History

Friday, 16 September 2022

මා බාල කාලේ

 මා බාල කාලේ

 

මා පාණදුරේ වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ පාඨශාලාවට ඇතුළත් වුනේ 1949 ජනවාරි මාසයේ. එකල පාසල්වලට ඇතුළත් වීමට අවුරුදු හතරයි මාස හයක් සම්පූර්ණ විය යුතුව තිබුණා. එහෙත් මගේ වයස අවුරුදු හතරයි මාස දෙකක් පමණයි. එසේ වුවත් ගුරුවරුන් හා ක්‍රමය දන්නා අයගේ දරුවන්ට අවුරුදු හතරයි මාස හය පිරෙන්නට පෙර ඇතුළත් වීමට පුළුවන් වුණා. ඔවුන් පාසලට ඇතුළත් කළත්  දිනපතා පැමිණීමේ පොතේ නම ලිවුවේ නැහැ. පොතේ නම ඇතුළත් කෙළේ අවුරුදු හතරයි මාස හයක් සම්පූර්ණ වීමෙන් පසුවයි. පඬි නැට්ටකු කියන්න පුළුවන් හෝඩියේ ඉඳන් නලින් ද සිල්වා හොරට වැඩ කර තියෙන්නෙ කියා.

 

පොතේ නම දාන තෙක් මට පාසලෙන් නොමිළේ දෙන බනිස් ගෙඩිය අහිමි වුණා. එහෙත් පාසලේ ගුරුවරියක වූ අම්මා ඉගැන් වූ පන්තියට විවේක කාලයේ ගිය විට බනිස් ගෙඩියක් ලැබුණා. එකල මට ඒ පිළිබඳ අදහසක් නොමැති වුවත් පසු කලෙක බනිස් ගෙඩිය පාන් ගෙඩිය ඔළු ගෙඩිය ආදී ගෙඩි පිළිබඳ මට කුතුහලයක් ඇති වුණා. බොහෝ කලකට පසු බිත්තර ගෙඩිය වැනි වචන ද සමහර පළාත්වල ව්‍යවහාරයේ පවතින බව දැන ගන්නට ලැබුණා. ඔළු ගෙඩිය හැරෙන්න මේ මොන ගෙඩියත් සංවෘත (වැසුණු) පෘෂ්ඨ සහිත වස්තු වීම එහි ඇති පොදු බවයි. සිරුරේත් ගෙඩි එනවා. ඒත් ඒවා වෙන් වූ ගෙඩි නෙවෙයි. ඒවාට සංවෘත පෘෂ්ඨයක් නැහැ. ඒ ගෙඩි සිරුරට හා වෙලා. ඔළු ගෙඩියත් එහෙමයි. ඔළු ගෙඩිය වෙන් කරන අයත් ඉන්නවා. මට බ්‍රවුන්රිග් තුන්වැනි ජෝර්ජ් ආදීන් මතක් වෙනවා. ගස්වල හැදෙන ගෙඩිත් ගහට හා වෙලා. ගහෙන් වෙන් වූ පසු අපට ප්‍රයෝජනවත් ගෙඩියක් බවට පත් වෙනවා. එහෙත් ඔළු ගෙඩිය සිරුරෙන් වෙන් වූ පසු කිසිම ප්‍රයෝජනයක් නැහැ. පඬි නැට්ටන් කලබල වෙන්න ඕනෙ නැහැ. මේ අදහස් මට හෝඩියෙ පන්තියෙ තිබුණෙ නැහැ.

 

අප සාමාන්‍යයෙන් පාසලට කිවුවෙ වෑකඩ ඉස්කෝලෙ කියා. පාසලට අපේ ගෙදර ඉඳන් යාර සීයක් පමණ. අපේ අම්මා තම සම්පූර්ණ ශිෂ්‍ය ජීවිතයත් ගුරු ජීවිතයත් ගත කර ඇත්තේ ඒ පාසලේ. අප පාසල් ගියේ පාවහන් නොමැතිව. දැන් නම් ඒ පාසලේ සිසු සිසුවියන් පාවහන් පළඳිනවා. මා හිතන්නෙ සිසුවියන් ටයිපටියක් ද පළඳිනවා කියා. ඒ පාසලෙත් දක්‍ෂ ගුරුවරු ගුරුවරියන් හිටියා. අප ගුරුවරුන් හැඳින්වූයේ අහවල් මහත්තයා කියා. අන්දරාදී මහත්තයා, රූබට් මහත්තයා සොයිසා මහත්තයා විමල් මහත්තයා ජේමිස් මහත්තයා මට මතක් වෙන නම්. ඒ ගුරුවරු පොදුවේ ඉස්කෝල මහත්තුරු වුණා. එකල විදුහල්පතිවරයකු හිටියෙ නැහැ. හිටියෙ ප්‍රධානාචාර්ය තුමා. එතුමා ලොකු ඉස්කෝල මහත්තයා නැත්තන් ලොකු මහත්තයා වුණා.

 

ගුරුවරියන් ඉස්කෝල හාමිනේලා වුණා. මට මතක මෙල්ට ඉස්කෝල හාමිනේ, රුද්‍රීගු ඉස්කෝල හාමිනේ, මියුරි ඉස්කෝලෙ හාමිනේ, ඇන් ඊ ද සිල්වා ඉස්කෝල හාමිනේ, ඩේලින් ඉස්කෝල හාමිනේ. මා එකල ඩේලින් ඉස්කෝල හාමිනේගේ ලොකු බබා. දැන් නම් බුද්ධිමත් තරුණයන් අතින් මැන්ටලයක් පිස්සකු  කාලකන්නියකු  ලෙස හැඳින්වෙනවා. අපේ තාත්තා දනියෙල් සිල්වා ඉස්කෝල මහත්තයා. අම්මා මෙන් නොව විවිධ පාසල්වල සේවය කර ඇති තාත්තා මා පාසලෙන් අස් වී බොහෝ කලක් ගියාට පස්සෙ වෑකඩ ඉස්කොලෙ ලොකු මහත්තයා වී විශ්‍රාම ගත්තා. මට මල්ලිලා හතර දෙනකු හා නංගිලා තුන් දෙනකු ඉන්නවා. එක් මල්ලි කෙනකු හැර අනෙක් සියල්ලන් ම වෑකඩ ඉස්කෝලෙ ඉගෙන ගත්තා. තාත්තා ගෙදර ඉඳන් හැතැක්මකට ටිකක් වැඩි දුරකින් පිහිටි මහවිල ඉස්කෝලෙ ලොකු මහත්තයා වෙලා ඉන්න කාලෙ එක මල්ලි කෙනකු ඒ ඉස්කෝලෙට ඇතුළත් කළා. හැතැක්ම දෙකේ නීතියට වුණත් පටහැණි නැහැ. ඒ්ත් ඒ නීතිය ඒ කාලෙ තිබුණෙ නැහැ.  

 

අම්මා හැම විෂයක් ම වගේ ඉගැන්නුවා. තාත්තා ලොකු මහත්තයා ලෙස වැඩිය ඉගැන්නුවෙ නැහැ. තාත්තා ඉගැන්නුවෙ සිංහල සාහිත්‍යය. ඒ දවස්වල තාත්තා හවසට කවි කියනවා. මා හිතන්නේ සැළලිහිනි සංදේශයේ කවි බොහෝමයක් කට පාඩමින් දැන හිටියා කියා. මටත් සාහිත්‍යය පිළිබඳ කැමැත්තක් ඇති වුණා. ඒත් මට තාත්තාට තිබූ හැකියාව නැහැ. මට කවි පාඩම් හිටින්නෙ නැහැ. ගාථා පාඩම් හිටින්නෙත් නැහැ. කෙටියෙන් කියනවා නම් මගේ මතක ශක්තිය ඉතා දුර්වලයි. කවි පාඩම් නැති එක ගැන මා අම්මාට කිවුවා. අම්මා කිවුවෙ පළමුව කවියෙ තේරුම දැන ගන්න කියා. මා එය කළා. ඉන් පසු කලින් තරම්වත් කවි පඩම් හිටියෙ නැහැ. දැනුත් මා දන්නෙ යමක හරය පමණයි. විස්තර දන්නෙ නැහැ.

 

වැකඩ ඉස්කෝලෙ ලණු අඹරන්න පාපිසි ගොතන්න කියල දුන්න. මා ඒ වැඩේට ආසා වුණා. ඒත් ඒකෙන් වැඩක් ගත්තෙ නැහැ. වැඩක් ගත්තෙ අවසානයේ දී ගණිතයෙන්. ගණිතය කිවුවත් ඉගැන්නුවෙ අංක ගණිතය. අංක ගණිතයටත් මා ආසා වුණා. ඒක ලණු අඹරනවා වගේ වැඩක් නොවෙයි. ඒක ලණු දෙන වැඩකුත් නො වෙයි. මට පාඩම් හිටින්නෙ නැති නිසා මා හැම විට ම හරය තේරුම් ගන්න උත්සාහ කළා. වෑකඩ ඉස්කෝලෙදි තමයි දශම වැඩි කිරීම හා දශම බෙදීම ඉගෙන ගත්තෙ. තුන්වැනි පංතියෙ වෙන්න ඇති. ඒ කාලෙ කිවුවෙ දශම භාග කියල.

 

මට සංඛ්‍යා දෙකක දශම වැඩි කිරීම තේරුණෙ නැහැ. උත්තරෙ දශම තිත තියන්නෙ කොහොමද කියන එකට සූත්තරයක් තිබුණා. සංඛ්‍යා දෙකේ දශම කොටස්වල ඉලක්කම් ගණන් කරල ඒ අනුසාරයෙන් තිත තියන්නයි ඉගැන්නුවෙ. ඒක සූත්තරයක් පමණයි. තේරුම් ගැනීමක් නො වෙයි. මා ගෙදර දි අම්මටත් කිවුව තේරුම් කරල දෙන්න කියා. අම්මටත් පැහැදිලි කරන්න බැරි වුණා. මා ඇඬුවා. මා හිතන්නෙ වරුවක් ම ඇඬුව කියා. ඇඬුවට තේරෙන්නෙ නැති බව නම් තේරුණා. දශම වැඩි කිරීම මට තේරුම් ගියෙ බොහොම කාලෙකට පස්සෙ.

 

වැකඩ ඉස්කෝලෙ පටන් අරන් තියෙන්නෙ 1889. පටන් ගෙන අවුරුදු පනහ නිමිත්තෙන් ගොඩනැගිල්ලක් හදල තියෙනවා. ඒකට කියන්නෙ ස්වර්ණ ජයන්ත්‍යාලය කියා. මේ ඒ ගොඩනැගිල්ලෙ ඡායාරුපය. එහි දකුණු පැත්තෙ තියෙන පංති කාමරයෙ තමයි මා හෝඩිය පංතියෙ ඉගෙන ගත්තෙ.