History

Saturday, 20 August 2022

හරමානිස්ලා හා කුල්ටෝ

 

හරමානිස්ලා හා කුල්ටෝ

 

මා වාග් විද්‍යාඥයකු නම් නො වෙයි. ඒත් මට නොයෙකුත් දේ හිතෙනවා. ඒ වගේ ම මා හිතනවා. මා භාෂාව ගැනත් හිතනවා. බොහෝ විට හිතන්නෙ භාෂාවෙන් නොවැ.  අප යොදා ගන්නා ඇතැම් වචන වෙනත් භාෂාවලින් ලබාගත් ඒවා. ඒ වැකියේ ම එවැනි වදන් තියෙනවා. මා වැකිය වදන් යනුවෙන් යොදා ගත්තත් ඒ වාක්‍යය හා වචන යන්නෙන් ලබා ගත්තා ද කියන්න මට දැනුමක් නැහැ. අපට ඔවදන කියා වදනක් තියෙනවා. මේ සම්බන්ධයෙන් හදාරන්න කිසිවකු ඉදිරිපත් වේද කියා හිතාගන්න බැහැ.

 

අපි පෘතුගිසි ලන්දේසි භාෂාවලින් ගත් වචනත් යොදා ගන්නවා. එමෙන් ම දෙමළ භාෂාවෙන් ලැබුණු වචනත් සිංහලයේ තියෙනවා. ඒ වචන අද සිංහල වෙලා. එය අපේ ශක්තියක්. අපේ නිර්මාණශීලී බව එයින් පේනවා.  කමිසය සපත්තුව සෙරෙප්පුව කලිසම අද සිංහල වෙලා. කිසිවකුට ඒ වචනවල විදෙස් බවක් දැනෙන්නෙ නැහැ.

 

එයට අමතරව පනිට්ටුව ගේට්ටුව රොකට්ටුව වගේ වචනත් තියෙනවා. පනිට්ටුව කෙසේ වෙතත් ගේට්ටුව හා රොකට්ටුව අපට ලැබිල තියෙන ඉංගිරිසියෙන්. ඉංගිරිසි කියන වචනයත් ඉංගිරිසියෙන් ම ගත් එකක්. එය ඉංගිරිසියෙන් නම් කියන්නෙ ඉංග්ලිෂ් කියල. ඒ රටට අපි කියන්නෙ එංගලන්තය කියල. එය ඉංගිරිසියෙන් නම් ඉංග්ලන්ඩ්. ඉංග්ලන්ඩ් එංගලන්තය වුණු හැටි තේරුම් ගන්න අමාරුවක් නැහැ. ලන්ඩ් කියන කොටස අපි ලන්තය කියා යොදනවා. පින්ලන්තය නෙදර්ලන්තය ස්විට්සර්ලන්තය  ඒ සඳහා තවත් උදාහරණ. අප පඬි කමට ස්විට්සර්ලන්තය කිවීවත් එය සුවිට්සර්ලන්තය වුණා නම් සිංහල උච්චාරණයට හුරු කියල හිතෙනවා. දැන් නම් අපට ඩීල්ලන්තයකුත් තියෙනවා. ඒ වෙන රටක් නොවෙයි. ලංකාව.

 

සුවිට්සර්ලන්තය ඉස්විට්සර්ලන්තය වෙන්නත් තිබුණා. ඉස්කෝලෙ, ඉස්ටේෂම වගේ වචන සමග සංසන්දනය කරන්න. ඒත් ඉස්විට්සර්ලනතය කියන එක සිංහල දිවට හරියන්නෙ නැහැ. පඬියකු අහන්න බැරි නැහැ සිංහල දිවවල් තියෙනවා ද කියා. කොහොමටත් සිංහල දිව හල් අකුරුවලින් පටන් ගන්න වචන හසුරුවන්න මැලියි. අපට හුරු ඉස්පේස් කියන්න මිසක් ස්පෙස් කියන්න නොවෙයි.  ස්පර්ශ ඉස්පර්ශය වෙනවා.  ඒ වගේ ම වචනයක හල්අකුරු වැඩි වෙනවටත් අපි කැමති නැහැ.

 

පුරුදු වුණොත් ඔය වචන ශබ්ද කරන්න අපට පුළුවන්. අපි ගොඩයන් නොවෙන්න නම් ඉස්පේස් නොකියා ස්පේස් කියන්න ඕන. ගොඩයා කියන වචනය වෙනුවට අද බයියා කියනවා ද? ඒක අහගන්නෙ සකර්බර්ග්ගෙන් ද? ඉස්පේස් වෙනුවට ඕන නම් ඉඩ හරි අවකාශය හරි කියන්න පුළුවන්. ඒත් ඉඩ තියෙනවා ද කියල අහනවාට වඩා ස්පේස් තියෙනවා ද කියල ඇහුවුම පිළිගැනීමක් තියෙනවා.

 

මා කලින් පෘතුගීසි කියන වචනය යොදා ගත්තා. එය පර්චුගීස් යන්නෙන් බිඳ ගත් වචනයක් වෙන්න ඕන. ඒත් සිංහල දිවට පෘ ශබ්දයට වඩා පුරු ශබ්දය හුරුයි. ඒ නිසා පුරුතුගීසි කියා අප කියන්න ඇති. පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා. එ ඉස්සර. පුරුතුගීසි කාරයා තමයි අපට සිංහල උළු ගෙනත් දීල තියෙන්නෙ. සිලිකන් මිටියාවතෙත් සිංහල උළු ගෙවල් තියෙනවා. අප දැනට ඉන්න පාරෙත් එවැනි ගෙවල් තියෙනවා. කොහොමත් සංස්කෘත වචන අපට හුරු නැහැ. හුරු කරගන්න පුළුවන්. ඒත් සඟිස්කුරුත තමයි අපට හුරු. කෘ කුරු වෙලා. පෘ පුරු වෙලා ද? මා හිතන්නෙ අපි මුලදි කියන්න ඇත්තෙ පුරුතුගීසි කියල. පර් යන්න පුරු වෙන්න ඇති. පස්සෙ පඬි බසින් පුරු පෘ වෙන්න ඇති කියල හිතනවා. 

 

දැන් රටවල් අල්ලන්න සූරයා ඉංගිරිසි කාරයා. තවමත් ඉංගිරිසි කාරයා තමයි ලෝකෙ පාලනය කරන්නෙ. අපට ඉංගිරිසි වුණෙ ඉංග්ලිෂ්. හල් අකුරු එක ළඟ අපට කරදරයි. ෆිසික්ස් කියල ශබ්ද කිරීම තරමක් අපහසුයි. ඉංග්ලිෂ් අපට ඉංගිලිෂ් වෙන්න ඇති. ඊට පස්සෙ ල ර මාරුවෙන රීතිය අනුව ඉංගිරිස් සහ හල් පැත්තකින් තියල ඉංගිරිසි වෙන්න ඇති.

 

අපි ඉංගිරිසි අධ්‍යාපනයක් ලබන්නෙ. අපට ඇත්තෙ ඉංගිරිසි සංකල්ප. පස්වැනි සියවසෙන් පමණ පස්සෙ අපි හිතන එක නවත්තලා. ආන්ද්‍ර බුදුදහම අපට ඇවිත්. ආන්ද්‍ර කියන එක සිංහලට ආඬි. අරිට්ට කී වෙට්ටු කාලෙත් ආඬි බලපෑම තිබුණා. ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය මතක් වෙනවා ද? ඒකෙන් ආඬි ගැන යමක් හිතාගන්න පුළුවන් වෙන්න ඕන. අප පස්වැනි සියවසෙන් පස්සෙ හිතීම නැවැත්තුවත් පිටින් ගත් දේ සිංහල කරන්න එහෙමත් නැත්නම් පඬි බසින් සිංහල සංස්කෘතියට අවශෝෂණය කරන්න දැන හිටියා. ග්‍රෙගරි ගිරිගෝරිස් වුණා. හර්මන් (ලන්දේසි වෙන්න ඇති) හරමානිස් වුණා.

 

ඒත් අපට දැන් එයත් බැහැ. ඉංගිරිසින් අපේ වචන ඔවුන්ට හුරු විධියට ශබ්ද කරනවා. ගුණවර්ධන කලක් ගන්වෝඩ්න් වුණා. දැන් ග න වෝඩ්න්. වර්ධන කියල නම් කියන්නෙ නැහැ. ඒත් ඉංගිරිසි අධ්‍යාපනය පැතිරෙත් ම  අපට හරමානිස්ලට තිබුණ නිදහසත් නැති වෙලා. අපට වචන සිංහල කරන්න බැහැ. ගේට් ගේට්ටුව වුණාට ෂර්ට් සර්ට්ටුව වෙන්නෙ නැහැ. කමිසය පුරුතුගීසි බසින් සිංහල කර ගත් වචනයක්. ඒත් ෂර්ට් ෂර්ට් එක වෙනවා. බස් බස් එක වෙනවා. ඒ විතරක් නොවෙයි. සිංහල කරගෙන තිබූ ගේට්ටුව ගේට් එක වෙනවා. ඉස්පිරිතාලෙ  හොස්පිට්ල් එක වෙලා. වාට්ටුව වෝඩ් එක වෙලා. ඒ විතරක් නම් මදැයි. ඇඳ බෙඩ් එක වෙලා. මෙට්ටෙ මැට්රස් එක වෙලා. දැන් අපි කුල්ට් වෙලා. අපට නිදහස නැහැ.

 

අප හිතන්නෙ නැති නිසා මේ වෙනස ගැනත් අපි හිතන්නෙ නැහැ. අපේ නිර්මාණ ශක්තිය ඒ සමග තවත් හිඳෙනවා. අපි ලෝක අනුකාරකයන් බවට පත් වෙනවා. දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ.