History

Monday, 26 September 2022

විජයබා කොල්ලය හා කුලය

 

විජයබා කොල්ලය හා කුලය

 

මා අපේ පරම්පරාව ගැන ලියන්නේ රජ පෙළපතකට ඇති සම්බන්ධය ගැන ලියන්නවත් වංසෙ කබල් ගෑමටවත් නො වෙයි. මට අවශ්‍ය අවසානයේ දී ලංකාවේ දේශපාලනයට කුලය බලපාන හැටිත් කියන්න. ඒ වගේ ම කුලවල විකාශය ගැනත් යමක් කියන්න. අද ලංකාවේ කුලය බලපාන අවස්ථා තුනක් තියෙනවා. එකක් විවාහය, තවෙකක් දේශපාලනය, තුන්වැනුව  පැවිදිවීම. සමහර විට එතරම් පොදු නොවූවත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරය, දියවඩන නිළමේ පදවිය සඳහන් කළ හැකියි. රාජ්‍ය නායක පදවිය දේශපාලනයට සම්බන්ධ නිසා අමුතුවෙන් කිවයුතු නැහැ කියා හිතනවා. වෙල්ලාලයන්ටත් මේ පදවි දරන්න බැහැ. ගොවිගම නොවන පඬි නැට්ටන් හා දෙමළ ජාතිවාදීන් පරගලයේදිත් වෙනත් ඇතැම් දේශපාලන අවස්ථාවලදීත් එක්වීම ගැන මා පුදුම වන්නේ නැහැ. 

 

ජ වි පෙ ත්‍රස්තවාදය මෙන් ම කොටි ත්‍රස්තවාදය ද එක් පැත්තකින් ගොවිගම හා වෙල්ලාල කුලවලට විරුද්ධ ව කරාව හා කරෙයිවර් කුලවල විජේවීර හා ප්‍රභාකරන් විසින් මෙහෙයවනු ලැබූ ව්‍යාපාර. එය පරස්පරයක් ලෙස පෙනෙන්න පුළුවන්. ගොවිගම හා වෙල්ලාල නායකත්ව එකට සිටින අතර ම විරුද්ධ ව ද කටයුතු කරනවා. පසුගිය දා පැවති පරගලයේ ද ගොවිගම විරෝධයක් තිබූ බව මා කියා ඇති.  පඬි නැට්ටන් බොහෝ දෙනකුට ගොවිගම විරෝධයක් තියෙනවා. දහනවවැනි සියවසේ සිංහල බෞද්ධ පුනර්ජීවනයේ කරාව, දුරාව සලාගම දායකත්වයක් දකින්න පුළුවන්. ධර්මපාලතුමාගේ  මව ගොවිගම නොවන කුලයක බවත් අමතක නොකළ යුතුයි. උභය කුල පාරිශුද්ධ ගොවිගම වීම (රාජ්‍ය) නායකයකු වීමට අවශ්‍ය ද?

 

මා කරාව කුලයේ. ඒ බව බොහෝ දෙනා දන්නවා. මට කරාව කුලයට අයත් වීම නිසා නැති වූ දෙයක් නැහැ. මට අවශ්‍ය වූයේ බටහිර විද්‍යාඥයකු වීමට. එයට කුලය බලපාන්නේ නැහැ. මට දෙවරක් රැකියා නැති වුණෙත් මා කරාව කුලයට අයත් වීම නිසා නො වෙයි. එක් වරක් මට රැකියාව අහිමි වුණේ පාණදුරේ වෑකඩ මගේ ගමේ ම අයකු වූ ද කරාව කුලයට අයත් වූ ද ජී එල් පීරිස් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිව  සිටිය දී. ඔහු අපේ පියාගෙන් ඉගෙන ගත් අයෙක්. ඒ කතාව පසුවට. 

 

දැන් නැවතත් ඨකුර්ට. පඬි නැට්ටකු අසා තිබුණා මා කියන්නේ ඇත්ත ද කියා. ඇත්තක් නැති ලෝකයක මගේ ආගිය තොරතුරු පමණක් ඇත්ත වෙන්න බැහැ. ඒත් මේ තොරතුරු විවිධ ලේඛන සමග සංගත වෙනවා. සමහර තොරතුරු මයිකල් රොබට්ස්ගේ වෙබ් අඩවියෙන් ද ලබා ගන්න පුළුවන්. රාජකීය ආසියාතික සංගමයේ ලිපිවල ද මේ තොරතුරු අඩංගු වෙනවා. ලිඳමුලගේ පරම්පරාවේ අයකුට පොතක් ලියන්න කරුණු තියෙනවා. මා හිතන්නේ අපේ පෙළපත ලංකාවේ පෙළපත් අතර අතීතයට සාධක සහිත ව යන එකක්.

 

රාජ්පුත් වංශයට අයත් හමීර් සංක් ඨකුර් ලංකාවට පැමිණ පදිංචි වී ඇත්තේ කුරුණැගල.  රාජ්පුත්ලා ඒ වන විට ක්‍ෂත්‍රිය කුලයට අයත්. රාජ්පුත්ලා ගැනත් ක්‍ෂත්‍රියයන් ගැනත් පසුව කතා කරමු. ඨකුර් විවාහ වූයේ කා සමග ද යන්න පැහැදිලි නැහැ. ඒ සම්බන්ධයෙන් ඇත්තේ කටකතාවක්. සුප්‍රසිද්ධ දේවාදිත්‍ය කෙනකු කියන කරුණු අනුව නම් ඨකුර් විවාහ වී ඇත්තේ තුන්වැනි විජයබාහුගේ දියණිය සමග. ඒ අනුව පළමුවැනි බුවනෙකබාහු ඔහුගෙ බෑණා. ඔහු මිත්ත සෙනෙවියා මරා රජකමට පත්කර ඇත්තේ ඔහුගේ බෑණා. ඒ සඳහා වෙන සාක්‍ෂියක් හොයා ගන්න බැහැ. කෙසේ වෙතත් පද්මිණි හෙවත් පද්මාවතී කුමරිය නම් ඔහුගේ දුව බවට සාක්‍ෂි තියෙනවා.

 

ඒ කතාව කියන තැනැත්තා ම තවත් දෙයක් කියනවා. ඨකුර්ගේ මුණුබුරකු වූ දැදිගම ඨකුර මාණ්ඩලික රජ කීරවැල්ල පරම්පරාව ඇති කර තිබෙනවා. සිංහල රජවරුන්ගේ බිසොවුන් බවට පත් වී ඇත්තේ කීරවැල්ල පරම්පරාවේ කුමාරිකාවන්. ඒ කොහොම වෙතත් ඵකුරගේ පරපුරේ අර්ථදේව ද කුරුණෑගලින් පිට වී ගොස් හතර කෝරළේ රන්කොත්දිවෙල වලව්වත් සමග විවාහයෙන් සම්බන්ධ වෙනවා. ඒ අර්ථදේව නිසා තමයි අපට ඨකුරක අර්ථදේව වාසගම ලැබුණෙ.

 

අර්ථදේවගේ පුතා ආදිත්‍ය බණ්ඩාර. එය සටහන් කර ගත යුත්තක්. අද කරාව හෙවත් කෞරව කුලයේ බණ්ඩාරලා නැහැ, අඩු තරමින් මා දන්නා තරමින් නැහැ. එහෙත් එදා බණ්ඩාරලා කරාව නැත්නම් කෞරව (ක්‍ෂත්‍රිය) කුලයේ හිටියා. නුවර යුගයේ එක් කලක කීරවැල්ලේ පරපුරේ කුමාරිකාවන් නැති වීම හා කෞරව කුලයේ බණ්ඩාරලා නැති වීම අතර සම්බන්ධය කුමක් ද? එය කීරවැල්ල පරම්පරාවේ කුමාරිකාවන් නැතිවීමකට වඩා දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයක් ද? කෙසේ වෙතත් ඒ ආදිත්‍ය නිසා අප ඨකුරක අර්ථදේව ආදිත්‍යලා වුණා.

 

ඔය කාලය කෝට්ටේ රාජධානියේ කලබල කාලය. විජයබා කොල්ලය කාලය. හත්වැනි විජයබාහු රජු කීරවැල්ල පරම්පරාවෙන් බිසවක ලබා ගත්තා. ඒ විවාහයෙන් දේව රාජසිංහ කුමරු ලැබුණා. විජයබා කොල්ලයේ පසුබිම විජයබාහු රජුගෙන් පසු රජ විය යුත්තේ දේව රාජසිංහ ද නැත්නම් පළමු විවාහයේ පුතුන් ද යන්නයි. අවසානයේ දී පළමු විවාහයේ පුතුන් තුන්දෙනකු අතර රාජ්‍යය බෙදුණා. එයින් බුවනෙකබාහු හත්වැනි බුවනෙකබාහු ලෙස රජ වුණා. සීතාවක හා රයිගම අනෙක් පුතුන් රජවුණා.

 

බුවනෙකබාහු යුද්ධ ශිල්ප ඉගෙන ගත්තේ අර්ථදේවගෙන් රන්කොත්දිවෙල වලව්වේ දී. බුවනෙකබාහු කෝට්ටේට ගොස් රජ වීමෙන් පසු තම ළමා අවධියේ සිට මිත්‍රයා වූ ආදිත්‍ය බණ්ඩාරත් මාළිගාවට කැඳවා ගෙන තියෙනවා. ආදිත්‍ය බණ්ඩාර තම නෑනා වූ  සිරිබබ කුමරිය සමග විවාහ වී ඇත්තේ කෝට්ටේ මාළිගාවෙහිමයි. මේ සිරිබ (Siribara)  යන්න නමක් ද නැත්නම් සිරියා බවින් යුක්ත වූ (සිරිබ) කුමරිය යන්න ද වෙනත් එකක් ද යන්න පැහැදිලි නැහැ.  

 

පියා හා පරම්පරාවේ අනෙක් අය මෙන් ම යුද ශිල්පයෙහි දක්‍ෂයකු වූ ආදිත්‍ය බණ්ඩාර බුවනෙකබාහු රජුගේ ආරක්‍ෂක හමුදාවේ ප්‍රධානියා බවට පත් වුණා. ඔහුට ඒ සඳහා ගාර්දියවසම් යන නාමය ද ලැබුණා. අපේ පරම්පරාව ඨකුරක අර්ථදේව ආදිත්‍ය ගාර්දියවසම් වූයේ එහෙමයි. 

 

ඒ වන විට පෘතුගීසින් ලංකාවට ඇවිල්ලා. හත්වැනි බුවනෙකබාහු රජ කෙළේ 1521 සිට 1550 දක්වා. ඒ කාලෙත් අප සිංහල බෞද්ධ. ද සිල්වා නාමය අරගෙනත් නැහැ. ලිඳමුලගේ වෙලත් නැහැ.