙනෙක්. ඒ අතර නාමලුත් ඉන්නවා. ඔවුන් දැන් කරළියේ. ඔය බටහිරයන් එළව ගත්තෙ යම් තරමක් හරි ජාතිකත්වයක් තිබුණ රාජපක්‍ෂලා පමණයි. ඊනියා සර්ව පාක්‍ෂික බයිලා කිවුවත් අද තියෙන්නෙ එ ජා පක්‍ෂයේ හා බැසිල්ගෙ පොහොට්ටුවේ ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක නිර්වචනය ව්‍යවස්ථාව කියවා දැන ගන්න. වජිර අබේවර්ධන එ ජා ප නියෝජනය කරනවා. ජාතික ආණ්ඩුවක් හදන්න දෙවැනි පක්‍ෂයෙන් එක් මන්ත්‍රීවරයකු පමණක් හිටියත් ඇති. බැසිල්ට වජිර හිටිය ම ඇති. රනිල් ඒ අතර තම හිතවතුන් ජනාධිපති උපදේශකලා ආදී  වශයෙන් පත් කරනවා. සත්තකින් ම ක්‍රමය වෙනස් කරලා.    

 

රනිල් අගමැති කරන්න ගෝඨාභය කැමති වුණෙ කාගෙ අවශ්‍යතාවට ද කියා අපට නිශ්චිත ව කියන්න බැහැ. ඒත් හිතා ගන්න පුළුවන්. ඒ අවස්ථාවෙ දිනේෂ් ගුණවර්ධන අගමැති කරන්න තිබුණා. ඒත් ගෝඨාභය රනිල්ට නියම කළෙ ඩොලර් හොයන්න. හැමෝ ම වගේ හිතුව රනිල් ජාමූල ගැන කියන කොට ඔහුට ජාමූලෙන් ණය ලැබේවි කියා. ජාමුලෙ අපට ණය දෙන්නෙ නැහැ. ඔය පහුගිය දවස්වල ආපු තෙල් ගෑස් ගෝඨාභය ජනාධිපති කාලෙ ඇණවුම් කරපු ඒවා. ඒත් සිංහල ජාතියට මට තරම්වත් මතකයක් නැහැ. ඔවුන් හිතන්නෙ ඒ රනිල් මහත්තයගෙ වැඩ කියලා.

 

දැන් අප හොඳට ම හිරවෙලා. අර චීන නැවට එන්න දෙන්න එපා කියල වැඩියෙන් ම බල කරන්නෙ ඉන්දීය ඔත්තු සේවය හා බටහිරයන් වෙන්න ඕන. චීනයට විරුද්ධ අර හතර දෙනාගෙ කල්ලිය ක්‍රියාත්මක වෙනවා. බටහිරයන් හා ඉන්දියාව දාපු තොණ්ඩුව අප ම තව තවත් හිර කර ගන්නවා. තව මාස ගණනාවකට අපට කර කියා ගන්න දෙයක් නැහැ. තවම කිසිවකු යැපුම් ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකයකට යන්නෙ කොහොම ද කියල කතා කරන්නෙ නැහැ. මෙරට උගතුන් හා බුද්ධිමතුන් වැහි වැහැලා. සමහරු ඊනියා ජාත්‍යන්තර කීර්තියටත් පත් වෙලා. ඒත් ලංකාව ජාත්‍යන්තර ව අපකීර්තියට පත් වෙලා.

 

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මගුල් කිවුවලු. බටහිරයන්ගෙ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය අස්සෙ හකීම්ලා කරළියට ඇවිල්ල. මේ රටේ තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නීතිය. ඒ නීතියෙන් බටහිරයන්ගෙ සංස්කෘතිය නම් නියෝජනය වෙනවා. සමහර නීතිඥයන් උසාවි ගිහින් අප්පුඩි ගහන්නෙ ඒ සංස්කෘතියට තැන දෙන්න. නීිඥයන්ට හා ලිබරලුන්ට නම් ප්‍රශ්නයක් නැහැ. වමාලට හා අනෙක් පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට තමයි ප්‍රශ්නෙ. අඳින්න අඳින්න රෙද්ද ගැලවෙනවා. ඌරන් හා කුකුළන් රෙදි ඇඳල ද කියල මගෙන් අහන්න එපා.