History

Thursday, 1 September 2022

නික්ම යෑම

 

නික්ම යෑම

 

මා දැන් ලියමින් සිටින්නේ 1979 ට පමණ පෙර කාලය ගැනයි. 1979 පමණ සිට 1985  පමණ දක්වා කාලය මගේ ජීවිතයේ සංක්‍රමණීය කාල පරිච්ඡෙදයක්. ඇතැමුන් 1979 ට පෙර කාලයෙහි සිදු වූ දේ අද සිදුවන දේ ලෙස සලකන බව පෙනී යනවා.

 

ඊයේ මගේ නොහැකියාව මැයෙන් ලියූ ලිපියේ ක්වේසාර ගැන සඳහන් කළා. බානෝති යුවළ යෝජනා කර  තිබූ කතාව වැඩ නොකරන බව පෙන්වීමට මට හැකි වුණා. අද වන විට ක්වේසාර යනු ක්‍රියාකාරී මන්දාකිණි න්‍යෂ්ටි (Active Galactic Nuclei) ලෙස සැලකෙනවා. ඒ කතාව දැනට වැඩ කරනවා. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එපමණයි. යම් සංසිද්ධියකට කතා ගෙතීම. කතාව වැඩ කරන්නේ නැත්නම් එය විසිකරනවා. වැඩ කරන එහෙම නැත්නම් හරි යන කතා තබා ගැනෙනවා. හරි යනවා කියන එකෙන් හරි කියා නිගමනය වන්නේ නැහැ. මෙය හැම තැන ම සිදු වෙන දේ. බටහිර විද්‍යාවේ එය සංවිධානාත්මක ව මහා ධනස්කන්ධයක් වියදම් කර කෙරෙනවා. එපමණයි. ඒ කතාව නම්, එනම් බටහිර විද්‍යාව පිළිබඳ කතාව නම්, මා 1985න් පසු ගොතා ගත් එකක්.

 

මා අර්නස්ට් මාක් ගැනත් සඳහන් කළා. ඔහු බෞද්ධයකු ද නැද්ද යන්න පිළිබඳ විවිධ මතිමතාන්තර තියෙනවා. ඔහුගේ බෞද්ධ සමීපත්වය පිළිබඳ මුලින් ම කතා කර තියෙන්නේ වියනා කවයේ හරි වෙනත් රටක හරි සිටි බටහිර දාර්ශනිකයන් නොව ලංකාවේ හාමුදුරුවරු. ඒ හාමුදුරුවරුන්ගේ නම් මා දන්නේ නැහැ. එහෙත් ඒ හාමුදුරුවරුන් කළ කාර්යය පිළිබඳ ව  ජෝන් ටී බ්ලැක්මොර්ගේ පොතක ද (John T, Blackmore, Ernst Mach-His life work and Influence,Berkeley,1972,pp.288-289) සඳහන් වන බව කියැවෙනවා. ඒ පොත මා කියවා නැති බවත් ඒ ගැන මා දන්නේ වෙනත් කෘතිවලින් බවත් සඳහන් කරන්න ඕන.

 

මෙහි වැදගත්කම ඇත්තේ මාක්ගේ පොතක ( Mach E,    Analyse der Empfindungen) 1897 නිකුත් වූ ඉංගිරිසි පරිවර්තනය ලැබූ සිංහල හාමුදුරුවරු ඒ පොත සිංහලට පරිවර්තනය කර බෙදා හැර තිබීමයි. ඒ සිංහල බෞද්ධ පුනර්ජීවන යුගයයි. එකල හාමුදුරුවරුන් ලෝකයේ සිදුවන ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ ව විමසිල්ලෙන් පසුව වැඩ සිටි බව පැහැදිලියි. විශේෂයෙන් ම ක්‍රිස්තියානිකරණයට එරෙහිව පටන් ගත් පුනර්ජීවනය පංච මහා වාද හරහා පැමිණ ඒ වන විටත් ක්‍රියාත්මක වී තියෙනවා. එය නැති වුණෙ කවදා ද කෙලෙසක ද යන්න විමසා බැලිය යුත්තක්. අද ජාතික චින්තන ව්‍යාපාරය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ක්‍රියාවලියේ ම පුනර්ජීවනයක්.

 

මා සඳහන් කළා භ්‍රමණය ගැන. මා ඒ පිළිබඳ ව උනන්දුවක් දක්වා ඒ ගැන ද වෙන ම අධ්‍යයනයක් පටන් ගත්තා. එහෙත් මට ක්‍රමයෙන් තේරුම් ගියා එවැනි මූලික අධ්‍යයනයක් කිරීමට මට නොහැකි බව. එනම් මට විිද්‍යාඥයකු වීමට නොහැකි බව. ඒ තමයි මට බටහිර විද්‍යාවේ මූලික කතා ගොඩ නැගීමට බැරි බව තේරුම්  ගත් වකවානුව. එහෙත් භ්‍රමණය සම්බන්ධ වෙනත් අප්‍රධාන කතාවක් හා ක්වේසාර සම්බන්ධ අධ්‍යයනයේ දී ගුරුත්වජ කාච පිළිබඳ අප්‍රධාන කතාවක් ගොතා ගැනීමට නම් මට හැකි වුණා.

 

ගුරුත්වජ කාච සම්බන්ධයෙන් එතෙක් දැනගෙන හිටියේ අර කාචය ලෙස ක්‍රියාකරණ මන්දාකිණියට පිටින් ආලෝකය ගමන් කිරීමේ දි ප්‍රතිබිම්බ දෙකක් සෑදෙන කතාවයි. මා මන්දාකිණිය ඇතුළෙන් ද ආලෝකය ගමන් කිරීමේ දී ප්‍රතිබිම්බ කීයක් සෑදෙන්න පුළුවන් ද කියා ගණනය කළා. මට පෙනී ගියේ ඒ ඒ අවස්ථාව අනුව ප්‍රතිබිම්බ තුනක් හරි පහක් හරි හැදෙන්න පුළුවන් බව. ඒ කතාව පසු කලෙක නිරීක්‍ෂකයන් දැක තියෙනවා. අද අයින්ස්ටයින් කුරුසිය (Einstein Cross) නමින් හැඳින්වෙන්නේ එලෙස ප්‍රතිබිම්බ පහක් නිර්මාණය වීමයි. මෙහි ඇත්තේ අයින්ටයින් කුරුසියක්.

 

භ්‍රමණය සම්බන්ධයෙන් මා ගෙතූ කතාවක් වූයේ භ්‍රමණය වන විශාල වස්තුවක භ්‍රමණය වන දිශාවට විරුද්ධ අතට වස්තුවක් විද්දොත් (ප්‍රක්‍ෂෙපණය කළොත්) ඒ  විදින ලද වස්තුව ටික වෙලාවකට පසු අර භ්‍රමණය වන වස්තුව දිශාවට ම භ්‍රමණය වීමට පටන් ගන්නා බවයි. එය ද පසුව නිරීක්‍ෂණය කෙරුණා. ඒහෙත් මේවා නොවැදගත් අප්‍රධාන කතා. මට මූලික ප්‍රධාන කතාවක් ගොඩ නගා ගැනීමට බැරි වුණා.

 

මා භ්‍රමණය ගැන කළ දේ මහාචාර්ය මැක්‍රේට දැනුම් දුන්නා. එය කෙරුණේ ඔහුගේ අනුදුනුමකින් තොරවයි. ඔහු මට ඒ ගැන සම්මන්ත්‍රණයක් පවත්වන්න කිවුවා. එසේ වුණත් මට විද්‍යාඥයකු වීමට නොහැකි බව වැටහුණා. එයට හේතුව කුමක් ද යන්නට මට කතාවක් තිබුණේ නැහැ. එහෙත් මගේ නොහැකියාව මට අවබෝධ වුණා. මා ආචාර්ය උපාධියක් නැතුව ලංකාවට යෑමට තීරණය කළා.

 

ලංකා විශ්වවිද්‍යාලයේ ස්ථිර කථිකාචාර්යවරයකු වීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැහැ. විද්‍යාපති  ශාස්ත්‍රපති දර්ශනපති උපාධියක් ඒ සඳහා ප්‍රමාණවත්. මා කෝකටත් කියා මහේන්ද්‍රන් ලවා ඔහුගේ මිත්‍රයකු වූ නීත්‍යනාදන් මගින් එය සනාථ කර ගත්තා. නිත්‍යනාදන් පසුව කොටි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූවා. උපාධි අවශ්‍යතාව කුමක් දැයි සැක හැර දැනගැනීමෙන් පසුව 1970 ජූනි මාසයේ පමණ මා මහාචාර්ය මැක්‍රේ හමු වී මා ආපසු ලංකාවට යැමට තීරණය කළ බවත් මට විද්‍යාපති උපාධිය සඳහා නිබන්ධය ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. ඔහුට මා විද්‍යාඥයකු වීමට නොහැකි වීමේ කතාව කිවුවේ නැහැ. මා කිවුවේ විශ්වවිද්‍යාලයේ අවශ්‍යතාවක් නිසා ආපසු යෑමට සිදුව ඇති බවයි. ඔහු කියා සිටියේ මා ආචාර්ය උපාධි දෙකකට වැඩ කර ඇති බවත් මා වෙනුවෙන් අවුරුදු දෙකේ අවම නීතිය වෙනස්කර අවුරුදු එකහමාරකින් ආචාර්ය උපාධිය සඳහා නිබන්ධය ඉදිරිපත් කිරීමට සනාතන සභාවෙන් අවසර ගැනීමට බලන බවත්. ඒ අවසරය සනාතන සභාව මට ලබා දුන්නා. ටික කලකට ඉහත දී එදා වන තුරුත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ අඩු ම කාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇත්තේ මා බව හිටපු පීඨාධිපතිවරයකු මට දැනුම් දුන්නා.

 

මෙය පුරසාරමක් වෙන්න පුළුවන්. එහෙත් මට කියන්න ඕන මගේ සීමිත හැකියාව නොව බටහිර විද්‍යාවේ මූලික ප්‍රධාන කතාවක් ගොතා ගැනීමට මට හැකියාවක් නොවීමයි. නොහැකියාව දැන ගැනීමට එයට හේතුව දැන ගැනීමට අවශ්‍ය නැහැ. ඒ හේතු කතාව මා ගොතා ගත්තේ එක්දහස් නවසිය අනූ ගණන්වල. මෙයින් කියන්නේ හේතු නැතුව සංසිද්ධි ඇති විය හැකි බව නො වෙයි. සිදුහත් කුමරු දුකට හේතුව දැන ගත්තේ සතර පෙර නිමිති දුටු දවස්වල නො වෙයි.