History

Sunday, 18 September 2022

කබාය ඉරිලා ඊට කමක් නැහැ

 

කබාය ඉරිලා ඊට කමක් නැහැ

 

අපේ දෙමවුපියන් අප හැදුවේ සිංහල බෞද්ධ සංස්කෘතියක. සංස්කෘතිය කියන්නෙ හැදියාව. අපේ හැදියාව ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියක අයකුගේ  හැදියාවෙන් වෙනස්. අපේ පමණක් නොව පඬි නැට්ටන්ගේ හැදියාවත් එංගලන්තයේ හරි උතුරු අමෙරිකාවේ හරි ඉංගිරිසි ක්‍රිස්තියානි අයකුගෙන් වෙනස්. පඬි නැට්ටකු හා ඉංගිරිසිකාරයකු අතර වෙනස දකින්න පුළුවන්. ඒ හමෙන් පමණක් නොවෙයි.  සිංහල බෞද්ධ සංස්කෘතියේ අපට වියුක්ත ව හිතන එක අමාරුයි. අපට භෞතික විද්‍යාවෙන් නොබෙල් තැග්ගවත් ගණිතයෙන් ෆීල්ඩ්ස් පදක්කමවත් දිනන්න බැහැ. දැන් පඬි නැට්ටකු කියන්න බැරි නැහැ නලින් ද සිල්වාට නොබෙල් තෑග්ග ලොකු වුනාට අපට ලොකු නැහැ කියල. එහෙම උත්තර දෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙ.

 

බටහිර රටවල පන්සල් තියෙනවා. ඒ බටහිරයන් සඳහා නොවෙයි. සිංහල හා වෙනත් බෞද්ධයන් සඳහා. ඔවුන් තවමත් බෞද්ධ සංස්කෘතියක ජීවත්වන්නෙ. පරම්පරා කිහිපයක් ඇවෑමෙන් ඒ බෞද්ධ සංස්කෘතිකාංග නැති වේවි. ඒ මී මුණුබුරන් ක්‍රිස්තියානි සංස්කෘතියක ජීවත් වේවි. සමහර විට නොබෙල් තෑගිත් දිනාගනීවි. එහෙත් බටහිර ජීවත්වන පළමු පරම්පරාවේ ථෙරවාද බෞද්ධයන් නො වෙයි. අදත් අප පුතා සහ පවුල සමග හීල් දානෙ අරගෙන පන්සල් ගියා.

 

අපේ අම්මා ආචිචි අම්මාට වඩා වෙනස්. ඔවුන් දෙදෙනා ම සිංහල බෞද්ධ සංස්කෘතියේ. ආච්චි අම්මා ඇන්දේ චීත්ත හා කබාපොරොත්තු නැත්නම් කබාකොරොත්තු ලෙස හඳුන්වන ලද හැට්ට විශේෂයක්. එය කරාව කුලයේ ස්ත්‍රීන් ඇඳි රේන්ද පටි සහිත අත් දිග හැට්ට වර්ගයක්. වෙනත් කුලවල අයත් අඳින්න ඇති. එය සිංහල හැට්ටයක් නො වෙයි. පෘතුගීසීන්ගෙන් ලැබුණු එකක් කියන එකයි මගේ විශ්වාසය. එහෙත් ඔවුන් එපමණින්වත් ප්‍රනාන්දුලා වූ පමණින්වත් පෘතුගීසීන් වුණේ නැහැ. ඔවුන් සිංහල බෞද්ධයන්.

 

අපේ අම්මලා කබාකොරාත්තු ඇන්දෙ නැහැ. චීත්ත ඇන්දෙත් නැහැ. චීත්තය කියන එක ඊනියා කාන්තා විමුක්තිය ගැන කියවන පඬි නැට්ටනුත් ගැහැණු ගති ඇතැයි කියන පිරිමින් හැඳින්වීමට අපහාසාත්මක ව පාවිච්චි කරනවා. අම්මලා ගෙදරට ඇන්දෙ දිග ගවුමක්. ගමනට සාරි ඇන්දා. සාරිය ධර්මපාලතුමා පුරුදු කළ එකක් කියනවා. එහෙත් උඩරටට ඔසරිය පුරුදු කලෙ කවුද කියන එක කියන්නෙ නැහැ. ධර්මපාලතුමා පුරුදු කරත් නැතත් ආච්චි අම්මලාගේ පරම්පරාවෙ සිට අම්මලාගේ පරම්පරාවට එන විට ඇඳුමේ වෙනසක් සිදුවෙලා. අද වෙන විට තරුණියන් ජීන්ස් අඳිනවා. එහෙත් ඔවුනුත් සිංහල බෞද්ධ. සිංහල ක්‍රිස්තියානි/කතෝලික වෙන්නත් පුළුවන්.

 

සෑම සංස්කෘතියක් ම වෙනස් වෙනවා. අනිත්‍යය කියන්නෙ වෙනස්වීම නොවූවත් (එය සංස්කාර හා සම්බන්ධ කතාවක්) අනිත්‍යය ගැන කියන බෞද්ධයන්ට එය අමුතුවෙන් කියන්න ඕන නැහැ. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතීත් වෙනස් වෙනවා. එහෙත් පරම්පරාවෙන් පරම්පරාවට (එය පවුලක පරම්පරාවක් නොවෙයි. වකවානුවකින් වකවානුවකට යන පොදු තේරුම ඔය පරම්පරා පරතරය ආදී වශයෙන් කියැවෙන පරම්පරාව) අඛණ්ඩව ලැබෙන හැදියාවක් තියෙනවා. අඛණ්ඩව කියන්නෙ වෙනසක් නැතුව කියන එක නොවෙයි. ආච්චි අම්මාගෙන් අම්මාටත් අම්මාගෙන් අපටත් එය ලැබුණා.

 

යුදෙවු සංස්කෘතියේ වියුක්තව හිතන්න පුළුවන්. අපට බැහැ. එයින් කියන්නෙ යුදෙව් සංස්කෘතියෙ හැමෝට ම වියුක්තව හිතන්න පුළුවන් කියන එක නො වෙයි. යම් පිරිසකට පුළුවන්. අපේ කිසිවකුටවත් යුදෙවුවන්ගේ වියුක්ත ව හීිතන ඉහළ ම අය වගේ වියුක්ත ව හිතන්න බැහැ. පඬි නැට්ටන් කියාවි මට බැරි නිසා මා අනෙක් අයටත් බැහැ කියනවා කියා. එහෙත් මට කියන්න සරල රේඛාවක් ගැන හිතෙන් යමක් මවා ගන්නෙ නැතුව හිතන්න පුළුවන් කී දෙනකු සිංහලයන් අතර ඉන්නවා ද කියා. අප සක්‍රයා දැක නැති වුවත් ඔහු හිතෙන් මවා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ හිතෙන් මවා ගන්න බැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රතිමා රුප නැත්තෙ ඒකයි. සරල රේඛාවකත් රුප අඳින්න බැහැ. ඒත් මා හිතන විධියට අපි හැමෝට ම රුපයක් නැතුව සරල රේඛාවක් නැහැ.  මේවා අපි පසුවට තවත් කතා කරමු.

 

කොහොම නමුත් අම්මාගේ පරම්පරාවට පෘතුගීසි අදහස්වලව  වඩා ඉංගිරිසි අදහස් බලපෑවා. අපට ටික ටික ඉංගිරිසි බෙහෙත් පුරුදු වුණා. අම්මලා ගෙදරට දිග ගවුම් අඳින්න පටන් ගත්තා. ආච්චි අම්මාට සීයාගෙ පැත්තෙන් දුරින් නෑවෙන ක්‍රිස්තියානි පවුලක් හිටියා. ඔවුන් පදිංචි චෙලා හිටියෙ පාණදුරා වාදය සිදු වූ ඉඩම ඉදිරිපිට ඇති සමුද්‍රගිරි කියන නිවසෙ. ආච්චි අම්මා කිවුවෙ සමුද්දරගිරිය කියා. ආච්චි අම්මා සමහර දවස්වල ඒ ගෙදර වැඩට පළට උදවු වෙන්න ගිහින් තියෙනවා. අම්මාට ඉංගිරිසි සංස්කෘතිකාංග එහි දී දැක ගන්න පුුළුවන් වුණා. ඒ ගෙදර එක් දියණියක් විවාහ වෙලා හිටියෙ බටහිර වෙදමහතකු සමග. ඔහු එල් එම් එස් සහතිකයක් තිබූ අයෙක්. ඔහු ඉගෙන ගත්ත කාලෙ වෛද්‍ය විද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලෙ පීඨයක් නො වෙයි. එම් බී බී එස් උපාධිය දෙන්න පටන් අරන් තියෙන්නෙ 1942 ලංකා විශ්වවිිද්‍යාලය පිහිටෙවුවට පස්සෙ.

 

අප කලින් වෙද මහතාගෙන් බෙහෙත් ගත්තා. පසුව ඉඳහිට ඉංගිරිසි බෙහෙතුත් ගන්න පටන් ගත්තා. ආච්චි අම්මලාත් ඉඳහිට දොස්තර බෙහෙත් අරන් තියෙනවා. පාණදුරේ ෆොන්සේකා නැත්නම් ආච්චි අම්මලා කී විධියට පොන්සේකා කියා දොස්තර මහතකු ඉඳලා තියෙනවා. මාත් කිහිප වරක් ඔහුගෙන් බෙහෙත් අරන් තියෙනවා. අම්මලාගේ පරම්පරාව දොස්තර බෙහෙත් ගැනීම ටිකක් වැඩියෙන් කළා. අම්මා ගුරුවරියක්. සිංහල ගුරුවරියක් වුවත් ඉංගිරිසි අධ්‍යාපනයක් එකල තිබූ අවසානය දක්වා ලබාගත් අයෙක්. ඔවුන් පාසලේ ඉගෙන ගත්තෙ ඉගැන්නුවෙ රතකල්කය ගැන නො වෙයි. අම්මලාටත් අත්විද තිබුණා. එ කියන්නෙ එන්නතක්. අම්මා  අප කිහිප දෙනකු කරත්තයක නංවා ගෙන පාණදුරේ සනීපාරක්‍ෂක කාර්යාලයට ගියා. සින්නපොඩියම කියල හඳුන්නපු බෙහෙතක් දෙන්න. බඩ සුද්ද වෙන්න කියල කිවුවෙ. බඩ කොහොම වෙතත් මොළේ හේදීමක් ටික ටික වුණා. මා ඒ දවස්වල එහෙම දැක්කෙ නැති බවත් කියන්න ඕන.

 

මට කුඩා කල හුස්ම ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. අර සමුද්‍රගිරියෙ බටහිර වෙදමහතා සල්ගාදු දේස්තර මහතා ළඟට තමයි ගෙනිච්චෙ. ඔහු බෙහෙතක් දීල (අර බෝතලය සොලවා බොන බෙහෙතක්) කිවුව අපට මස් කන්න කියා. අප එතෙක් නිර්මාංශි ආහාර ගත් පවුලක්. මට අදත් කණගාටුවක් තියෙනවා මා හින්ද අම්මල තාත්තල මස් කන්න පුරුදු වීම ගැන. මා නම් අවුරුදු විස්සකට පමණ පෙර නැවතත් නිර්මාංශි වුණා.